ජනතාව රවටා මුදල් ගරන්නන්ට එරෙහිව නීතිය තදින් | දිනමිණ

ජනතාව රවටා මුදල් ගරන්නන්ට එරෙහිව නීතිය තදින්

ජයසිරි මුණසිංහ

මහජනතාව රවටා, මුදල් රැස්කිරීම් ඇතුළු බැංකු පනත උල්ලංඝණය කිරීම් කරන්නන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට හැකි අධිකාරිමය බලය ශ්‍රී ලංකා මහ බැංකුව වෙත පැවැරෙන නව නීති මේ වසරේ හඳුන්වාදීමට රජය තීරණය කොට ඇත. ඒ අනුව යෝජිත බැංකු පනතට අදාළ සංශෝධන කඩිනමින් සිදු කොට, තමන්ට නීති තදින් ක්‍රියාත්මක කිරීමේ අධිකාරිමය බලතල ලැබෙන නව පනත ගෙන එන බව මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා කීය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ වසර 2017 සහ ඉදිරිය සඳහා මුදල් හා මුල්‍ය අංශ ප්‍රතිපත්ති පෙර දැක්ම (ROAD MAP) ඊයේ (03) සවස ඉදිරිපත් කරමින් අධිපතිවරයා මේ බව කියා සිටියේය.

කොළඹ මහ බැංකු මූලස්ථානයේ ඊයේ සවස පැවැති විශේෂ උත්සවය අවස්ථාවේදී මේ අදහස් දැක්වූ අධිපතිවරයා, ජනපති - අගමැති නායකත්වය යටතේ මේ වසර හා ඉදිරි වසරවල ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට තමන් දක්වන දායකත්වය අනාවරණය කෙළේය.

මේ අවස්ථාවට මුදල් මණ්ඩලය, අමාත්‍යංශ හා මහ බැංකුව සහ රාජ්‍ය හා පෞද්ගලික අංශ නියෝජනය කරමින් විශාල පිරිසක් එක්ව සිටියහ.

නව අදහස දක්වන්න