ලේක්හවුස් ආයතනයට මිලියන 200 ක ලාභයක් | දිනමිණ

ලේක්හවුස් ආයතනයට මිලියන 200 ක ලාභයක්

සමන්මලී ප්‍රියශාන්ති
ෙල්ක්හවුස් සභාපති කාවන් රත්නායක මහතා ෙස්වකයන් අැමතූ අවස්ථාව

ඉදිරියේදී නව සාමුහික ගිවිසුමට අනුව ආයතනයේ සියලු සේවක සේවිකාවන්ගේ වැටුප් වැඩි කෙරෙන බව සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති, කළමනාකාර අධ්‍යක්ෂ කාවන් රත්නායක මහතා ප්‍රකාශ කළේය.

ගෙවී ගිය වසරේදී රුපියල් මිලියන 200 ක ලාභයක් ලැබු ලේක්හවුස් ආයතනය ණය බරින් තොර ආයතනයක් බවට පත්ව තිබෙන බවත් රත්නායක මහතා, නව වසර වෙනුවෙන් ආයතනයේ රාජකාරී ආරම්භ කිරීම නිමිත්තෙන් පැවැති උත්සවය අමතමින් පැවැසීය.

නව වසර වෙනුවෙන් රාජකාරී ආරම්භ කිරීමේ කටයුතු කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ ආචාර්ය කිරින්දේ අස්සජී හිමියන්ගේ සහභාගීත්වයෙන් යුතු පිරිත් සජ්ජායානාවකින් අනතුරුව ඊයේ (03) ආරම්භ කෙරිණි.

එහිදී අනුශාසනාවක් කරමින් උන්වහන්සේ සේවකයන්ට පැහැදිළි කෙරුවේ ආගමික, ජාතික, සංස්කෘතිකාංගයන්ගෙන් අප කවර ආකාරයකින් වෙනස් වුවත් සුභ කටයුත්තකදී ආසිරි පැතීමත්, ආසිරි ලබා ගැනීමත් මඟින් තම කටයුතු සඳහා නිතැතින්ම දිරිමත් කරන මානසික තෘප්තියක් ජනිත කරවන බවයි. කුඩා අවදියේදී සහෝදර බැම්මෙන් බැඳී සිටින එකම පවුලේ අය වුවද කාලයත් සමඟ බේද භින්න වන බවත් ජනගහණය වැඩිවීමත් සමඟ වර්ධනය වන තරඟකාරීත්වය නිසා සමාජය පුරාම මේ විපර්යාසයන් දකින්නට ලැබෙන බවත් උන් වහන්සේ දෙසූහ. ඒ අනුව ආයතනයක් තුළ මේ තරගකාරීත්වය එසේ නොමැති නම් තනතුරු පදවි තානාන්තර හමුවේ එකිනෙකා අතර ඇති වන වාද බේද නොවැළැක්විය හැකි බවත් ඒ සියල්ල වටහා ගෙන ජීවිතය හැඩ ගස්වා ගැනීම සාර්ථකත්වයට මඟ බවත් වදාළහ.

සමාජයේ අන් කවරාකාර ආයතනයකටත් පුද්ගලයින්ටත් වඩා ලේක්හවුස් ආයතනයට සමාජය වෙනුවෙන් කළ හැකි කාර්ය භාරය ඉතා විශාල බව පෙන්වා දුන් උන් වහන්සේ, තරඟකාරී සමාජයේ ප්‍රශ්න ගැටලුවල නියම ස්වභාවය හෙළිදරව් කරමින් නිවැරැදි දිසාවකට යොමු කළ හැකි මාර්ගෝපදේශකත්වය ලබා දීම එම මහඟු කාර්යය බවත් කීහ.

