රැකියා ඇති කරන අලුත් දේශපාලනය හෝ පරණ හොරකම ජනතාවට තේරිය යුතුයි | දිනමිණ

රැකියා ඇති කරන අලුත් දේශපාලනය හෝ පරණ හොරකම ජනතාවට තේරිය යුතුයි

ශිරෝමි අබයසිංහ
රක්ෂණ ශ්‍රියන්ත

රැකියා විසිදහසක් නිර්මාණය කළ සතියක්
සංවර්ධන ගමන තවත් වේගවත් කරනවා
අපිට දුන්නේ හිඟාකාලාවත් ණය ගෙවන්න බැරි ආර්ථිකයක්
අනාගත පරම්පරාව ණය උගුලෙන් බේරා ගන්නවා
සංවර්ධනය කඩාකප්පල් කිරීමේ උත්සාහය හොඳින් පෙනෙනවා
ජනවරම ආරක්ෂා කොට රට ඉදිරියට ගෙනයනවා

විදේශ ආයෝජන මගින් තරුණ තරුණියන්ට රැකියා ලබා දෙනවාද නැතිනම් රජයේ දේපළ සොරකම් කර තමන් පොහොසත් වෙන කණ්ඩායමකට යළි රට දෙනවාද යන විකල්ප දෙකෙන් එකක් ජනතාව තෝරා ගත යුතුව ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කුලියාපිටියේදි ඊයේ (03) පැවැසීය.

යුද්ධය පැවැති සමයේ සිට ශ්‍රි ලාංකික ජනතාව විශාල කැප කිරිමක් කළ බව කී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම කැප කිරීම පිළිගෙන ඒ සඳහා ප්‍රතිඵල ලබාදිමට දේශපාලන පක්ෂවලට යුතුකමක් තිබෙන බව අවධාරණය කළේය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ කුලියාපිටිය මෝටර් රථ නිෂ්පාදන කර්මාන්තශාලාව සඳහා මුල් ගල තැබීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මුල් ගල තැබීමේ උත්සවය පැවැත්විණි. එහිදි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කිය.

කුලියාපිටියේ මෝටර් රථ නිෂ්පාදන කම්හල අරඹන්නේ කවදාදැයි බොහෝ දෙනා විමසුවා. ඇතමුන් උපහාසයෙන් හිනාවුණා. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා බලයට පත් වූ පසු ගත් පළමු තීරණයක් ලෙස මෝටර් රථ නිෂ්පාදන කර්මාන්තශාලාව ඇරඹීම හැඳින්විය හැකියි. ඒ අනුව ශ්‍රී ලංකාවේ මෝටර් රථ නිෂ්පාදනය කිරීමේ තීරණයට අප එළැඹුණා. අනුමැතිය ලැබුණත් ඉඩකඩම් ප්‍රශ්න හරස් වු නිසා එම වැඩ කටයුතු ඇරඹීම වසරක් පමණ ප්‍රමාද වුණා. වර්තමානයේදි මෙම කර්මාන්ත ශාලාවෙන් ඝෘජු රැකියා 2500 ක් පමණ ලබා දීමට හැකියි.

පන්නල මාක්ස් ආයතනය විවෘත කිරීම සඳහා මා මීට පෙර සහභාගි වුණා. එම ආයතනය මගින් මුලින් තුන්දහසකට පමණ රැකියා ලබාදීමට හැකියාව ලැබෙනවා. ඉන් අනතුරුව ජී.එස්.පී ප්ල්ස් තීරුබදු සහනය මෙරටට ලැබුණු පසු තවත් දෙදහසකට පමණ රැකියා ලබාදීමට හැකියි. අද දවස ඇතුලත පමණක් අප හත්දහස් පන්සීයකට පමණ රැකියා ලබාදෙන සංවර්ධන ව්‍යාපෘති අරඹා තිබෙනවා.

