දවුල්දෙන ඥානිස්සර නාහිමි මහා යතිවරයෙක් | දිනමිණ

දවුල්දෙන ඥානිස්සර නාහිමි මහා යතිවරයෙක්

නිරුෂි විමලවීර

වේගයෙන් පිරිහෙන සමාජයේ බුදු දහම සුරැකීමේ වගකීම මහා සංඝරත්නය සතුයි
ජාත්‍යන්තර වෙසක් උළෙලට ලෝකයේ බෞද්ධ රටවල සියලු රාජ්‍ය නායකයන්ට ආරාධනා
මිනිස් සන්තානයේ ඇති නොසන්සුන්තාව අද වෙන හදිසි අනතුරුවලට මුලයි
මහා සංඝරත්නයේ ආශිර්වාදය රට ගොඩනඟන්න යෝධ ශක්තියක්

වේගයෙන් පිරිහී යන සමාජයක බුදු දහම සුරක්ෂිත කිරීමේ වගකීම මහා සංඝරත්නය වෙත පැවරී ඇති බවත් එම කටයුතු මැනවින් ඉටු කරමින් සමාජයේ මහත් ගෞරව ආදරයට පාත්‍ර වු උතුම් සඟරුවනක් ලෙස මහා නායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දවුල්දෙන ඥානිස්සර නාහිමියන් හැඳින්විය හැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

පාණ්ඩිත්‍යය, බහුශ‍්‍රැතභාවය, මහා ගුණ ධර්ම සහ දැනුම් සම්භාරයකින් උන්වහන්සේ පොහොසත් බවද ජනාධිපතිවරයා අනාවරණය කළේය.

ජනාධිපතිවරයා එසේ සඳහන් කළේ පාගොඩ ශ්‍රී විද්‍යා විජය විහාරස්ථානයේ දි පසුගිය (31) දා උදෑසන පැවැති ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දවුල්දෙන ඥානිසර මහනායක හිමියන්ගේ ජන්මදින ප්‍රණාම උළෙලට සහ අභිනව ගොඩනැඟිල්ල විවෘත කිරීමේ උත්සවයට එක් වෙමිනි.

ප්‍රථමයෙන් සංඝාවාසයට සපැමිණී ජනාධිපතිවරයා නායක හිමියන් බැහැදැක පාද නමස්කාර කර ජන්ම දිනය වෙනුවෙන් උන්වහන්සේට සුභාෂිංසන එක් කළේය.

අනතුරුව මල්, පිරිකර පූජා කරමින් ත්‍රවිධ රත්නයේ ආශිර්වාදය ලබා ගත් ජනාධිපතිවරයා නායකහිමියන්ගේ සුවදුක් විමසමින් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කළේය.

පිරිත් සජ්ජායනා මධ්‍යයේ විහාරස්ථානයේ ඉදිකෙරුණු අභිනව දෙමහල් සංඝාවාසය සඝ සතුකර පූජා කිරීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණේ රැස්ව සිටි ජනතාවගේ සාධූ නාද මධ්‍යයේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද කීය.

අපේ රටේ ඉතිහාසය සැලකීමේදී එක් එක් යුගවලදි විදේශයන්ගෙන් එල්ලවූ ආක්‍රමණයනවල දීත්, රටට ඇති වූ අභ්‍යන්තර අර්බුදවල දීත් ගෞරවණීය මහා සංඝරත්නය සියලු පාලකයන්ට, රාජ්‍ය නායකයන්ට මඟපෙන්වීම් සිදු කළා. අපේ ගෞරවනීය පූජනීය මහා සංඝරත්නයේ ශාසනික සේවාව මෙන්ම ජාතික ගැටලූවල දීත් රටේත් ජාතියේත් ස්වාධීනත්වය සහ නිදහස වෙනුවෙනුත් උන්වහන්සේලා ජීවිත පූජාවෙන් කටයුතු කළ බව අප කවුරුත් දන්නා කරුණක්. එවැනි ඓතිහාසික පසුබිමක අපේ ගෞරවනීය දවුල්දෙණ ඥාණිස්සර මහ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ 102වැනි ජන්ම දිනය සැමරීමට ලැබීම අප බෞද්ධයන් වශයෙන් සතුටට පත්වන කරුණක් බව කිව යුතුයි.

