පුංචි ඡන්දය මාර්තුවට පෙර | දිනමිණ

පුංචි ඡන්දය මාර්තුවට පෙර

නිරුෂි විමලවීර

පුංචි ඡන්දය මාර්තු මාසය පෙර පැවැත්වීමට හැකියාව පවතින බවත් ඒ වෙනුවෙන් සීමා නිර්ණය අභියාචනා විමර්ශන කමිටුවේ වාර්තාව තමා වෙත මේ මස 28 වෙනිදාට පෙර ලැබීමට නියමිත බවත් පළාත් පාලන සහ පළාත් සභා ඇමැති ෆයිසර් මුස්තාපා මහතා ප්‍රකාශ කළේය.

මේ කර්තව්‍ය තමා උවමනාවෙන් ප්‍රමාද කරන බවටත්, එම වැඩපිළිවෙළට අකුල් හෙළන බවටත් ඒකාබද්ධ විපක්ෂයේ යැයි කියා ගන්නා පිරිසක් චෝදනා කරන බවත් එය පරාජිතයන් නැවත ජනතා අවධානය යොමු කර ගැනීමට යොදා ගන්නා සටන් පාඨයක් බවද ඇමැතිවරයා අනාවරණය කළේය.

ඇමැතිවරයා එසේ සඳහන් කළේ කොළඹ ඩාලිපාරේ පිහිටි ශ්‍රීලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී ඊයේ (15) පැවැති විශේෂ මාධ්‍ය හමුවට ඒකවෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැති ෆයිසර් මුස්තාපා මහතා මෙසේද සඳහන් කළේය.

පළාත් පාලන මැතිවරණයේ සීමා නිර්ණ කිරීම තෙවසක් තිස්සේ කතිකාවට ලක්වූ මහජනතාව තුළ උනන්දුවක් දැක්වු මාතෘකාවක්. ඒ නිසා මේ මස 30දාට පෙර එහි වාර්තාවක් ලබා දෙන ලෙස සීමා නිර්ණය අභියාචනා විමර්ශන කමිටුවෙන් ඉල්ලීමක් කළා. එම වාර්තාව මේ මස 28 වෙනිදා භාර දීමට නියමිතයි. මේ වැඩපිළිවෙළ උවමනාවෙන් ප්‍රමාද කරන බවටත්, කකුළෙන් අදින බවටත් මට චෝදනා එල්ල වෙනවා. මා අතින් එවැනි වරදක් සිදුවී නැහැ. වාර්තාව ලබා දුන් වහාම මාර්තු මාසයේ පමණ මැතිවණය පැවැත්වීමට සූදානම්. මම මැතිවරණ කොමිසමට ඒ පිළිබඳ දැනුම් දීමට කටයුතු යොදා තිබෙනවා.

පෙර පවුවලට මම දුක් විදිනවා. පෙර සිදුකළ වාර්තාව නිවැරදිව සිදු කළා නම් මේ වන විට සියලු කටයුතු නිමා කිරීමේ හැකියාව උදා වෙලා.

ආණ්ඩුව නියෝජනය කරන්නේ පාර්ශවයන් දෙකක ඇමැතිවරුයි. ඒ නිසා මතභේද ඇති වීම සාමාන්‍ය තත්ත්වයක් බව කිව යුතුයි. මේ විවාහය සිදු වූයේ ආදර සම්බන්ධයක් මත හෝ යෝජනාවක් මත නොවෙයි. ආදර සම්බන්ධයක් මත විවාහය සිදුවූවා නම් පවත්වාගෙන යෑම පහසුයි. නමුත් ජනතා තීන්දුවක් මත මේ විවාහය සිදුවුණා. ඒ නිසා දෙපාර්ශ්වයේ ඇමැතිවරු විරුද්ධ අදහස් දැක්වුවද ආණ්ඩුව පවත්වාගෙන යා යුතුයි. එජාපයට මන්ත්‍රී ආසන 113 ක් ලැබුණද , ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මන්ත්‍රී ආසන 113ක් ලැබුණද ජනාධිපතිතුමාගේ සිහිනය සැබෑ වන්නේ නැහැ. පක්ෂ දෙකටම තනියෙන් ආණ්ඩුවක් පවත්වාගෙන යෑමට ජනවරමක් ලැබුණේ නැහැ.