ලබන බ්‍රහස්පතින්දා, සිකුරාදා වන විට තවත් කර්මාන්ත ශාලා කිහිපයක් ඇරැඹීමට නියමිතයි. එම කර්මාන්ත ශාලාවලින් රැකියා තුන්දහසක් හාරදහසක් පමණ උත්පාදනය වෙනවා. හම්බන්තොට සංවර්ධන වැඩසටහන යටතේ මේ වසරේදි පමණක් රැකියා දස දහසක් පමණක් බිහි වීමට නියමිතයි. එසේ නම් එක් සතියක් ඇතුළත විසිදහසකට රැකියා ලබා දිමට අපට හැකියාව ලැබෙන බව මෙහි දී අවධාරණය කරනවා.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන්ගේ පදවි ප්‍රාප්තිය සමරණ ලබන අටවෙනිදාට පෙර එම රැකියා විසිදහස ලබාදෙන කර්මාන්ත ශාලා ලබාදෙන බව අප මෙහිදි නිවේදනය කරනවා. ජනාධිපතිතුමාවත් මමවත් එයින් සෑහීමකට පත්වන්නේ නැහැ. අද මෙරට තරුණ තරුණියන්ට මීටත් වඩා රැකියා ප්‍රමාණයක් අවශ්‍යයි.

ශ්‍රී ලාංකිකයන් ලෙස අප වසර තිහක යුද්ධයකින් බැට කෑවා. එම නිසා අපේ සංවර්ධනය සිමා වුනා. යුද්ධයෙන් පසුව මෙරට විශාල සංවර්ධනයක් ඇතිවේයැයි අප බලාපොරොත්තු වුනා. මෙරට සිංහල, දෙමළ, බර්ගර් ජනතාව එකට එක්වේවියැයි බලාපොරොත්තු වුනා. නමුත් ඒ එකක්වත් සිදුවුනේ නැහැ. අවසානයේ දී අප තීරණයක් ගත්තා. ඒ මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස තෝරාගෙන ශ්‍රී ලංකාව දියුණුවට ගෙනයාමේ තීරණයයි. එදා තිබූ භීෂණය හමුවේ වුවත් අප ජයග්‍රහණය කළා. තරුණ තරුණියන් වෙනුවෙන් රැකියා ලබාදෙන බව එහි දී අප පොරොන්දු වුනා.

අප බාරගත්තේ කුමන රටක්දැයි ඔබේ අවධානය යොමුවිය යුතුයි. අප රට භාරගන්නා විට මෙරට ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට දහයක් පමණයි. අපේ පුනරාවර්තන වියදම්, ණය ගෙවීම් සඳහා එය ප්‍රමාණවත් නැහැ. හිඟා කාලාවත් එම ගෙවීම් කරන්නට බැරි තත්ත්වයකට මුහුණ දී තිබුණා. අද පුනරාවර්තන වියදම් දරා ගන්නට හැකි අයුරින් ආදායම වැඩිවී තිබෙනවා.

රට හමුවේ විශාල ණය බරක් තිබුණා. මේ වසර අවසන් වන විට එම ණය බර අඩු කිරීම අපේ අරමුණයි. ඊළඟ පරම්පරාවට එම ණය බර භාර නොදෙන බව අප අවධාරණය කරනවා. ජනාධිපතිතුමා මෙන්ම මමත් ජාත්‍යන්තරයට ගොස් ලෝක නායකයන් හමුවි ඔවුන්ගේ සිත දිනා ගනිමින් සිටිනවා. අප සියලු වැඩ කටයුතු අරඹන්නේ හොඳ පදනමක් නිර්මාණය කිරීමෙන් අනතුරුවයි.

අප තව තවත් ඉදිරියට යා යුතුව තිබෙනවා. 2015 වසර අවසන් වන විට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන්ගේ මුලිකත්වයෙන් ඇරැඹු ජාතික ආණ්ඩුව එලෙස ඉදිරියට යාමේ එක පියවරක් බව පැවැසීය යුතුයි. වසර ගණනාවක් තිස්සේ අප ඉදිරියට ගිය වේගය ප්‍රමාණවත් නැහැ. අප වේගයෙන් ඉදිරියට යායුතුව තිබෙනවා. අප තවමත් ඇක්ස්ලේටරය ෆුඩ්බෝඩ් එකටම පාගා නැහැ. ඉදිරි වසර පහ ඇතුළත විශාල ඉදිරි ගමනක් ඇරැඹීම අපේ අරමුණයි. ඒ සඳහා අප සියලුම දෙනා අත්වැල් බැද සිටිනවා.

