හම්බන්තොට ඉඩම සම්බන්ධයෙන් වාසුගෙන් පෙත්සමක් | දිනමිණ

හම්බන්තොට ඉඩම සම්බන්ධයෙන් වාසුගෙන් පෙත්සමක්

නෙල්කා මැදගෙදර

හම්බන්තොට වරාය සහ ඒ ආශ්‍රිත අක්කර පහළොස්දහසක ඉඩම චීන සමාගම් දෙකකට බදු දීමට ගෙන ඇති කැබිනට් තීරණය බල රහිත කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

පාර්ලිමේන්තුවේ අනුමැති‍යකින් හෝ නිසි ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය කිරීමෙන් තොරව මේ වරාය සහ ඉඩම දිගුකාලීනව චීන සමාගම්වලට බදු දීමට ගෙන ඇති තීරණය නිසා තමන්ගේ මෙන්ම මෙරට ජනතාවගේ ද මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි පෙත්සම්කරු මේ පෙත්සම මඟින් පැමිණිලි කර සිටී.

නව වාමාංශික පෙරමුණේ නායක රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මෙහි පෙත්සම්කරු වේ.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය, චයිනීස් මර්චන්ට් පෝර්ට් හෝල්ඩින්ග් සමාගම, චයිනා කොමියුනිකේෂන් කන්ස්ට්‍රක්ෂන් සමාගම, ව්‍යවස්ථාදායක සභාව සහ නීතිපතිවරයා මෙහි වගඋත්තරකරුවෝ වෙති.

ඉකුත් 2016 වසරේ ඔක්තෝබර් මස 17 වැනි දා කැබිනට් මණ්ඩල කමිටුවක් පත් කරන ලද අතර, හම්බන්තොට වරාය චීන රජයට අනුබද්ධිත සමාගමකට දිගුකාලීන බදු ගිවිසුමක් යටතේ ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කර නිර්දේශ ලබා දීම එම කැබිනට් මණ්ඩල කමිටුව මඟින් සිදු කළ බව පෙත්සමෙහි දැක්වේ. ඒ අනුව අදාළ වරාය ලබාදීම සම්බන්ධයෙන් වන මූලික ගිවිසුමක් 2016 දෙසැම්බර් මස 08 වැනි දා චීන රජය සමඟ සකස්කරගත් බව සඳහන් වේ. එසේම චීන තානාපතිවරයා කළ ඉල්ලීමක් අනුව වරාය ආශ්‍රිතව ඉඩම් අක්කර 15, 000ක් චීන සමාගමකට ලබාදීමට යන අතර, හම්බන්තොට සංවර්ධනය කිරීම සඳහා එම ඉඩම් ලබාදෙන බවක් සඳහන් වන බව ද පෙත්සම්කරු කියයි.

නිසි ටෙන්ඩර් කැඳවීමකින් තොරව එලෙස වරාය සහ ඉඩම ලබාදීම නීති විරෝධී සහ අසාධාරණ බව පෙත්සම්කරු පවසයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) සහ 14(1) යන වගන්තීන් මඟින් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් මෙමගින් උල්ලංඝනය වන බවට පෙත්සම්කරු පැමිණිලි කර සිටී.

එබැවින් හම්බන්තොට සංවර්ධන ව්‍යාපෘතිය යටතේ හම්බන්තොට වරාය සහ ඉඩම් අක්කර 15, 000 චීන සමාගම්වලට ලබාදීමේ තීරණය අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටී.

එසේම අදාළ කැබිනට් තීරණ ක්‍රියාත්මකවීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සම්කරු ඉල්ලා සිටී. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...