විරෝධතා ගොනු කරන්නැයි උඩුවේ හිමිට නියෝග | දිනමිණ

විරෝධතා ගොනු කරන්නැයි උඩුවේ හිමිට නියෝග

සිරන්ජනි කුමාරි

ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරමින් අධික ශබ්දයකින් විවිධ සී.ඩී. තැටි වාදනය කිරීමේ සිද්ධියට අදාළව නෛතික විරෝධතා මේ මස 24 වැනි දින ගොනු කරන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දුලානි අමරසිංහ මහත්මිය ඊයේ (03) උඩුවේ ධම්මාලෝක හිමියන්ට නියෝග කළාය. අධිකරණයේ ලද නොතිසියකට අනුව ඊයේ (03) අධිකරණය හමුවේ පෙනී සිටි උඩුවේ ධම්මාලෝක හිමියන් තමන්ට එරෙහිව පනවා ඇති කොන්දේසි සහිත නියෝගයට එරෙහිව නෛතික විරෝධතා ගොනු කිරීමට අවස්ථාව ලබා දෙන ලෙසට මහේස්ත්‍රාත්වරියගෙන් ඉල්ලා සිටියහ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිලින්ද මොරගොඩ මහතා ඇතුළු ප්‍රදේශවාසීන් විසින් අධිකරණය වෙත කරන ලද පැමිණිල්ලකට අනුව ඉකුත් දෙසැම්බර් 6 වැනි දින මහේස්ත්‍රාත්වරිය විසින් කොන්දේසි සහිත ආඥාවක් උඩුවේ ධම්මාලෝක හිමි වෙත නිකුත් කර තිබිණ.

එම ආඥාව මඟින් ප්‍රදේශවාසීන්ට හිරිහැර නොවන ආකාරයට පිරිත් තැටි ප්‍රචාරය කිරීමට අවසර දී තිබිණ.

පොල්හේන්ගොඩ ඇලන්මැතිනියාරාමයේ දී පෙ.ව. 5.ත් 6ත් අතර කාලයේ දී අධික ශබ්දයකින් විවිධ තැටි ප්‍රචාරය කරන බවත් එමඟින් පාසල් දරුවන්ට රෝගීන්ට හා ප්‍රදේශවාසීන්ට නොයෙකුත් බලපෑම් ඇතිව ඇති බව පවසමින් දිවුරුම් ප්‍රකාශ මඟින් ප්‍රදේශවාසීන් අධිකරණය වෙත කරුණු දක්වා තිබිණ.

එම කරුණු සලකා මහේස්ත්‍රාත්වරිය ඉකුත් 6 වැනි දින කොන්දේසි සහිත ආඥාවක් නිකුත් කරමින් උඩුවේ ධම්මාලෝක හිමියන්ට නොතිසි නිකුත් කර තිබිණ. ඒ අනුව ඊයේ (03) අධිකරණයේ පෙනී සිටි හිමියන් මූලික විරෝධතා ගොනු කිරීමට දිනයක් ඉල්ලා සිටියහ. 

නව අදහස දක්වන්න