සංවර්ධන පනතට අනුමැතිය ගැනීමට පියවර | දිනමිණ

සංවර්ධන පනතට අනුමැතිය ගැනීමට පියවර

ශිරෝමි අබයසිංහ

 

රටේ සීඝ්‍ර සංවර්ධනය ඇති කරමින් තරුණ තරුණියන්ට රැකියා සහ වෙනත් ආදායම් මාර්ග බිහි කිරීමේ අරමුණින් ගෙන එන සංවර්ධන විධිවිධාන පනත් කෙටුම්පතට පළාත් සභාවල අනුමැතිය ගැනීමට රජය ක්‍රියා කරයි.

ආර්ථික කලාප හරහා රටේ දැවැන්ත සංවර්ධන පිම්ම් පැනීමට අදාළ මෙම සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත මේ වන විටත් පළාත් සභා අනුමැතිය සඳහා යොමු කර තිබේ.

උතුරු සහ නැගෙනහිර ඇතුළුව පළාත් සභාවල මහ ඇමතිවරුන්ගේ පූර්ණ සහාය සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතට මේ වන විටත් පළ වී ඇති බවද මෙම සංවර්ධන විශේෂ පනත් කෙටුම්පත පිළිබඳව මහ ඇමතිවරුන් දැනුවත් කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරමින් සිටින අතර මේ සතියේ ඒ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා පළාත් සභා විපක්ෂ නායකවරු දැනුවත් කරන බවද සභානායක උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

වසර පහක් තුළදී රැකියා දස ලක්ෂයක් බිහි කිරීමේ අති දැවැන්ත සංවර්ධන ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම සඳහා ගෙන එන නව කෙටුම්පත හරහා කිසිදු අයුරකින් සුපිරි ඇමති බලතල පැවරීමක් සිදු නොවන බවද කිරිඇල්ල මහතා සඳහන් කරයි. වර්තමානයේ කඩිනම් අවශ්‍යතාවයක් ලෙස පවතින රැකියා දස ලක්ෂයක බිහි කිරීමටත්, හම්බන්තොට කර්මාන්ත පුරය, චෙන්නායි හා ඩුබායි අතර ඇති වෙන මූල්‍ය නගරයටත් අවශ්‍ය සියලු ආයෝජන ලබා ගැනිම සඳහා සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත හරහා සියලු නීතිමය පසුබිම සහිතව කෙටුම්පත සකස් කෙරේ.

රජය මෙම විශේෂ පනත් කෙටුම්පත ගෙන එන්නේ ජේ.ආර්.ජයවර්ධන මහතාගේ නායකත්වය යටතේ එක්සත් ජාතික පක්ෂය 80 දශකයේ සිට මෙරටේ දියත් කළ සීඝ්‍ර සංවර්ධන ඉලක්ක ආදර්ශයට ගනිමිනි.

අසූව දශකයේ මෙරට ප්‍රධානම අවශ්‍යතා ලෙස පැවති නිවාස තැනීම සහ මහවැලි යෝජනා ක්‍රමය කඩිනමින් අවසන් කිරීම සඳහා එවකට විෂය භාර අමාත්‍යවරුන් වූ රණසිංහ ප්‍රේමදාස සහ ගාමිණි දිසානායක මහත්වරුන්ට අසීමාන්තිකව බලතල පැවරී තිබිණි. නිවාස අමාත්‍යවරයා වශයෙන් නාගරික සහ ග්‍රාමීය නිවාස ඉඳිකිරීමට අවශ්‍ය පූර්ණ බලතල රණසිංහ ප්‍රේමදාස මහතාට ලබා දීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය, ජාතික නිවාස අධිකාරිය යන ආයතනවලට පූර්ණ බලතල පිරිනැමුණු අතර ග්‍රාමීය නිවාස ඉඳි කෙරුණු ගම් උදා ව්‍යාපාරය ජාතික වැඩසටහනක් ලෙස නම් කෙරිණි.

වසර තිහකින් නිම කිරිමට යෝජිතව තිබු මහවැලි යෝජනා ක්‍රමය ඇති කිරිමට පූර්ණ බලතල සහිතව මහවැලි අධිකාරිය ස්ථාපිත කෙරුණු අතර එහි ප්‍රතිඵලයක් ලෙන වසර හයක් තුළදි කඩිනම් මහවැලි යෝජනා ක්‍රමය අංගසම්පූර්ණව අවසන් කෙරිණි.

රට පුරා වෙළෙඳ කලාප ආරම්භ කර තරුණ තරුණියන්ට රැකියා ආදායම් මාර්ග උදාකර දීම සඳහා එවකට අමාත්‍යවරයකුව සිටි රනිල් වික්‍රමසිංහ මහතාටද සුවිශේෂි බලතල පැවරීමට පියවර ගැණුනු අතර බියගම, කටුනායක මෙන්ම කොග්ගල නිදහස් වෙළෙඳ කලාප එහි ප්‍රතිපලයක් ලෙස බිහි වුණි.

මෙරට තරුණ පරපුරේ අභිවෘද්ධිය වෙනුවෙන් ගන්නා කිසිදු ක්‍රියාමාර්ගයක් අන්තවාදි සුළුතර නඩ සහ එම කණ්ඩායම්වලට උදව් කරන මාධ්‍යවල අවශ්‍යතාවය මත කිසි ලෙසකින්වත් වෙනස් නොකරන බවද අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි. තරුණ තරුණියන්ට රැකියා ආදායම් මාර්ග බිහි කළ විට ඒකාබද්ධ විපක්ෂය වැනි ජනතාව ප්‍රතික්ශේප කළ ජාතිවාදි අන්තවාදි නඩවල දේශපාලනයඅවසන් වන බවද එවැනි සුළුතර කණ්ඩායම් සුපිරි ඇමති භීතිකාවක් ජනගත කිරිමට අසාර්ථක වෑයමක යෙදී සිටින්නේ යැයිද අමාත්‍ය කිරිඇල්ල මහතා සඳහන් කරයි. ඒකාබද්ධ විපක්ෂය වැනි ජාතිවාදි මත දරන කණ්ඩායමක බොරු ප්‍රචාර වලට යටවී මෙරට තරුණ පරපුරේ අනාගතය අඳුරු කිරිමට රජය කිසිසේත් සුදානම් නැතැයිද අමාත්‍ය කිරිඇල්ල මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

නව අදහස දක්වන්න