දැනටමත් එම කාර්යයේ නියැළි සිටින සභාපතිවරයා ඇතුළු පාලනාධිකාරිය හා කාර්ය මණ්ඩලයට එම සමාජ සත්කාර්යය තවත් ඉදිරියට ගෙන යාමට ආශිර්වාද කරන බවත් වගකීම මනාව වටහා ගෙන එයට උරදෙන සියලු සේවකයින්ට ආශිර්වාද කරන බවත් උන්වහන්සේ ප්‍රකාශ කළහ.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ සභාපති කාවන් රත්නායක මහතා,- අද ලේක්හවුස් ආයතනය සැවොම ගුණ කියන ආයතනක් බවට පත් වෙලා. එහි ප්‍රතිඵලය සේවක සේවිකාවන්ට පමණක් නොවෙයි. ඒ පවුල්වලට දරුවන්ට පවා බලපානවා. අපි හැමෝටම ඒ ප්‍රතිඵලය බෙදෙනවා. අද අපි කණ්ඩායමක් ලෙස ඉතා හොද තැනක හරි තැනක ඉන්නවා. ඒ ගැන බියක් විය යුතු නැහැ. ආයතනය ෙකාෙහද යන්නේ ආයතනයට මොකද වෙන්නේ, සාර්ථකද කියලා බිය විය යුතු නැහැ. සේවකයින්ගේ පඩි ගෙවන්න අපි අවුරුදු ගාණකට පසු සාමුහික ගිවිසුමක් අත්සන් කළා. එය කණ්ඩායමක් හොද දෙයක් ලෙස දැක්කා. තවත් කණ්ඩායමක් හොඳ නැති දෙයක් ලෙස දැක්කා. එහි කිසිම ප්‍රශ්නයක් නැහැ. අපිට එක එක මතිමතාන්තර තිබෙන අය හමු වෙනවා. පවුලක වුණත් යම් දෙයකට සියලු දෙනා එකතු වෙන්නේ නැහැ. අපි බලන්න ඕනේ සාර්ථකව අපට ඉදිරියට යන්න පුළුවන්ද කියලා. මේ ගිවිසුම අත්සන් කළ එක හොදයි . එහි හොද දේවල් ගොඩක් තිබුණා.

සේවක සේවිකාවන්ගේ අයිතිවාසිකම් තර කරන හොඳ රාමුවක් මේ ගිවිසුමෙන් ලැබුණා. එය අත්සන් කළ වෘත්තීය සමිති නායකයින්ට සමහරු විවිධ චෝදනා කළා. ඒවා කාලයත් එක්ක සේවක මණ්ඩලය තේරුම් ගනියි මෙය හොද දෙයක්, කාගේත් සුභ සිද්ධිය සඳහායි මෙය අත්සන් කළේ කියලා. ඒ අත්සන් කළ අයව පවා හොඳ කියයි. මෙය ආයතනයට පවා හොඳ දෙයක් ලෙසයි මා දකින්නේ. දේවල් ඉල්ලලා ඉල්ලීම් කළාට වරදක් නැහැ. නමුත් ඒවා කරන විදිහක් තිබෙනවා. අපි හැමෝම බලන්නේ අන්තිමට අපේ සාක්කුවට මොනාද වැටෙන්නේ කියලා. අපි ඒවා කරන්න ඉඩ අවස්ථාව දුන්නා. ඒක ටිකක් දුර දිග ගියා. නමුත් ඒ අවුල මැදත් අපි දෙගොල්ල අතර සම්බන්ධයක් ඇති වුණා. එය ඉතා හොඳ දෙයක්. අපේ පවුලේ දරුවෝ දෙන්නෙක් නම් කෑම කන්න යද්දි පිගාන අරගෙන ඔළුවේ ඉදලා හලා ගන්න අවස්ථා තිබෙනවා. නමුත් මට ඒ අය එළියට විසි කරන්න බැහැ. මං ඒ අය සෝදලා ගෙනැවිත් නැවත කන්න දෙන්න ඕනේ. ඒ වගේ අපි සියලු දේ හදා ගෙන යන්න ඕනේ. මගේ වැරදි ඇති, අධ්‍යක්ෂ මණ්ඩලයේ වැරදි ඇති, අපි ඒවා හදාගෙන ඉදිරියට යන්න ඕනේ. දැන් අපිට ඒ අඩිතාලම වැටිලා තිබෙන්නේ. පසුගිය වසරේ අපි ආයතනයේ බොහෝ දේවල් කළා. සරසවිය සම්මාන උළෙල ඇතුළු ඇසට පෙනෙන සියලු දේට අපිට ගුණ කිව්වා. නමුත් අපි නොපෙනෙන දේවල් රැසක්ද සිදු කරලා තිබෙනවා. තොරතුරු තාක්ෂණ පැත්ත අපි වෙනස් කළා. එය තව වසර දෙකක් පමණ යද්දි හැමෝටම තේරෙයි අපි කළ ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ ගැන. ආයතනය ශක්තිමත් වන බොහෝ දේවල් ගිය වසරේදී අපි සිදු කළා.

