හොරොව්පතාන යුද හමුදා කඳවුරේ 16ක් මාරු කරයි | දිනමිණ

හොරොව්පතාන යුද හමුදා කඳවුරේ 16ක් මාරු කරයි

අමිල ප්‍රභාත් වනසිංහ
අනුරාධපුර මධ්‍යම සමූහ

හොරොව්පතාන පොලිසිය ඉදිරිපිට කළහකාරී ලෙස හැසිරෙමින් කටයුතු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හොරොව්පතාන යුදහමුදා කඳවුරේ සේවය කළ ප්‍රධානියා ඇතුළු දහසය දෙනකු (16) එම කඳවුරෙන් ඉවත් කර තිබේ.හොරොව්පතාන නගරයේ ඉකුත්දා (31) රාත්‍රී පැවැති සංගීත ප්‍රසංගයකට සහභාගි වූ බීමත්ව සිටි දෙපිරිසක් අතර ගැටුමක් ඇතිව තිබේ. පසුව හොරොව්පතාන පොලිසිය මැදිහත්වී ගැටුම සමතයකට පත්කර එයට සම්බන්ධ දස දෙනෙකු (10) අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අතර හොරොව්පතාන යුදහමුදා කඳවුරේ ප්‍රධාන නිලධාරිවරයාගේ ආරක්ෂක නිලධාරියකු ද සිට ඇති අතර, පසුව එහි ප්‍රධානියා පොලිසියට දුරකථන ඇමතුමක් ලබා ගෙන යුදහමුදා සෙබළා නිදහස් කර ගෙන තිබේ.

පසුව පෙරේදා පෙරවරුවේ 10.00ට පමණ හොරොව්පතාන යුදහමුදා කඳවුරේ සෙබළුන් දොළොස් දෙනකු පමණ තුවක්කු රැගෙන හිස්වැසුම් නොමැතිව යතුරුපැදිවලින් හොරොව්පතාන පොලිසිය ඉදිරිපිටට පැමිණ කෑගසා කලබලකාරී ලෙස හැසිරෙමින් යළි හොරොව්පතාන නගරයට ගොස් අහසට වෙඩිල්ලක් තබා ඇතැයි වාර්තාවේ.

අනතුරුව පුද්ගලයකු 119 මඟින් සිද්ධිය සම්බන්ධව පොලිසියට දැනුම් දී ඇත. ඉන් පසුව පෙරේදා (01) හවස අනුරාධපුර යුදහමුදා පොලිස් හේවා බැළඇණිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ සිදුකර ප්‍රශ්න කිරීම සඳහා හොරොව්පතාන යුදහමුදා කඳවුරේ සෙබළුන් දහසය දෙනාම අත්අඩංගුවට ගෙන තිබේ.

පසුව හොරොව්පතාන යුදහමුදා කඳවුරේ සිටි ප්‍රධානියා ඇතුළු සෙබළුන් දහසය දෙනාම ඉන් ඉවත් කර වෙනත් සෙබළුන් එහි සේවය සඳහා යොදවා ඇත. අනුරාධපුර යුදහමුදා පොලිස් හේවා බැළඇණිය හා පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි. 


නව අදහස දක්වන්න

Or log in with...