තාජුඩීන්ගේ මිතුරියක‍ෙගන් ප්‍රකාශයක් | දිනමිණ

තාජුඩීන්ගේ මිතුරියක‍ෙගන් ප්‍රකාශයක්

සිරන්ජනි කුමාරි

රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ ඝාතනයට අදාළව ඔහුගේ මිතුරියක වන මිනෝලි රාධිකා පීරිස්ගේ ප්‍රකාශය මත ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යන බවට රහස් පොලිසිය ඊයේ (14) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ආර්. මල්ලවආරච්චි මහතා වෙත දැනුම් දුන්නේය.

තාජුඩීන්ගේ මිතුරිය ඉකුත් 10 වන දින රහස් පොලිසිය වෙත කැඳවා ප්‍රකාශයක් ලබා ගත් අතර ඇය ඒ වන විටත් විදේශගතව සිටි බවත් සිය මිතුරෙකු මාර්ගයෙන් තාජුඩීන්ගේ මරණය සම්බන්ධව දැන ගත් බව පවසමින් ඇය ප්‍රකාශයක් ලබා දී ඇති අතර එම ප්‍රකාශය මඟින් අනාවරණය වූ කරුණු මත තවදුරටත් විමර්ශන පවත්වන බවට රහස් පොලිසිය අධිකරණය හමුවේ පැවසීය.

ඊයේ (19) යළි සිද්ධිය කැඳවු අතර හිටපු බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක හා නාරාහේන්පිට පොලිසියේ හිටපු ස්ථානාධිපති සුමිත් චම්පික පෙරේරා යන අය බන්ධනාගාර අධිකාරිවරයා විසින් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණ.

වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ඩිලාන් රත්නායක මහතා පැවසුවේ තාජුඩීන්ගේ අවයව කොටස් ඉකුත් 19 වන දින බොරැල්ල ජීන්ටෙක් ආයතනය වෙත ඩී. එන්.ඒ. පරීක්ෂණ සඳහා යොමු කළ ද මේ දක්වා වාර්තා ලැබී නොමැති බවය.

තවද අරලියගහ මන්දිරයේ හා ජනාධිපති මන්දිරය තුළ සිදු වූ දුරකථන විශ්ලේෂණ වාර්තා සම්බන්ධව ජනපති ආරක්ෂක කොට්ඨාශයේ නිලධාරීන් 12 දෙනෙකු රහස් පොලිසිය වෙත කැඳවා ප්‍රකාශ ලබා ගත් බවත් එම ප්‍රකාශ ඔස්සේ විමර්ශන තවදුරටත් පවත්වන බවට හෙතෙම පැවසීය.

අදාළ කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් මේ මස 26 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර එදිනට වැඩිදුර විමර්ශන ප්‍රගතිය වාර්තා කරන ලෙසට රහස් පොලිසියට නියම කළේය.

නව අදහස දක්වන්න