රවිරාජ් තීන්දුව: අභියාචනයකට සූදානමක්

කමනි අල්විස්

පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතාගේ ඝාතන නඩු තීන්දුව පිළිබඳ අභියාචනයක් අභියාචනාධිකරණය වෙත ඉදිරිපත් කිරීමට සලකා බලාගෙන යන බව නීතිපති ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතා ‘දිනමිණ’ ට පැවැසීය.

මේ නඩු තීන්දුව ප්‍රකාශයට පත්කළ දිනට පසුදින නඩුවේ කාර්ය සටහන් ලබාදෙන ලෙසට තීන්දුව ප්‍රකාශයට පත්කළ අධිකරණය වෙත දැනුම් දුන් බව නීතිපති ජයසූරිය මහතා ප්‍රකාශ කළේය. අදාළ කාර්ය සටහන් අධිකරණයෙන් ලැබෙනතුරු සෙසු සලකා බැලීම් දැනටමත් සිදුකරගෙන යන බව නීතිපති ජයසූරිය මහතා අවධාරණය කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතා සහ ඔහුගේ ආරක්ෂකයා වෙඩි තබා ඝාතනය කිරීම පිළිබඳ නඩුවේ නඩු තීන්දුව ඉකුත් 24 දා මධ්‍යම රාත්‍රියේ කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා ප්‍රකාශයට පත්කරමින් චුදිතයන් පස්දෙනා නිදොස් කොට නිදහස් කරන ලදී. විත්තිකරුවන් පස්දෙනා චෝදනාවන්ට නිවැරැදිකරුවන් බව විශේෂ ජූරි සභාව ඒකමතිකව තීරණය කිරීම නිසා විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමට මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා තීරණය කළේය.

මධ්‍යම රාත්‍රිය ඉක්මවා නඩු තීන්දුව ප්‍රකාශයට පත්කළ ශ්‍රී ලංකා අධිකරණ ඉතිහාසයේ ප්‍රථම නඩු තීන්දුව වන්නේ මේ නඩු තීන්දුවයි. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...