මුල්‍ය පැත්තෙන් ගත්තත් ආයතනය ඉතා සාර්ථක තත්ත්වයකට පත් වුණා. මෙය අපේ වෙළෙඳ දැන්වීම් දෙපාර්තමේන්තුවේ විශේෂ දක්ෂතාවයක් ලෙස හදුන්වන්න පුලුවන්. හොද පත්තරයක් කළොත් තමයි වෙළෙඳ දැන්වීම් එන්නේ. නමුත් හොඳපත්තරක් කළා කියලත් වෙළෙඳ දැන්වීම් එන්නේ නැහැ. දෙකම සමබරව තිබිය යුතු වෙනවා. අපි අද හරි දේ කළාම හරි ප්‍රතිඵලය ලැබී තිබෙන නිසා ප්‍රතිව්‍යහුගතකරණ වචනය පාවිච්චි කළාට කමක් නැහැ.

ඇමැතිතුමා අපේ ලාභය මිලියන 150 ක් විතර කියලා කතා කළා. අපේ අවසන් වාර්තා තවම ආවේ නැහැ. අපි මේ වසරේ මිලියල 200 ක විතර ලාභයක් ලබලා තිබෙනවා. අපි එය මුලින්ම ගණන් කර බලා හරි ගණන පෙන්වන්නම්. අපේ නාස්තිය වියදම අඩු වෙලා ඉකුත් වසරේදී. ඒ නිසා මෙය අපි හැමෝටම පෙන්වන්න ඕනේ. එය අපි ලද ජයග්‍රහණයක් වෙනවා. අද අපේ සේවකයින් 1530 ක් ඉන්නවා. මේ සියලු දෙනාට මේ සම්බන්ධයෙන් ස්තුතිය පළ කරනවා. කවුද වැඩ කළේ කවුද නැත්තේ කියලා තමන් දන්නවා. වැඩ නොකරන අයත් වැඩ කරන අයට බාධා නොකිරීමෙන් උදව්වක් කරලා තිබෙනවා. අපි කණ්ඩායම් ලෙස ණය බරින් තොර සාර්ථක ආයතනයක් ලෙස නැඟි සිටින්නට කටයුතු කළා. නවතා තිබෙන වාහනයක් තල්ලු කරන්න අමාරුයි.

නමුත් යන වාහනයක් තල්ලු කරන්න ලේසියි. දැන් මේ වාහනේ යනවා. මේ නිසා 2017 වසර සාර්ථක වසරක් වෙයි. අපේ ආයතනය ලාභයම බලන ආයතනයක් විය යුතු නැහැ. නමුත් ලාභයක් අවශ්‍යයි. ආයෝජන කරන්න, මැෂින් නඩත්තු කරන්න මුදල් අවශ්‍යයි. හැම කාලේම මේ වගේ හොඳ කාලයක් වෙන්නේ නැහැ. අපල කාල එනවා . ඒ කාලවලදී වියදම් කරන්න මුදල් තබා ගන්න ඕනේ. අවුරුද්දක් සාර්ථක වෙලා අනිත් අවුරුද්ද අසාර්ථක වෙනවා නම් ඒ හොඳ කළමනාකාරීත්වයක් නොවෙයි. සේවකයින්ට ගෙවන්න පොරොන්දු වෙච්ච දේ ඊළඟ වසරේදී ඊට වැඩියෙන් ගෙවන්න කළමානාකාරීත්වයට හැකියාව ලැබෙන්න ඕනේ. සාර්ථක ආයතනයක් කියලා පෙන්නවලා පඩි වැඩි කරලා ඊළඟ අවුරුද්දේ කඩා වැටෙනවා නම් වැඩක් නැහැ. දිගුකාලීන සාර්ථක කළමනාකාරීත්වය මනින්න ඕනේ අවුරුද්දක දෙකක වැඩ කොටසකින් නොවෙයි. අවුරුදු 10, 15 ක කාලයක් මතයි. ඒ වගේ අඩිතාලමක් තමයි ඩී.ආර්. විජේවර්ධන මහතා හදලා ගියේ. අපි තවමත් ඔහුට ගුණ කියන්නේ ඒකයි. ඒක තමයි දක්ෂතාවය කියන්නේ. අපි ඒ වගේ දිගුකාලීන වැඩපිළිවෙළක් හදන්න තමයි උත්සහ ගන්නේ.