උන්වහන්සේගේ පැවිදි ජීවිතය, චරිත ලක්ෂණ, පාණ්ඩිත්‍යය, මහා දැනුම් සම්භාරය, බහුශ‍්‍රැතභාවය පිළිබඳව මුළු මහත් සමාජයම මැනවින් දන්නවා. ඒ නිසාම උන්වහන්සේට ගෞරවනීයත්වයෙන් පිඳුම් ලබනවා.

වත්මන් ලෝකය තුළ භෞතික සම්පත් සංවර්ධනය සහ විවිධ වෙනස්කම් පරිවර්තනයන්, ඉදිරියටයෑම් සිදුවූවත් මිනිසාගේ ආධ්‍යාත්මය දවසින් දවස පිරිහෙමින් පවතිනවා. ඒ නිසා පිරිහෙන ආධ්‍යාත්මයට නොසන්සුන් මනස සන්සුන් කරන්න, සමාජය යහපත් කරන්න බෞද්ධ දර්ශනය මහා සංඝරත්නයත් අපට ඉතා වැදගත්.

ගෞරවනීය මහා සංඝරත්නයේ තිබෙන ශක්තිය, බලය සහ ආශිර්වාදය අපේ රට ගොඩනඟන්නත් ජාතියේ අනාගතය සඳහාත් ප්‍රබල ශක්තියක් වුණා. ලෝකයේ ථේරවාදී බෞද්ධ දර්ශනයේ මූලස්ථානය ශ්‍රී ලංකාව ලෙස සැලකෙනවා. මහා නායක ස්වාමීන් වහන්සේලාගේ ගෞරවනීය චරිත සමඟින් මේ රටේ බෞද්ධයන්ට ලෝකයේ තිබෙන ගෞරවය හේතුවෙන් එම පිළිගැනීම අපට ලැබෙනවා. අපේ මහ නායක ස්වාමීන් වහන්සේගේ චරිතයෙන් දෙන ආදර්ශය පැවිදි මහා සංඝරත්නයටත් නව භික්ෂු පරපුරටත් ඉතා වැදගත් වෙනවා.

අවුරුදු 102ක ජන්ම දිනය සැමරීමට තිබෙන්නා වූ පින්වන්තභාවය උන්වහන්සේගේ අධිෂ්ඨානශීලිභාවය චරිත ලක්ෂණ සමඟින් අප සියලූ දෙනා එක්ව සිටිනවා.

මේ දෙමහල් නව ගොඩනැඟීල්ල උන්වහන්සේගේ ජන්ම දිනය මුල්කරගෙන විවෘත කිරීමට ලැබීම ඉමහත් භාග්‍යයක් කොට සලකනවා.

ගම, නගරය, සමාජය යහපත්, සන්සුන් කිරීමටත් සදාචාරසම්පන්න වැදගත් ගුණවත් මිනිසුන් බිහිකරන ස්ථානයක් කිරීමටත් විහාරස්ථානය මුල් වෙනවා. එම ශාසනික සේවාවට අවශ්‍ය බෞද්ධ සමාජයේ ශක්තිය ගොඩනැඟීමට අවශ්‍ය වෙහෙර විහාර සංවර්ධනය, ප්‍රරතිසංස්කරණය කිරීමෙන් මෙවැනි ධර්ම ශාලාවක වැදගත්කම අප දන්නවා. දේශීය මෙන්ම විදේශීය වශයෙන් ථේරවාදි බෞද්ධ දර්ශනයේ තිබෙන මහා පිළිගැනීමේ දී අපේ බෞද්ධ වෙහෙර විහාරස්ථාන සැමවිටම ශක්තිමත් කිරීම අත්‍යාවශ්‍ය වූ දෙයක්.

2017 නව වසර බෞද්ධයන්ට ඉතා වැදගත් අවස්ථාවක් වෙනවා. එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් උළෙල මෙවර ශ්‍රී ලංකාවේ පැවැත්වෙන බව කවුරුත් දන්නවා. මැයි මාසයේ 14වැනි දා පවත්වන වෙසක් උළෙලට සහභාගිවන ලෙස අප ලෝකයේ බෞද්ධ රටවල සියලුම රාජ්‍ය නායකයන්ට ආරාධනා කර තිබෙනවා. අප මේ වනවිට වැදගත් තීන්දු රාශියක් ගෙන ජාත්‍යන්තර වෙසක් උළෙල මීට පෙර වෙනත් රටවල් පැවැත් වූ ආකාරයට වඩා උසස් අන්දමින් පවත්වන්න සියලූ විධිවිධාන මේ වන විට සකස්කරමින් සිටිනවා. මේ පිළිබඳව අප කවුරුත් ඉතා සතුටට පත්වෙනවා.

