නීතිය හමුවේ විශේෂිතයන් නෑ | දිනමිණ

නීතිය හමුවේ විශේෂිතයන් නෑ

සිරන්ජනි කුමාරි

රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ ඝාතනයට අදාළව අරලියගහ මන්දිරය, කාල්ටන් නිවස ආදියට සම්බන්ධ දුරකථන ජාල මඟින් යම් කරුණු හෙළිවන්නේ නම් තරාතිරම නොබලා අවශ්‍ය පුද්ගලයින් රහස් පොලිසිය වෙත කැඳවා ප්‍රශ්න කරන ලෙස හා නීතිය හමුවේ කිසිදු වි‍ෙශ්ෂිත පුද්ගලයකු නොමැති බවත් නීතිය ඉදිරියේ සැවෝම සමාන බැවින් ඝාතනයට අදාළ විමර්ශන කඩිනම් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා ඊයේ (30) රහස් පොලිසිය වෙත නියෝගයක් නිකුත් කළේය.

තවද වෛද්‍ය ආනන්ද සමරසේකර මහතා සම්බන්ධයෙන් කිසිදු අධිකරණයක් වාරණයක් නිකුත් කර නොමැති බැවින් ඔහු සම්බන්ධව සැක කිරීමට ප්‍රමාණවත් සාක්කි ඇත්නම් අපරාධ නඩු විධාන සංග්‍රහ පනත යටතේ බියකින් චකිතයකින් තොරව අදාළ පියවර ගන්නා ලෙසට රහස් පොලිසියට මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කළේය.

අගතියට පත් පාර්ශවය විසින් තාජුඩීන් ඝාතන සිද්ධියට අදාළ විමර්ශන අඩපණව ඇති බවත් සැකකරුවන් දෙදෙනකු පමණක් අත්අඩංගුවේ තබා ගනිමින් ඉදිරි විමර්ශන මන්දගාමීව සිදුවන බවට කරන ලද කරුණු දැක්වීම සලකා මහේස්ත්‍රාත්වරයා මේ නියෝග නිකුත් කළේය.

සිද්ධිය ඊයේ (30) නැවත කැඳවුණු අතර සැකකරුවන් බන්ධනාගාර අධිකාරවරයා විසින් අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණ.

වැඩිදුර වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කළ රජයේ අධිනීතිඥ ඩිලාන් පෙරේරා මහතා පැවැසුවේ රාජ්‍ය මුදල් අධ්‍යක්ෂකගෙන් රජය සතු දේපළ භාරදීම සම්බන්ධවද සෞඛ්‍ය අමාත්‍යාංශ අධ්‍යක්ෂක වෙතින් අස්ථි කොටස් භාරදීම සම්බන්ධව පැහැදිලි කිරීම් ලබාගත් බව පැවැසීය.

ඝාතනය වන අවස්ථාවේදී ජනපති මන්දිරයේ මෙහෙයුම් මැදිරියේ රාජකාරි කළ උප පොලිස් පරීක්ෂක එම්. ජයරත්න හා පොලිස් ‍ෙකාස්තාපල් (81171) නිමල් ජයසිරි නාලක ප්‍රේමකුමාර යන අයගේ ප්‍රකාශ රහස් පොලිසිය විසින් ලබාගෙන ඇති බවට රජයේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.

අනතුරුව අගතියටපත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මිස්බා මහතා පැවැසුවේ තාජුඩීන් ඝාතනය රිය අනතුරකින් නොව මිනීමැරුමක් බවට දෙවන පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තහවුරු වූ බවය.

වෛද්‍ය ආනන්ද සමරසේකර මහතාගේ ක්‍රියා කලාපය සැකසහිත බවට කරුණු තහවුරු වූවත් කිසිදු අධිකරණයකින් ඔහු අත්අඩංගුවට ගැනීම වළක්වා නියෝග නිකුත් කර නැති අවස්ථාවක ඔහු අත්අඩංගුවට නොගැනීම ගැටලුවක් බවත් ඔහු සම්බන්ධව වෛද්‍ය සභාවද ඇල්මැරුණු ස්වභාවයකින් සිය විමර්ශන පවත්වන බැවින් ඔහු අත්අඩංගුවට ගැනීමට නියෝග නිකුත් කරන ලෙසට නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

දෙවන සැකකරු වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥවරයා දන්වා සිටියේ කාල්ටන් නිවසේ හා අරලියගහ මන්දිරයේ සැකකරුවන්ද අධිකරණයට ගෙන ආ යුතු බවත් මෙම සැකකරුවන් දෙදෙනා රිමාන්ඩ් භාරයේ තබාගෙන රහස් පොලිසිය විමර්ශන පවත්වන බව පවසමින් කල්මරන බවය.

අදාළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා 2012 ආරම්භ වූ මෙම නඩුවට ඉදිරි වසරේදී වසර පහක් සම්පූර්ණ වන බව පවසමින් වෛද්‍ය සභාවට 2016/12/31 සිය විමර්ශන අවසන් කරන ලෙසත් වෛද්‍ය ආනන්ද සමරසේකර මහතා අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසියට කිසිදු බාධාවක් නොමැති බැවින් බියකින් චකිතයකින් තොරව සිය ගෞරවය රැකෙන පරිදි ක්‍රියාකරන ලෙසට රහස් පොලිසියට නියෝග කළේය.

තවද ඝාතනයට අදාළව දුරකථන විශ්ලේෂණ වාර්තා අනුව අරලියගහ මන්දිරය, කාල්ටන් නිවස පිළිබඳ කරුණු අනාවරණය වන්නේ නම් කිසිදු විශේෂයක් නොකර නීතිය හමුවේ සියලු දෙනා එක හමා සමාන බැවින් තරාතිරම නොබලා අවශ්‍ය පුද්ගලයින් රහස් පොලිසිය වෙත කැඳවා විමර්ශන කඩිනම් කරන ලෙසට නියෝග කළේය.

සැකකරුවන් දෙදෙනා තවදුරටත් ලබන මස 14 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කෙරිණි.

 

අදහස් 1ක් ඇත

Dead may have patience but our patience has exhausted. Progress of this case is hilariously slow.

නව අදහස දක්වන්න