තරුණ තරුණියන්ට රැකියා ලබාදීම මෙන්ම වැඩ කරන ජනතාව සඳහා හොඳ ආදායමක් ලබා දීම අප හමුවේ ඇති මූලික අභියෝගයක් බව කිව යුතුයි. අප එය කරන්නේ කෙසේද. යුද්ධයෙන් පසුව එය කළ යුතුවේ යැයි අප කල්පනා කළා. නමුත් රට දියුණු වුනේ නැහැ. රටෙන් සොරකම් කර ස්වල්ප දෙනකු පොහොසත් වුනා. ඔබ මැද පෙරදිග ගිහින් මුදල් හම්බ කරන්නැයි ඔවුන් ජනතාවට පැවසුවා. එම නිසා මව්පියන් සහ දරුවන් වෙන්වුනා. එකල රජයේ මුලික අරමුණ වූයේ හැකි තරම් ජනතාව මැද පෙරදිගට පැටවීමයි. නමුත් ඒ තුළින් සමාජ ප්‍රශ්න විසඳුනේ නැහැ. අප සියලු දෙනා එක්වී ජාතික ආණ්ඩුව බිහි කළේ එම සමාජ ප්‍රශ්නවලට විසදුමක් ලබා ගැනීම සඳහායි. ඒ සඳහා අප විශාල වශයෙන් විදේශ විනිමය සොයා ගත යුතුයි. අපේ එදිනෙදා ජීවිතයට අවශ්‍ය කරන ඉන්ධන, ආහාර ද්‍රව්‍ය මෙරටට ගෙන ඒ ම සඳහා අපනයන විදේශ විනිමය ප්‍රමාණවත් නැහැ. ඒ සඳහා අලුතෙන් කර්මාන්ත බිහි කළ යුතුයි. සංචාරක කර්මාන්තය දියුණු කළ යුතුයි. අප පැමිණ සිටින්නේ ඊට අවැසි ස්ථාවර බව ඇති කිරීම සඳහායි.

මේ ප්‍රදේශයේ දියුණුව සඳහා අකිල විරාජ් ඇමැතිතුමා ඇතුළු සියලු දෙනා එක්ව වැඩසටහනක් සකස් කර තිබෙනවා. ඉරණවිල ප්‍රදේශයේ විශාල සංචාරක කලාපයක් ඉදිකෙරෙනවා. මාදම්පේ දුම්මලසූරිය ප්‍රදේශයේ කර්මාන්තපුරයක් ඇති කිරීම සඳහා ඉඩමක් වෙන් කර ගෙන තිබෙනවා. මෙම ප්‍රදේශයේ තවත් කර්මාන්තපුරයක් ඉදිකිරීම සඳහා ඉඩම් සොයමින් සිටිනවා. කුලියාපිටිය, නාත්තන්ඩිය, හලාවත ප්‍රදේශයට විශාල ආර්ථික සංවර්ධනයක් ලබාදිමට අප සාකච්ඡා කර තිබෙනවා.

මෙම ප්‍රදේශයේ තිබෙන කුකුළු කර්මාන්තය අපනයන කර්මාන්තයක් බවට පත් කිරිමටද අප කටයුතු කරනවා. මේ අයුරින් විශාල සංවර්ධනයක් බිහි කිරීම අපේ අරමුණයි. ඇතැමුන් මේ සංවර්ධනයට විරුද්ධවීම මට නම් පුදුමයක්. මෙම ප්‍රදේශ දියුණුවට පත් කරන්න ලංකාව සතුව මුදල් නැහැ. ඒ සඳහා විදේශ ආයෝජන අවශ්‍යයි. දැන් මොවුන් කියන්නේ මොනවාද. ඉන්දියාවට, චීනයට, ඇමරිකාවට රට විකුණුවායැයි පිරිසක් කෑ ගහනවා. මේ ආකාරයට කීවතාවක් රට උගස් තියන්නද. විදේශ ආයෝජන, දේශිය ආයෝජන මෙරටට ලබා ගැනිමේ වරද කුමක්ද.

අද අප හමුවේ තිබෙන්නේ විකල්ප දෙකයි. පළමු වැන්න විදේශ ආයෝජන මෙරටට ගෙනවිත් රැකියා ලබා දීමයි. නැතිනම් රජයේ දේපළ සොරකම් කර තමන් පොහොසත් විමයි. අද සටන ඇත්තේ මෙම කරුණු දෙක මතයි.

රජයේ සංවර්ධන ව්‍යාපාරය කඩාකප්පල් කිරිමට ගන්නා උත්සාහය කොතරම් දැයි අද හොඳින් පෙනෙනවා. රැකියා දිමට උත්සහ කරන විට පාර බැස රැකියා දෙන්නට එපා යැයි උද්ඝෝෂණය කරනවා. විදේශ ආයෝජකයන් මෙරටට ගෙන්වා ගන්නට හදන විට විදේශ අයෝජන එපා යැයි කියමින් කෑ ගහනවා. තමන්ගේ අනාගතය ඇත්තේ කොතනදැයි තරුණ තරුණියන් තීරණය කළ යුතුයි.

