යහපාලන ආණ්ඩුවේ ගමනට බාධා කළ නොහැකියි | දිනමිණ

යහපාලන ආණ්ඩුවේ ගමනට බාධා කළ නොහැකියි

නිරුෂි විමලවීර

යහපාලන ආණ්ඩුවේ ශක්තිමත් ගමන් මගට කිසිවෙකුටත් බාධා කළ නොහැකි බවත් නව රජය දෙපිළක් එකතුවක් වුවද වසර 2020 වෙන තෙක් අඛණ්ඩව පවත්වා ගෙන යෑමේ හැකියාව ඇති බවත් ඛණීජ තෙල් සම්පත් සංවර්ධන ඇමැති චන්දිම වීරක්කොඩි මහතා ප්‍රකාශ කෙළේය.

ඇමැතිවරයා එසේ සඳහන් කෙළේ ඛණිජ තෙල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී ඊයේ(03) දහවල් පැවැති විශේෂ මාධ්‍ය හමුවට එක් වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැති චන්දිම විරක්කොඩි මහතා මෙසේද සඳහන් කෙළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දුරදක්නා නුවනින් රටේ ජනමතය පිළිබඳ නිසි දැක්මෙන් බහුතරයේ අවශ්‍යතාව පිළිබඳ අවබෝධයෙන් තිරසර යුගයක් වැඩපිළිවෙළ හඳුන්වා දුන්නා. ස්වභාවික සම්පත් ආරක්ෂා කරමින් අපේකම් ආරක්ෂා කරමින්, දේශීයත්වයට මුල්තැන දෙමින් දේශිය දේ සුරකිමින්, ජනතාවගේ අවශ්‍යතාව ඉදිරිය වෙනුවෙන් දැක්මකින් ක්‍රියා කරන්නේ කෙසේදැයි එම වැඩපිළිවෙළ එළිදැක්වීමේදී ජනාධිපතිතුමා මැනවින් පැහැදිලි කළා. එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු විවිධ ක්ෂේත්‍රයන් තිරසර සංවර්ධනය පිළිබඳ කතා කරනවා. නමුත් ලෝකයේ කිසිදු රාජ්‍යක රටේ නායකයාගේ උපදෙස් අනුමැතිය යටතේ රටේ පාර්ලිමේන්තුව මට්ටමින් තිරසර කමිටුවක් මෙතෙක් පත් කර නැහැ. නමුත් අපේ රටේ එවැනි කමිටුවක් පත් කර තිබෙනවා. එය අපේ රටේ විශාල ජයග්‍රහණයක්.

තිස් වසරක් අප ත්‍රස්තවාදය හේතුවෙන් බැට කෑවා. නැවත රට තුළ ත්‍රස්තවාදය ඇති නොවීමට කටයුතු කිරීම අප ඉදිරියට යන ගමනේ ජනතා අපේක්ෂාවයි. සංහිඳියාව ගොඩනැ‍ෙඟෙන විනිවිද බව ශක්තිමත්වන රටේ ජනතා අවශ්‍යතා, ස්වභාවික සම්පත් රැකෙන දේශීයත්වයට මුල් තැන දෙන අපේකම් රැකෙන , අන්තර්ජාතික සබඳතා රැක ගනිමින් අපේ රටට වාසි ලබා ගනිමින් ඉදිරියට යෑමක් ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළට අයත්.

මේ වසර දිළිඳුකම් පිටු දැකීමේ වසර ලෙස හය මාසයකට පෙරාතුව නම් කිරීමට ජනාධිපතිතුමා විසින් කටයුතු කළා. විද්වත් කමුටුවක් පත් කර ක්‍රමවත්ව එම වැඩපිළිවෙළ ගෙන යෑමේ බලතල එම කමිටුව වෙත භාර කළා. නිරෝගිමත් ජාතියක් වෙනුවෙන් කැපවූ ඹෟෂධ සඳහා තිබූ ගැටලු නිරාකරණය කිරිමට රජයක් ලෙස කටයුතු කර තිබෙනවා. පසුගිය වසරේ සිදු වුයේ කුමක්දැයි කියා බොහෝ දෙනා ප්‍රශ්න කරනවා.

