වෝක්ස්වාගන් කම්හලට මුල්ගල් තබයි - update

‘වෙස්ටන් ඔටෝමොබයිල් ඇසෙම්බ්ලි‘ මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව සඳහා අද කුලියාපිටිය ලබුයායේ දී මුල්ගත් තැබිණි.

ජනපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් උත්සවය පැවැති අතර කර්මාන්ත ශාලාවේ වැඩකටයුතු වසර දෙකකදී නිම කිරීමට නියමිතය.

නව රැකියා විසිදහසක් සඳහා මෙම සතිය තුළ පදනම දමන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ පැවසීය.

යහපාලන ආණ්ඩුව සඳහා තමන් බලය ලබාගත්තේ නව රැකියා බිහි කරන බවටද ජනතාවට පොරොන්දු වෙමින් බවයි අග‍්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියාසිටියේ.

එලෙස නව රැකියා බිහි කිරීම මෙතෙක් ප‍්‍රමාද වුයේ තමන් භාරගත් ආර්ථිකය ආදායම් අඩු සහ ණය ගොඩගැසුණු එකක්වීම නිසා බවද අග‍්‍රාමාත්‍යවරයා කියාසිටියා.

කෙසේවෙතත් එම අභියෝග යහපාලන ආණ්ඩුව විසින් දැන් ජයගනිමින් සිටින බවයි අග‍්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

කුලියාපිටිය වාහන එකලස් කිරීමේ මධ්‍යස්ථානයට මුල් ගල - update

-රක්ෂණ ශ්‍රියන්ත , කුලියාපිටිය සිට
 
යහපාලන රජයේ තවත් පොරොන්දුවක් මල් ඵල ගන්වමින් අද සවස(03) වාහන එකලස්කිරීමේ කර්මාන්ත ශාලාව සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ සුරතින් කුලියාපිටිය ලබුයාය මහනුගවත්ත ප්‍රදේශයේදී මුල්ගල තැබේ.
 
අග්‍රාමාත්‍යවරයාගේ අදහසක් වන මේ මහා ව්‍යාපෘතිය,ජනාධිපතිවරයාගේ මග පෙන්වීම මත ක්‍රියාත්මක කෙරෙන අතර අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා විසින් කුලියාපිටිය පුරවරයේ ජනතාව වෙනුවෙන් ලබා ගෙන තිබේ.
 
අක්කර පනහක පමණ භූමියක ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ලෙස ඩොලර් මිලියන විසිහයයි දශම පහක ආයෝජනයකින් මේ මෝටර් රථ කර්මාන්ත ශාලාව ආරම්භ කෙරේ.
 
මේ ව්‍යාපෘතිය සඳහා වොක්ස්වගන් සමාගම සමග 2015 අගෝස්තු මස දේශීය සමාගම වන සෙනොක් සමාගම ගිවිසුම අත්සන් කළේය. වෙස්ටර්න් ඔටෝමෝබයිල් ඇසම්බ්ලි ප්‍රයිවෙට් ලිමිටඩ් යනුවෙන් මේ දේශීය සමාගම ආරම් භ කෙරේ. මේ ව්‍යාපෘතිය තුළ මෝටර් රථ නිෂ්පාදන කර්මාන්ත ශාලාව මෙන්ම තරුණ තරුණියන්ට මෝටර් රථ කර්මාන්තය පිළිබඳ පුහුණුව ලබාදීමත් සිදුකෙරේ.එමගින් තරුණ තරුණියන් සඳහා රැකියා 3000ක් ද වක්‍ර රැකියා 10000ක් ලබාදීමට සැලසුම් කර තිබේ.
 
මෝටර් රථ කර්මාන්ත ශාලාව තුළ ඇන්ජින් ධාරිතාව 1000 සහ 2000 වන මගී මෝටර් රථ, ක්‍රීඩා සඳහා භාවිතා වන මෝටර් රථ, භහුකාර්ය වාහන, වෙළෙඳවාහන, ආදිය නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇත.
 