අප ජාතික රජය බිහි කොට ඉදිරියට යන්නේ තරුණ තරුණියන් වෙනුවෙන් හොඳ අනාගතයක් ලබාදීමටයි. හොඳ රැකියා ලබා දීමටයි. එලෙස හොඳ රැකියා ලබන තරුණ තරුණියන් මෙම මෝටර් රථ නිෂ්පාදන කර්මාන්ත ශාලාවට පැමිණ අනාගතයේ දිනක මෝටර් රථයක් මිලදි ගෙන යන අයුරු දැකිම අපේ බලාපොරොත්තුවයි.

දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීම හොඳ නිවාස ඉදිකර දීම අපේ බලාපොරොත්තුවයි. පසුගිය ජනවාරි අට වෙනිදා මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කරවීම සඳහා වරම ඉල්ලුවේ ඒ බලාපොරොත්තුව ඉටුකර ගැනිම සඳහායි. 2020 වසර වන විට ඒ අරමුණ ඉටු කිරීම සඳහා අඩි තාලම දමන බව මා මෙහි දී අවධාරණය කරනවා. යුද්ධය පැවැති සමයේ ජනතාව විශාල කැප කිරිමක් කළා. එම කැප කිරීම පිළිගෙන ඒ සඳහා ප්‍රතිඵල ලබාදිමට දේශපාලන පක්ෂ ලෙස අපට යුතුකමක් තිබෙනවා.

පරණ දේශපාලනය මෙන් හොරකම් කරනවාද, සංවර්ධනය නවත්වනවාද, නැතිනම් අලුත් දේශපාලනය සමඟ තරුණ තරුණියන්ට අනාගතයක් ඇති කරනවාද ඉහළ ශ්‍රමිකයන්ට ඉහළ ආදායම් ලබාදෙන රටක් බවට පත් කරනවාද යනුවෙන් අප තීරණය කළ යුතුයි.

සතියක් ඇතුළත රැකියා විසිදහසක් ලබා දිම විශාල ජයග්‍රහණයක් බව කිව යුතුයි. ඇතැමුන් එවැනි දෙයක් සිදු කිරිමෙන්ම සෑහීමකට පත්වෙනවා. නමුත් අප එලෙස සෑහිමකට පත්වන්නේ නැහැ. අපට මෙය ආරම්භයක් පමණයි. මීට වඩා රැකියා බිහි කළයුතුව තිබෙනවා. මීට වඩා පුහුණුව ලබා දිය යුතුය තිබෙනවා. මිට වඩා විවිධ කර්මාන්ත ඇරඹිය යුතුව තිබෙනවා. ඒ වැඩකටයුතු කිරීම සඳහා අප ඉදිරියට ගමන් කළ යුතු බව මෙහි දී අවධාරණය කරනවා.

අවසන් වශයෙන් වෙස්ටන් ඔටෝ මෝබයිල් ආයතනයට මා ස්තුතිවන්ත වනවා. කොතරම් ප්‍රශ්න තිබුණත් ඔවුන් මෙම කම්හල ඇරඹිමට ඉදිරිපත් වුනා. ආයෝජන මණ්ඩලයද ඊට සහයෝගය ලබා දුන්නා. අකිල විරාජ් ඇමැතිතුමා මේ ඉඩම සොයා දිම සඳහා ක්‍රියා කළා. ඔහු කුලියාපිටිය දියුණු කිරීම සඳහා විශාල උනන්දුවක් දක්වන බව කිව යුතුයි. මා පළමුවෙන්ම කුලියාපිටියට පැමිණියේ 1962 වසරේදීයි. ඒ කාලයේ ඇමැතිතුමා ඉප දී සිටියායැයි කියාවත් මා සිතන්නේ නැහැ. එකල මේ ප්‍රදේශය ඉතා කුඩා නගරයක්. නමුත් අද විශාල නගරයක් බවට පත්වී තිබෙනවා.