ඒ නිසා මේ තත්ත්වය ඇති වුණා. ශ්‍රීලංකා නිදහස් පක්ෂ ඇමැතිවරුන්ට ආණ්ඩුවෙන් යනැයි සමහරුකියනවා. මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනාධිපති අපේක්ෂකත්වය නොදී මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත් කළ හැකි අපේක්ෂකයෙකු සොයා ගැනීම අපහසු වුණා. ප්‍රගතිශිලි බලවේග පොදු අපේක්ෂකයා වටා ඒකරාශී වුණා. ඒ අනුව පසුගිය ජනාධිපතිවරණය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ජයග්‍රහණ කිරීම ජනතා ජයග්‍රහණ රැසක් ලබා ගැනීමට හැකිවී තිබෙනවා. මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති නොවුණා නම් යහපාලන ආණ්ඩුවක් මේ රටේ බිහි වෙන්නේ නැහැ.

මෙහිදී අදහස් දැක්වූ විද්‍යා තාක්ෂණ පර්යේෂ රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා මෙසේ සඳහන් කළේය-

මුහුණු පොතේ පළ කෙරෙන තොරතුරු වලින් සියයට අසූවක් අනූවක් අසත්‍ය තොරතුරු මත පදනම් වි තිබෙනවා. එහි සත්‍යතාවක් නැහැ. පට්ටපල් බොරු ඒ මගින් ප්‍රචාරය කරනවා. ඇතැම් පුද්ගලයන්ගේ කීර්ති නාමයට පවා එය කැළලක්. චීනය, සිංගප්පූරුව වැනි රටවල් එවැනි ප්‍රවෘත්තිවල සත්‍යතාව නිවැරදි දැයි නියාමනය කෙරෙනවා. එමඟින් සිදු වන හානිය අවම කර ගැනීමේ හැකියාව උදා වෙනවා. සමහර අය අපට ආණ්ඩුවෙන් ඉවත්වන්නැයි පවසා තිබෙනවා.

සාමූහික ලෙස පවත්වාගෙන යන ආණ්ඩුවකින් ඉවත්වීමට යැයි කීම සුදුසු ප්‍රකාශයක් නොවෙයි. ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් ලෙස ආණ්ඩුව සමඟ කටයුතු කළඳ වැරදි දේ විවේචනය කළ යුතුයි. මහබැංකු හිටපු අධිපතියාගේ ප්‍රශ්නයේදී පක්ෂයක් ලෙස අපේ ස්ථාවරය අප ප්‍රකාශ කළා. ඔහු දඬුකදේ ගැසිය යුතු බව අපේ අදහස වුණා. නමුත් සාමූහිකව ආණ්ඩුව පවත්වාගෙන යෑම වෙනත් කරුණක්. පසුගියදා හම්බන්තොට වරායේදි මාධ්‍යවේදියෙකු පහර දීමේ සිද්ධිය අනුමත කළ හැකි සිදුවීමක් නොවෙයි. නමුත් ප්‍රශ්නයක් සිදු වූවානම් එය කතා බස් කර විසඳා ගැනීමේ හැකියාව තිබුණා. පහර දීමක් දක්වා ගෙන යෑමට අවශ්‍ය නැහැ. නමුත් ඇතැම් මාධ්‍ය මඟින් ඒක ප්‍රාර්ශවික මාධ්‍ය කරණයක යෙදෙනවා. එය සාධාරණීකරණය කළ නොහැකියි. මාධ්‍යයට ආචාර ධර්ම පද්ධතියක් තිබිය යුතු වෙනවා.

මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට ඇමැතිවරු පිළිතුරු ලබා දුන්හ. 

නව අදහස දක්වන්න