ඛණිජ තෙල් අමාත්‍යාංශය යටතේ ආයතන හතරක් ක්‍රියාත්මක වෙනවා. ඛණීජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් බිලියන 85කට වඩා ලාබයක් අප පසුගිය වසරේ ලබා තිබෙනවා. ඛණීජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම රුපියල් බිලියන 2.7ක ලාභයක් වාර්තා කළා. ඛණිජ තෙල් සම්පත් ලේකම් කාර්යාලය ඩොලර් මිලියන 369ක් ලාභයක්ද පොලිට්ටෝ ආයතනය ප්ලාස්ටික් යොදා ගනිසින් දැවි තෙල් නිෂ්පාදනය වෙනුවෙන් කටයුතු කර තිබෙනවා. ඉතිහාසයේ ප්‍රථම වරට දැවි තෙල් බවුසර් හතරක් විකිණීමට මේ කුඩා සමාගමට හැකිවුණා. ප්ලාස්ටික් ටොන් විසි දෙදහසක් අපේ සමාජයෙන් තුරන් කිරීමට එම සමාගමට හැකිවුණා. අමාත්‍යාංශයට පසුගිය වසර ඉතාම සාර්ථක වසරක්. අතහැර දැමූ කර්මාන්ත සක්‍රිය කිරීමටත්, නළ එළීම ආදිය නැවත ක්‍රියාත්මක වෙනවා. කොන්ත්‍රාත් ලබා දී තිබෙනවා. ඉදිරි මාස කිහිපයේ කොන්ත්‍රාත් ලබා දිය හැකියි.

නියඟය ඇති වුවහොත් නොකඩවා විදුලිය ලබා දීම සඳහා විදිලි බල අමාත්‍යාංශයට ශක්තියක් වීමට අප සූදානම්. අවශ්‍ය කරන ඛණීජ තෙල් බවුසර මඟින් ප්‍රවාහනය කිරිමට අප කටයුතු යොදා තිබෙනවා. නමුත් පසුගිය කාලයේ මුතුරාජ වෙල මුහුදු ජලය දමා අත්හැර දමා තිබූ දිරා පත්වූ නළ පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමට අපට හැකිවුණා. ඒ යටතේ නළ පද්ධතියෙන් කිසිදු කාන්දුවක් නොවන අයුරින් තෙල් නෞකාවක් අප ගොඩ බා තිබෙනවා. ඒ නළ පද්ධතිය හරහා ඛණීජ තෙල් ගොඩ බෑමටත් ගොඩට ගන්නා ලද තෙල් විදුලිබලාගාර වෙත ලබා දීමට හැකියාව තිබෙනවා. ත්‍රිකුණාමල , හම්බන්තොට සහ ටැංකි හරහා අඛණ්ඩව විදුලිය සැපයීමට අප කටයුතු කරනවා. ඊට අවශ්‍ය සැලසුම් ඉදිරි සැලසුම් සහිතව අප ඉදිරිපත් කර තිබෙනවා.

අපේ සපුගස්කන්ද තෙල්පිරි පහදුව පුහුණු මධ්‍යස්ථානයක් බවට පත් කර එස්.ඩබ්ලිව් ආර්.ඩී බණ්ඩාරනායක පුහුණූ පාසල ලෙස ජනවාරි 09 වෙනිදා ආරම්භ කරනවා. තරුණයන් සිය දෙනෙකුගේ පුහුණුව ලබා දෙනවා. ඒ අයට ලංකාවේ පමණක් නොව විදේශ රැකියා සඳහා ඔවුන් පුහුණූ කිරීමට අපේක්ෂා කරනවා. විදේශයන්හිදි මිලියන දෙකක පමණ වැටුපක් ඔවුන්ට ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. මෙතෙක් කාලයක් අපේ රටට විදේශ විනිමය ගෙන ආවේ විදේශීය ගෘහසේවිකාවන් ලෙස කටයුතු කරන පිරිස් බව කිව යුතුයි. නමුත් අප පුහුණූ ශ්‍රමිකයන් බිහි කිරීමෙන් රටේ ආර්ථිකය මෙන්ම ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් වෙනවා.‍