බෞද්ධ සමාජයක් ලෙස සැලකීමේ දී නව අභියෝග, වගකීම් සහ යුතුකම් පිළිබඳව අප සෑම කෙනෙකුටම අවබෝධයක් තිබිය යුතු වෙනවා. එක් පැත්තකින් රට වෙලාගන්නා වූ මත්ද්‍රව්‍යත්, තවත් පැත්තකින් ළමා අපචාරත්, විවිධ නීති විරෝධි ක්‍රියාවන් විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා. එසේම අද දවස වන විට මේ රටේ හදිසි අනතුරු නිසා සිදුවන මරණ සංඛ්‍යාව කොතෙක්ද? හදිසි අනතුරු නිසා දවසකට දහ දෙනෙක් මිය යනවා. බරපතළ ලෙස ආබාධ වන අය රෝගාතුර වන පිරිස ද අති විශාලයි. එයට හේතුව වන්නේ අපේ තිබෙන නොසන්සුන්භාවයයි. වාණිජ්‍ සමාජයක තිබෙන තරගකාරීත්වයයි. අසීමිත බලාපොරොත්තු සහ නොසන්සුන් මනසක් සමඟ වාහන පැදවීම හේතුවෙන් හදිසි අනතුරු සිදුවෙනවා.

අද දවසේ මෙන්ම හෙට දවසේ තිබෙන්නාවූ සමාජ අභියෝග පිළිබඳව අවබෝධයකින් කටයුතු කර ථේරවාදී බෞද්ධ දර්ශනය තුළින් දෙන්නාවූ විසඳුම් සමඟින් යහපත් සමාජයක් ගොඩනැගීමට දායකවීමේ වගකීම සමාජයේ සියලූ අංශවල සෑම කෙනෙකුගේම වගකීමක්. යුතුකමක්. උතුම් යහපත් සමාජයක් ගොඩනඟන්න අපේ ගෞරවනීය දවුල්දෙණ ඤාණිස්සර ස්වාමීන් වහන්සේ වැනි උතුම් ශ්‍රේෂ්ඨ චරිත අපට ගෞරවයක්. ආඩම්බරයක්. ඔබවහන්සේ සිදු කළ ශාසනික සේවාවන් ජාතික සේවාවන් තව තවත් රට දැය වෙනුවෙන් මුළු මහත් සමාජය වෙනුවෙන්, ලෝකය වෙනුවෙනුත් සිදු කිරීමට හැකිවේවායි ප්‍රාර්ථනා කරනවා. 102 වැනි ජන්ම දිනය සමරන මේ අවස්ථාවේදී රජයක් ලෙසත්, බෞද්ධයන් ලෙසත්, මේ රටේ පුරවැසියන් ලෙසත්, ඔබවහන්සේගේ දැනුම, බුද්ධිය, අත්දැකීම්, පරිණතභාවය සහ බහුශ‍්‍රැතභාවයෙන් තව තවත් සේවාවන් කිරීමට දීර්ඝායුෂ නිරෝගීභාවය ලැබේවා කියා ආශිර්වාද කරනවා. සුබ පතනවා.

නුගේගොඩ, පාගොඩ ශ්‍රී විද්‍යා විජයරාම විහාරාධිපති කරගහඋල්පත සුගතනන්ද හිමි ප්‍රධාන මහා සංඝරත්නය ද, බුද්ධ ශාසන සහ අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ, බස්නාහිර සංවර්ධන සහ මහානගර සංවර්ධන, ඇමැති පාඨලි චම්පික රණවක, සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න, දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානයක්කාර, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හිටපු නගරාධිපති ජනක රණවක යන මහත්වරුන් ද, පළාත් දේශපාලන අධිකාරිය, ආරාධිත අමුත්තන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ. 




නව අදහස දක්වන්න