දික්වැල්ලේ රෝහලේ වහලය දිරාපත් | දිනමිණ

දික්වැල්ලේ රෝහලේ වහලය දිරාපත්

වලස්ගල සමූහ - ලක්ෂ්මන් කුමාරසිංහ

ගොඩනැඟිලිවල බිත්ති පුපුරලා

මෙයට වසර 100කට පමණ පෙර මාතෘ නිවාසයක් ලෙස ආරම්භ කරන ලද දික්වැල්ල රෝහල මේ වන විට රජයේ බී ශ්‍රේණියේ ප්‍රාදේශීය රෝහලක් ලෙස පවත්වා ගෙන යනු ලබන අතර එහි ගොඩනැගිලි කිහිපයක් අබලන් තත්ත්වයේ පවතින බව ප්‍රදේශවාසීහු පවසති.

භික්ෂූ වාට්ටුව ඇතුළුව රෝගීන් 100කට පමණ නේවාසික පහසුකම් සැලසිය හැකි අංක එක නමින් හදුන්වන පිරිමි වාට්ටුව පිහිටි දෙමහල් ගොඩනැඟිල්ල ඉන් එකකි. මෙය 2006දී විදේශීය ආධාරවලින් ඉදි කරන ලද්දකි. මෙහි මුලු පියස්සම ඉතාමත් අබලන් තත්ත්වයේ පවතී. වර්ෂා දිනවලදී නොතෙමෙන තැනක් නොමැති තරම්ය. වහල සහ ලී සිවිලිම මුලුමනින්ම දිරාපත්වී ඇති අතර කිසියම් මොහොතක දිරා ගිය කොටස් කඩා වැටි කාට හෝ යම් අනතුරක් විය හැකි බව නේවාසික රෝගීහු පවසති.

රෝහලේ කාර්යමණ්ඩලයද මෙසේ අනාරක්ෂිත තත්ත්වයක පසු වෙමින් තම රාජකරිය නොපිරිහෙලා ඉටු කරති. සූතිකාකරය සහ ගැබිනි වාට්ටුව දැනට පවත්වාගෙන යනු ලබන්නේ 1955 වර්ශයේදී එවකට අගමැති වූ සර් ජෝන් කොතලාවල මහතා විසින් මුල් ගල් තබා ඉදි කරන ලද පැරණි ගොඩනැගිල්ලකය. එහි බිත්ති සහ අඩිතාලම පුපුරා ඉතා අබලන් තත්වයක පවතී.

ගොඩනැගිලි අබලන් වීම සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කර වසරකට වැඩි කාලයක් ගතවී ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. යම් අනතුරක් වන්නට කලින් නිසි පියවරක් ගන්නා ලෙස ප්‍රදේශවාසීහු ඉල්ලා සිටිති.


නව අදහස දක්වන්න