වෛද්‍ය පීඨය මෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් දියුණු කළ යුතු අංශ රාශියක් තිබෙනවා. අධිවේගි මාර්ගයේ පැමිණිමත් සමඟ කුරුණෑගල ප්‍රදේශ ආශ්‍රිතවත් විශාල දියුණුවක් ඇතිවීමට නියමිතයි. ඒ සියල්ල සිදුකිරීමට හැකියාව තිබෙන්නේ ජනවාරි අට වෙනිදා ජනතාව අපට ලබාදුන් වරම නිසයි. එම ජනවරම ආරක්ෂා කොට ජනතාව වෙනුවෙන් රට ඉදිරියට ගෙන යාමට ක්‍රියා කරන බව මම අවධාරණය කරනවා.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා-මේ අවස්ථාව උදා නොවේ යැයි සමහරු හිතුවා. පාර්ලිමේන්තුවේ දී උසුළු විසුළු කළා. කුලියාපිටියට මෝටර් රථ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ලබා දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මහ මැතිවරණයට පෙර පොරොන්දු වුණා. මෙය අද ඇරඹෙන්නේ අගමැති වික්‍රමසිංහ මහතාගේ ඒ යෝජනාව අනුවයි. ඇරඹීම පමා වුණේ ඉඩම පවරා ගැනීමට ඇති වූ අපහසුකම් නිසයි. එම කාර්යයේදි ආයෝජන මණ්ඩලය සහ අනෙකුත් රජයේ නිලධාරීන් කළ සහය අගය කරනවා.

මෙම ඉඩමට යාබද ඉඩමේ වයඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයක් ආරම්භ කරනවා. අද සත් කොරලයේ මුල්ගල තැබුණේ වාහන නිෂ්පාදනාගාරයක් පමණක් නොව වාහන නිෂ්පාදනය ගැන පුහුණු මධ්‍යස්ථානයක්ද ඉදි කිරීම සඳහායි. මෙමගින් පුහුණුවලබා ගන්නා අයට විදේශ රැකියා අවස්ථාද ලබා ගත හැකියි. අපට ඡන්දය ලබා දුන් ජනතාවටද මෙහි ප්‍රණාමය හිමි වෙනවා. අද අපි නිකුත් කළේ පළමු ඡන්ද ප්‍රතිඵලයයි. අපි ඉදිරියට තවත් ඡන්ද ප්‍රතිඵල ලබා දෙනවා.

කවුරු විවේචනය කළත් වැරදි මත ප්‍රචාරය කළත් මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ආණ්ඩුව හැටියට සියලු දෙනාටම ප්‍රතිලාභ ලබා දෙන්නට අපි ක්‍රියා කරනවා. අද මුල් ගල තැබු මෙම කර්මාන්තශාලාවෙන් ඝෘජු සහ වක්‍ර රැකියා 2500ක් ලැබෙනවා. අප මේ කර්මාන්ත ශාලාව වසර දෙකක් තුළ සාදා නිම කර වාහන එකලස් කිරීම ආරම්භ කරනවා. යුරෝපයේ භාවිත වන වාහන අපේ රටේ සියලුම තරාතිරම්වල අයට ගැලපෙන් ලෙස නිෂ්පාදනය කෙරෙනවා. මා අහනවා දැන් සතුටුද කියා.

ආයෝජන මණ්ඩලයේ සභාපති උපුල් ජයසුරිය මහතා- වාහන නිෂ්පාදන කර්මාන්ත ශාලාව ආරම්භ කරන මෙම ඉඩම අයිතිය තිබුණේ කේ.ඒ. පීටර් මහතාටයි. ඔහු මිය යන විට මේ ඉඩමේ ආදායමෙන් කුලියාපිටිය මූලික රෝහල නඩත්තු කළ යුතු බවට ඉල්ලා තිබුණා. නමුත් මේ ඉඩමෙන් ආදායමක් ලැබුණේ නැහැ. මේ ඉඩමට ගෙවූ මිලියන 100 ක මුදල මහා භාණ්ඩාගාරයේ තැන්පත් කිරීමෙන් ලැබෙන ආදායමෙන් රෝහලේ නඩත්තුවට බැර කිරීමට හැකි වෙනවා.

මේ අවස්ථාවට අමාත්‍යවරුන් වන මලික් සමරවික්‍රම, රවි කරුණානායක, ගාමිණි ජයවික්‍රම පෙරේරා, එස්.බී.නාවින්න, ආණ්ඩුකාර අමරා පියසීලී රත්නායක, නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රි නලීන් බණ්ඩාර මහත්වරු හා වෙස්ටන් ඔටෝ මොබයිල් සමාගමේ සභාපති නොයෙල් සෙල්වනායගම් මහතා ඇතුළු එම සමාගමේ නිලධාරීහුද ඇතුළු අති විශාල පිරිසක් සහභාගි වුහ.


ඡායාරූප- නිරෝෂන් බටේපොල 

නව අදහස දක්වන්න