මේ කර්මාන්ත ශාලාව නිසා දැනටමත් ඉඩම් මිල ඉහල යාම, නවාතැන්  පහසුකම් සැපයීම සඳහා ගොඩනැගිලි ඉදිකිරිම වැනි සංවර්ධන ව්‍යාපෘති ආරම්භවී කුලියාපිටියේ මහත් පිබිදීමක් ඇතිවී තිබේ. කුලියාපිටිය ප්‍රදේශයේ ජනතාව තමන්ට ලැබුණු මේ අනගි ව්‍යාපෘතිය නිසා මහත් උද්දාමයට පත්ව සිටිති. ඔවුන් පවසන්නේ දැන් තමන්ට රැකියා සොයමින් අතන මෙතන යන්නට අවශ්‍ය නැති බවයි. පළමු වරට යුරෝපීය මෝටර් රථ නිෂ්පාදන ආයතනයක් ශ්‍රී ලංකාවේ කුලියාපිටිය පුරවරයට ලැබීමත් සමග තමන්ගේ අගය වැඩිවී තමන්ට හොඳ පිළිගැනීමක් අතමිට සරුවෙමින් අනාගත බලාපොරොත්තු මල්ඵල ගැන්වීම ගැන රජයටත් ඇමැති අකිල විරාජ්  කාරියවසම් මහතාටත් ජනතාව සුභාශිංසන කරති. මේ කර්මාන්ත ශාලාව පැමිණීමත් සමග නවාතැන් පහසුකම් සැපයීමට නවාතැන් පොළවල් ඉදි කිරිම, ආපන ශාලා ඉදිකිරිම හා ඒ ආශ්‍රිත රැකියා සදහා සුදානම්වන අයුරු අපටද දැක ගත හැකි විය.
 
තමන්ගේ දු දරුවන් වෙනුවෙන් මෙවැනි ජාත්‍යන්තර මට්ටමේ රැකියා ලැබිමත්, ජාත්‍යන්තර මට්ටමේ රැකියා සඳහා පුහුණු ආයතනයක් ලැබිමත් ගැන ජනතාව බොහෝ සතුටින් කතා කරති.
 
කුලියාපිටිය ප්‍රාෙද්ශීය සභාවේ හිටපු සභාපති මහින්ද පුෂ්පකුමාර මහතා අප සමග පැවසුවේ ශ්‍රී ලංකාව යනු අතරමැදි ආදයම් ලබන රටක් හෙයින් බොහෝ විට විදේශ විනිමය ලැබෙන්නේ ශ්‍රමිකයන් ගෙන් හා සම්ප්‍රධායික භාණ්ඩ වලින් බවයි. නමුත් දැන් තරග කාරී ලෝකයේ ඒ මත රදා පැවතිම අපහසු හෙයින් මෙවැනි යුරෝපිය මෝටර් රථ නිෂ්පාදන ආයතනයක් මෙරටට පැමීණීමෙන් අපට නව බලාපොරොත්තුවක් විදේශ විනිමය කෙරෙහි ඇති කර ගැනීමට හැකිවු බවයි. එසේම ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා මේ ව්‍යාපෘතිය තම පුරවරයට ගෙන ඒමෙන් ජනතාවට මෙන්ම මුලු රට වාසී ජනතාවටම මහත් සෙතක් සැලසෙන් බවත් සෘජු හා වක්‍ර රැකියා තුළින් ජනතාවගේ බොහෝ ප්‍රශ්න වලට විසඳුම් උදාවන බවය.
 
යහපාලන වැඩ සටහන් යටතේ ලෝකයේ දෙවන විශාලතම වාහන නිෂ්පාදනය කරන "වොක්‌ස්‌ වැගන්" කර්මාන්ත ශාලාවක්‌ ආරම්භ කිරීමට පියවර ගැනීම මුලු මහත් ශ්‍රී ලංකාවම ලැබු ජයක් බවද හෙතෙම සඳහන් කළේය.
 
ඡායාරූප- නිරෝෂන් බටේපොළ
 
 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...