පුංචි ඡන්දය ජය ගැනීමට ශ්‍රීලනිපය සූදානම් | දිනමිණ

පුංචි ඡන්දය ජය ගැනීමට ශ්‍රීලනිපය සූදානම්

චන්ද්‍රිකා පෙරේරා

ඉදිරි පළාත් පාලන ඡන්දය ජය ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් බවත් නව වසරේ පළමු කාර්තුවේ දී එය පැවැත්වීමට හැකිවනු ඇති බවත් ඛණිජ තෙල් සම්පත් සංවර්ධන ඇමැති චන්දිම වීරක්කොඩි මහතා පැවැසීය. පසුගිය වසර හා සංසන්දනය කිරිමේ දී ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය රුපියල් බිලියන හැත්තෑ පහක ලාබයක් ලබා ඇති බව ද හෙතෙම අවධාරණය කෙළේය.

පැවැති රජයේ මැති ඇමැතිවරු සිදුකළ අයුරින් වර්තමාන ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමේ කිසිවෙක් කිසිදු වංචාවක් සිදුකර නැති බවත් මේ අනුව ජනතාවගේ වැඩි කැමැත්ත ලැබෙන බවත් ඇමැතිවරයා පෙන්වා දුන්නේ ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැකසිය යුත්තේ රටේ පොදු ජනතාව සුරක්ෂිත කිරීමට මිස දේශපාඥයින්ට අවශ්‍ය ලෙස නොවන බව ඇමැතිවරයා වැඩිදුරටත් අවධාරණය කෙළේය .

රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ ඊයේ (20) සවස ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවේ දී චන්දිම වීරක්කෝඩි මහතා එම අදහස් පළ කෙළේය. එහි දී ඇමැතිවරයා මෙසේ ද සඳහන් කෙළේ ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිසංවිධාන කටයුතු පසුගිය දෙසැම්බර් නැවත ආරම්භ වුනා. බල මණ්ඩලවල හොඳ ප්‍රවණතාවක් අපි දැක්කා. පාක්ෂිකයන් අතරත් එය අප දුටුවා. සාමාජික ප්‍රවර්ධන වැඩසටහන් බොහෝ ප්‍රදේශවල සිදුකර අවසන් වෙමින් තිබෙනවා. ශාඛා සංවිධාන, භික්ෂු, තරුණ, කාන්තා වැනි සියලු අංශවල ඒවා ප්‍රතිසංවිධාන කටයුතු බොහෝ දුරට අවසන්. ලබන මාර්තු වන විට සියලු ශාඛා ප්‍රතිසංවිධාන කටයුතු අවසන් කෙරෙනවා. ඒ අනුව ඉදිරි මැතිවරණ සියල්ල ජය ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම්. මේ සියලු කටයුතු අතර ජාතික රජයක් ලෙස ජනතාව වෙනුවෙන් සිදුකරන කටයුතු සියල්ල සාර්ථකව ඉදිරියටත් සිදුකරනවා.

ලබන වසරේ පළමු කාර්තුවේ දී ඡන්දය පැවැත්වීමට හැකිවේවි. පළාත් පාලන සීමා නීර්ණ කොමිසම් වාර්තාව එළි දැක්වීමෙන් පසු අදාළ ඇමැතිවරයා නිවේදනයක් නිකුත් කරාවි. පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් පක්ෂ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (20) පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කළා. එහි දී වෙනදාට වඩා දිස්ත්‍රික් සංවිධාකවරු සමඟ කතා කළ අතර ඒ අයගේ අදහස් යෝජනා හා ගැටලු සම්බන්ධයෙන් කතා කළා.

ඒකාබද්ධ විපක්ෂය හෝ වෙනත් මත දරාගෙන සිටින අයට ශ්‍රීලනිප යේ වැඩපිළිවෙළට එක්වන ලෙස මෙහි දී ජනාධිපතිතුමා ආරාධනා කළා. එජාපය පරාජය කිරීමට නම් ශ්‍රී ලනිපය තනිව ආණ්ඩුවක් පිහිටුවීමට නම් සියලු දෙනා පක්ෂය වටා එක්විය යුතුයැයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. කෙසේ වුවත් පළමු වසරට වටා දෙවන මැයි රැළියට හා දෙවන පක්ෂ සම්මේනයට මහා ජනකායක් එක්වුණා. එයින් ජනතාව පක්ෂය සමඟ නායකත්වය සමඟ සිටින බව පෙ‍නුනා.

කෙසේ වුවත් බැසිල් රාජපක්ෂ මහතාගේ පක්ෂයට එක්වන බවට පාර්ලිමේන්තු කණ්ඩායමේ කිසිදු අයෙක් මේ වන තෙක් නිල ප්‍රකාශක් කර නැහැ. හිටපු ජනාධිපති පරාජයට පළමු හේතුව බැසිල් රාජපක්ෂ මහතා බව ඒ අයම කියනවා. අලුත් පක්ෂයේ පළමු සාමාජිකයාත් බැසිල් මහතා .

පැවැති ආණ්ඩුවේ විදෙස් ප්‍රතිපත්ති නිසා අන්තර් ජාතික වශයෙන් එදා අප රටට සහායක් ලැබුනේ නැහැ. එදා විදේශ ඇමැති ලෙස කටයුතු කළේ ජී එල් පීරිස් මහතා. මේ අය පිහිටුවූ පක්ෂය පිළිබඳ අදහසත් එවැනිම ආකාරයේ එකක්.

අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරු කිසිදු අනවශ්‍ය කටයුත්තක නීති විරෝධි කටයුත්තක යෙදී නැහැ එවැනි දේට අසූවී නැහැ. මේ අනුව ජනතාව ජනතාව කොයි පැත්තද හොඳ කියා තීරණය කරාවි. පිරිසිදු කණ්ඩායමට එක්වේවි. කිසිදු ආකාරයකින් එක් අයෙක් වටා බලය ‍‍එක්වන සුපිරි ඇමැතිවරයෙක් පත් කිරීමට අප කිසිවිටෙකත් එකඟ නැහැ. එවැනි දේ පසුගිය පාලන සමයේ වුණා. එයින් අප දුටුවා සිදුවූ දේ.

නමුත් රටේ සංවර්ධනය ඉක්මන් හා විධිමත් කිරීම වෙනුවෙන් අවශ්‍ය නීති සම්පාදනය සඳහා අප එකඟව කටයුතු කරනවා. යෝජිත ව්‍යවස්ථා‍ව සැකසීමේ දී රටේ ඒකීයභාවය‍ට හානිවන කිසිදු වගන්තියක් ඇතුල් කිරීමට අප ඉඩ දෙන්නෙ නැහැ. එමෙන්ම මෙතෙක් බුදු දහමට ඇති මූලිකත්වය වෙනස් කිරීමට ඉඩ දෙන්නෙත් නැහැ. එමෙන්ම කිසියම් පළාත් දෙකක් හෝ කිහිපයක් එක් කිරීමට ද අප එකඟ වෙන්නේ නැහැ. මේ ස්ථාවරයේ සිටිමින් රටේ ජනතාවට ගැලපෙන මතයක් අනුව ඉදිරියට යාමට අප කටයුතු කරනවා. 

නව අදහස දක්වන්න