පැය තුන හතරක් ගිය ගමනට දැන් යන්නෙ විනාඩි ගණනයි | දිනමිණ

පැය තුන හතරක් ගිය ගමනට දැන් යන්නෙ විනාඩි ගණනයි

සංගිලි පාලම වෙනුවට ඉදිවූ නව පාලම

මීටර් සියයක දුරක් ගෙවීමට සැතපුම් දහයක් රවුම් ගැසීමට සිදුවීම ගැන හල්ලොළුව දොඩම්වල ජනතාව මහවැලි ගඟ දෙපැත්තේ සිට සියවස් කාලයක් සුසුම් හෙලූහ.

පෘතුග්‍රීසි පාලන සමයේ එවකට හමුදා පාලකයකු වූ අසවිදක්ගේ නමින් නම් කළ අසවිදක් ගල ළඟ සිට ගඟ හරහා ගසක් හරස් කොට මොවුහු ගඟ තරණය කළහ. පසුව 1939 සංගිලි පාලම නමින් හෙල්ලෙන පාලමක් ඉදිකොට එදා මෙදා තුර එගොඩ මෙගොඩ විය.

හල්ලොළුව, බෝගහකන්ද, පේරාදෙණිය, ගන්නෝරුව, දොඩම්වල, කටුගස්තොට ආදී ගම් හත අටක ජනතාව තම දෛනික අවශ්‍යතා සඳහා යාමට ඒමට මේ සංගිලි පාලම තෝරා ගනු ලැබුවේ නොඑසේ නම් ඇහැට පෙනෙන කෙටි දුර වෙනුවට සැතපුම් දහයක් දොළහක් රවුමේ ආ යුතු බැවිනි.

මහනුවර ඇසළ පෙරහර සමයට සංගිලි පාලමේ ද ජන පෙරහරක් පවතින බව ප්‍රදේශවාසීහු කියති. ගඟ තරණය කර එහා මෙහා මාරුවන්නන්ට දෙපැත්තේ රසකැවිලිවලින් සපිරි පොළක් පැවැත්වෙන බව ද ඔවුහු කියති. ඒ තරමට සේනාවක් මේ හරහා ගමන් කරති.

ගසක් හරස් කොට බියෙන් වෙව්ල වෙව්ලා ගඟ තරණය කළ ඔවුහු ඒ බිය ටිකක් තුරන් කොට හෙල්ලෙන පාලමක පහස ලැබූහ. ඒ යන අතරේ බියක් සැකක් නැතුව පාලමක යන්නටත්, ඒ පාලමේ වාහනයකින් යන්නටත් සිහින මැවූහ. එදා මැවූ ඒ සිහින සැබෑ කරමින් රුපියල් මිලියන පන්සියයක් පමණ මුදලකින් ඉදි කරන ලද හල්ලොළුව දොඩම්වල යා කෙරෙන පාලම අනිද්දා (6) ජනතා අයිතියට පත් කෙරේ.

කටුගස්තොට සිට පේරාදෙණිය දක්වා ගඟ දෙපස මාර්ගයේ යාමට ඇති එකම කෙටි මාර්ගය මේ පාලමයි. මෙය මීටර් 104කින් දිග වන අතර මීටර් 12ක පළලින් යුක්තය. වාහන ධාවනයට මීටර් 7.3 වෙන්ව පවතී.

මහනුවර පවතින අධික වාහන තදබදයට මේ පාලම කදිම පිළිතුරකි. කොළඹ, කුරුණෑගල, මාතලේ, දඹුල්ල ආදී දුර ගමන් යන්නන්ට මාර්ග රැසකට සම්බන්ධවීමටත්, පැය දෙක තුන ඉන්ධන දහනය වෙමින් පාරේ ලත වූ වාහනවලටත් මේ පාලම කදිම තෝතැන්නකි.

එසේ ඉදිවූ මේ පාලම පිළිබඳ අදහස් දැක්වූ කිහිප දෙනෙකි, මේ.

ඒ. කේ. අසේල මහතා

"මම පුංචි කාලේ ඉඳන් මේ පාලම ගැන දන්නවා. එහා පැත්තේ ගම් දහයක දොළහක අයටයි මෙහා පැත්තේ ගම් දහයක දොළහක අයටයි එගොඩ මෙගොඩ පැන ගන්නට නැතුව සෑහෙන දුකක් වින්ඳා. පෙරහර කාලෙට මේ පාලමත් පෙරහරක් වගේ සෙනඟ පිරෙනවා. ඒක බලන්නට ජනතාව දෙපැත්තේ වෙනම පෝලිම් ගැහෙනවා. ඒ කාලේ ඒකත් එක විනෝදයක්."

ආර්. ජී. ජයවර්ධන

"මම මේ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක්. මේ ගඟේ එහා පැත්ත මෙහා පැත්ත ප්‍රධාන මාර්ගවල දැඩි වාහන තදබදයක් පවතිනවා. සමහර වෙලාවට පැය දෙක තුනේ වාහන හෙල්ලෙන්නෙවත් නැතුව එක තැන බ්ලොක් වෙලා. පුදුම ඉන්ධන දහනයක්. කාලය අපරාදෙ. ඒ නිසා මේක මහනුවර සිදුව තියෙන විශාල සංවර්ධන ව්‍යාපෘතියක්."

පේමසිරි බෝගහකන්ද

"මේ පාලම නිසා අපට විශාල සහනයක් සැලසෙනවා. පාසල් ළමයින්ටත්, රාජකාරී කටයුතුවලට යන්නන්ටත් මේක විශාල සහනයක්. පැය තුන හතරක් නොගෙවා විනාඩි ගාණකින් මේ නිසා ගමන් යා හැකියි. මෙය මේ ප්‍රදේශයට පමණක් නොව දුර ගමන් යන්නන්ට ලොකු පහසුවක්."

එස්. එම්. ෂරීෆ් මහතා

"අපිට හරිම සතුටුයි. අපේ කාලයේ වාහනයකින් මේ පාලමෙන් ගඟ හරහා යන්නට ලැබීම ගමන් බිමන් මෙන්ම වැඩ කටයුතුවලට ලොකු සහනයක්."

ආර්. එම්. රාජපක්ෂ - ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු මාර්ග සංවර්ධන අධිකාරිය

"මේ ව්‍යාපෘතිය භාරව කටයුතු කළේ මම. මෙය භාර ගත්තේ අවුරුද්දකින් භාර දෙන්නට. නමුත් මාස 11කින් වැඩ අවසන් කිරීමට හැකි වුණා. දැන් අවසන් අදියරේ පවතිනවා. ලොකු සතුටක්."

වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙහෙයවීම යටතේ මහාමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ අධීක්ෂණයෙන් ප්‍රාදේශීය ‍පාලම් ඉදිකිරීමේ ව්‍යාපෘතිය යටතේ මේ පාලම ඉදි කර තිබේ.

කාලයක් මුළුල්ලේ මුල්ගල්වලට පමණක් සීමා වී තිබු මේ පාලම් සිහිනය සැබෑවක් කරදීම පිළිබඳව ජනතාව හද පිරි ස්තූතිය පල කර සිටිති.

සටහන - ඉන්ද්‍රාණි තෝරදෙණිය
ඡායාරූප- ගාමිණී රණසිංහ

නව අදහස දක්වන්න