අපි දැන් මේ යන වාහනේ තල්ලු කරන එක අධ්‍යක්ෂ මණ්ඩලය මතම පවරා තබන්න එපා. කණ්ඩායම එක් වෙලා තල්ලු කරන්න ඕනේ. හැමෝම නායකත්වය දෙන්න ඕනේ. තමුන් හිතලා තමන් කරන වැඩේ හරියට කරන්න කවුරුත් උත්සහ ගන්න ඕනේ. අලුත් විදිහට යමක් කරන්න කවුරුත් හිතන්න ඕනේ. කියන විදිහටම කරන්න ඕනේ නැහැ. දිගින් දිගටම දිනන ආයතනයක් වුණාම නිර්මාණශීලිව කටයුතු කරන්න ඕනේ. මං වෙනසක් කළාද කියලා තමයි බලන්න ඕනේ. වහළ උඩට නගින්න ඔනේ නැහැ. මේ දේවල් කරනවා නම් තමන්ට ඕන දේවල් ලැබෙයි. ලැබු නව වසරේ අපි අලුත් දෙයක් කරන්න ඕනේ. අපි ඉදිරියේදී නව තාක්ෂණය ගේනවා. එයට සේවකයින් හුරු වෙන්න ඕනේ. අලුත් තාක්ෂණය ගෙනා විට අපිට තිබෙන ලොකුම අභියෝගය වැඩි පිරිසට මොනවද කරන්නේ කියන එක. වන්දි දීලා යවන එක නොවෙයි වැදගත්කම වෙන්නේ. එසේ යන අය විනාශ වෙනවා මිසක් දියුණු වෙන්නේ නැහැ. නමුත් තිබුණු වාතාවරණය අනුව මට ඒක කරන්න වුණා. මං ඒක නොකළා නම් ආයතනය තවත් කැළඹෙන්නට තිබුණා. ඉදිරියට ස්වෙච්ඡාවෙන් විශ්‍රාම යාමේ යෝජනාවලි එන්නේ නැහැ. ඊට වඩා වැඩි දෙයක් කරන් අවශ්‍යයි. අපි සියලු දෙනා එකතු වෙලා මානසික ප්‍රතිව්‍යහුගතකරණයක් සිදු කරන්න අවශ්‍යයි. ඉදිරියේදී මානසිකව වෙනස් වෙලා අපි ආයතනයේ යහපතට කටයුතු කළ යුතුයි. අද අපි මෙතැන ඉන්නේ අවුරුදු දෙකක් සාර්ථකව දුවලා තරඟය දිනපු කණ්ඩායම ලෙසයි. මෙය ඉවර නැහැ. දැන් මේ නව වසරේ දෙසැම්බර් 31 වෙනකල් තවත් අලුත් තරඟයක් අපට තිබෙනවා. අපි ඒ තරගයටත් ඉදිරියට හොඳින් සැලසුම් කරලා සාර්ථකව මුහුණ දෙන්න ඕනේ.

අපිට මේ වසර දෙකේ බාධක තිබුණා. අපි අනෙකුත් ආයතන එක්ක තරගකාරීව කටයුතු කළ යුතු වෙනවා. අපි විනයක් ඇතිව එකම කණ්ඩායමක් ලෙස නිර්මාණශීලි ආයතනක් ලෙස ඉදිරියට යන්න අවශ්‍යයි. ඉදිරියේදී සාමුහික ගිවිසුම අනුව සේවකයින්ගේ වැටුප් වැඩිවීම ඒ ආකාරයෙන්ම සිදු වෙයි.

අධ්‍යක්ෂ මණ්ඩලය තීරණයක් ගත්තා ගිවිසුමට වඩා ස්වල්ප ගාණක් වැඩිපුර දෙන්න. ඒ ගැන අපි පොරොන්දු වෙන්නේ නැහැ. ඉදිරියේදී උසස්වීම්, වැටුප් වර්ධක ලැබෙන්නේ විනිවිද පෙනෙන ආකාරයටයි. ඒවා ලැබෙන්නේ ආයතනයට වැඩ කළොත් පමණයි. මේ ආයතනය හැම අතින්ම ඉතාමත් හොඳ ආයතනයක්. ඉදිරියේදී එය වඩාත් හොඳින් සේවක සේවිකාවන් තේරුම් ගනියි යැයි කීවේය.

මේ අවස්ථාවට කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සමන් වගආරච්චි, මෙහෙයුම් අධ්‍යක්ෂ ලක්ෂ්මන් හේවාපන්න, මුල්‍ය අධ්‍යක්ෂ එම්රික් ප්‍රනාන්දු, නීති අධ්‍යක්ෂ සිරිමෙවන් ඩයස්, සාමාන්‍යාධිකාරී අභය අමරදාස, ආයතන ලේකම් කුමුදු ගුණවර්ධන මහත්ම මහත්මීහු, නියෝජ්‍ය සමාන්‍යාධිකාරීවරු ඇතුළු විධායක මණ්ඩලය, ප්‍රධාන පුවත්පත් කර්තෘවරු සහ සේවක සේවිකාවෝ සහභාගී වුහ.


නව අදහස දක්වන්න

Or log in with...