කෝටි 400 වැට් වංචාවේ ලොක්කා රට පැනලා | දිනමිණ

කෝටි 400 වැට් වංචාවේ ලොක්කා රට පැනලා

විජයානි එදිරිසිංහ

දකුණු ආසියාවේ විශාලතම බදු මූල්‍ය වංචාව ලෙස සැළකෙන රුපියල් කෝටි 400 ට ආසන්න වැට් බදු වංචා නඩුවේ වැරදිකරු වී වසර 102 ක සිරදඬුවම් නියම වූ එහි ප්‍රධාන විත්තිකරු දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය කොමසාරිස් අගම්පොඩි ඥානසිරි ද සොයිසා ජයතිලක මහතා එම සිරදඬුවම්වලින් නිදහස් වී රාජසන්තක කර තිබූ ඔහුගේ කෝටි ගණනක දේපළ ද විකුණාගෙන විදෙස් රටකට ගොස් ඇති බව හෙළිවී තිබේ.

වැට් බදු මූල්‍ය වංචාවට අදාළව චෝදනා 34 ක් සම්බන්ධයෙන් එක් චෝදනාවකට වසර තුන බැගින් එකවර ගෙවී යන ලෙස ඔහුට වසර 102 ක සිරදඬුවම් නියම කර තිබුණි.

ඒ අතර ඔහු විසින් වංචා කර ඇති මුදල මෙන් තුන්ගුණයක් දඩ මුදල් ලෙස අයකර ගැනීමට නියම කරන බව 2014 මැයි මස 8 වැනිදා නඩු තීන්දුව ප්‍රකාශයට පත්කරමින් අවධාරණය කළ එවකට මහාධිකරණ විනිසුරුවරිය වූ කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය රුපියල් කෝටි 1200 ක දඩ මුදලක් නියම කළාය.

එම දඩ මුදල ගෙවීමට මාසයක කාලයක් ලබා දුන් අතර එම දඩ මුදල නොගෙව්වහොත් තහනමට ලක්කර තිබූ විත්තිකරු සතු සියලු දේපොළ රාජසන්තක කර දඩ මුදල් අයකර ගැනීමට ද විනිසුරුවරිය නියෝග කර තිබුණි.

විනිසුරුවරිය විසින් නියෝග කළ ආකාරයට එම දඩ මුදල විත්තිකරු ගෙවා නැති බවත්, උසාවි නිලධාරීන් එම දඩය වෙනුවට තහනමට ලක්කර තිබූ දේපොළ රාජසන්තක කර ගැනීමට ක්‍රියාකර නැති බවටත් තොරතුරු හෙළිදරව් වී ඇත. එපමණක් නොව එම දේපොළවලින් කොටසක් විත්තිකරු විසින් විකුණා ඇති බවටත් වාර්තා වෙයි.

තවද මේ දැවැන්ත බදු මූල්‍ය වංචාව සම්බන්ධයෙන් ප්‍රධාන විත්තිකරු ඇතුළු 13 දෙ‍නකුට එරෙහිව නඩු පවරා තිබුණි. ඉන් වැඩි දෙනෙක් බන්ධනාගාරයෙන් නිදහස්ව ගොස් තිබුණි. වසර හතකට ආසන්න කාලයක් පුරා පැවැති නඩු විභාගයෙන් පසු ගොනුකර තිබූ චෝදනා 34ට විත්තිකරු වරද පිළිගෙන තිබුණි. මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනකු හමුවේ එම නඩුව විභාග විය. 2007 ජනවාරි 24 වැනිදා නඩු විභාගය ආරම්භ වී තිබුණි. 2014 මැයි මස 8 වැනිදා තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණි. විගණකාධිපති දෙපාර්තමේන්තුවේ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ විගණන නිලධාරියකු වූ එච්. ඒ. ඩී. එස්. ඒ. ක්‍රිස්ටි මහතා දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ කටයුතු විගණනයට ලක්කරන අවස්ථාවේ මෙම දැවැන්ත මූල්‍ය වංචාවට අදාළ කරුණු හෙළිදරව් කරගෙන තිබුණි.

විගණන වාර්තා අනුව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ රුපියල් බිලියන 388 ක අහිමිවීමක් අහිමි වී ඇති බව හෙළිකරගෙන තිබුණි. ඒ අනුව මෙම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් පරීක්ෂණ සිදුවිය. මෙතරම් දැවැන්ත මූල්‍ය වංචාවක තොරතුරු හෙළිකර ගත් විගණන නිලධාරියා එම පරීක්ෂණ සිදුකර තිබුණේ ඔහුට බරපතළ ලෙස ජීවිත තර්ජන පවා එල්ලවෙමින් තිබියදීය.

2014 වසරේදී මෙම නඩුව අවසන් වුවත් මෙම විගණන නිලධාරියා දැඩි කැපවීමෙන් යුතුව සිදුකළ මෙම විගණන පරීක්ෂණ සම්බන්ධයෙන් ඔහුගේ රාජකාරිය එවකට සිටි නිලධාරීන් කිසිදු ඇගයීමකට හෝ ලක්කර නොතිබුණි. මෙම නඩුව සම්බන්ධව අධිකරණය දෙන ලද නියෝග උසාවිය මඟින් හරිහැටි ක්‍රියාත්මක වී නැතැයි අධිකරණ අමාත්‍යාංශයට ළඟදීම කරුණු ඉදිරිපත් කිරීමට කණ්ඩායමක් පියවර ගෙන තිබේ.

නව අදහස දක්වන්න