විශේෂ ප්‍රකාශයකට අනුර සේනානායකට අවසර | දිනමිණ

විශේෂ ප්‍රකාශයකට අනුර සේනානායකට අවසර

සිරන්ජනී කුමාරි

රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන‍්ගේ ඝාතනය සම්බන්ධයෙන් තවමත් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා රහස් පොලිසිය වෙත විශේෂ ප්‍රකාශයක් දීමට සූදානම් බව පවසමින් එහි අධ්‍යක්ෂකවරයා වෙත ලිපියක් යොමුකර ඇතැයි රහස් පොලිසිය ‍ඊයේ (26) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා වෙත දැනුම් දුන්නේය.

මීට අමතරව තාජුඩීන්ගේ අවමංගල උත්සවයට සහභාගිවීම සඳහා ඔස්ට්‍රේලියාවේ සිට පැමිණි ඔහුගේ වැඩිමහල් සොයුරා නාරාහේන්පිට පොලිසිය වෙත කැඳවාගෙන ගොස් එවකට අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිවරයා තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධව වැඩිදුර තොරතුරු සොයා නොබලන ලෙසට කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් ද දැනට බන්ධනාගාරගතව සිටින සුමිත් පෙරේරාගේ නැවත ප්‍රකාශයක් ලබා ගැනීමට රහස් පොලිසිය අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියේ ය.

අදාළ කරුණු සළකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකාර අනුර සේනානායක මහතා හා චම්පික පෙරේරා ගෙන් ප්‍රකාශ ලබාගැනීමට රහස් පොලිසියට අවසර ලබාදෙමින් සැකකරුවන් තවදුරටත් ලබන 6 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කළේය.

නව අදහස දක්වන්න