මෙහිදි මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න සඳහා ඇමැතිවරයා මෙසේ පිළීතුරු ලබා දුන්නේය.

ප්‍රශ්නය - පසුගස්කන්ද තෙල් පිරිපහදුව සංවර්ධනය කිරීමේ ක්‍රමවේදය කුමක්ද?

පිළිතුර - පසුගස්කන්ද තෙල් පිරිපහදුව සංවර්ධනය කිරීමේ ක්‍රමවේදය කුමක්දැයි යන්න සොයා බැලීම සඳහා විද්වත් කමිටුවක් පත් කළා. එම කමිටුවේ යෝජනා අපට ඉදිරිපත් කළා. ඒ යෝජනා පිළීබඳ නැවත සොයා බලන්න පාර්ලිමේන්තුවේ ආර්ථික කමිටුවක් පත් කළා. ඊට ආර්ථික කමිටුවේ අනුමැතිය ලැබුණු ඇමැතිවරයෙක් තවත් යෝජනාවක් ඉදිරිපත් කළා. ඒ අදහස් ලබා ගනිමින් නව කමිටුවක් මේ පිළීබඳ සොයා බලා ඉදිරියේදී යෝජනා ඉදිරිපත් කරනු ඇතැයි විශ්වාස කරනවා. ඒ යෝජනා ක්‍රමවේදයට අනුව පිරිපහදුව ප්‍රතිසංස්කරණයන් අරඹනවා.

ප්‍රශ්නය - ඒ සඳහා කෙතරම් කාලයක් ගතවෙනවාද?

පිළිතුර - ජනවාරි මස වාර්තාව ඉදිරිපත් කරනු ඇතැයි අප විශ්වාස කරනවා.

ප්‍රශ්නය- චීන වරායට ගිය ඛණිජ තෙල් අමාත්‍යාංශ නිලධාරීන් බලහත්කාරයෙක් රඳවා ගැනීමකට ලක්වුණා. එහි තත්ත්වය කුමක්ද?

පිළිතුර - ඉදිරියේදී ඇති වෙන නියඟය තුළ අප මුහුණ දෙන්නේ කෙසේදැයි යන්න අප සොයා බැලුවා ඒ යටෙත් අඛණ්ඩ තෙල් සැපයුම සම්බන්ධයෙන් ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි තුනක් ගත යුතු බවට අප තීන්දු කළා.අමාත්‍ය කමිටු විසින් ගන්නා ලද තීන්දුව පිළිබඳ නිසි අවබෝධයකින් තොරව කටයුතු කිරීමෙන් එම තත්ත්වය ඇති වුණා. නමුත් එම තත්ත්වය මේ වන විට සමනය වී තිබෙනවා.

ප්‍රශ්නය- ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි කිහිපයක් ඉන්දීයාවට විකුණා ඇති බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා නඟනවා. ඒ පිළිබඳ අදහස කුමක්ද?

පිළිතුර - තෙල් ටැංකි ඉන්දියාවට පවරා තිබෙන්නේ වසර 2002 දී බව කිව යුතුයි. එය වත්මන් රජය පැවරූ දෙයක් නොවෙයි. නමුත් පැවරීමෙන් පසු ආණ්ඩු තුනක් බලයේ සිටියා. බලයට පත්වූ සෑම ආණ්ඩුවක්ම එම ගිවිසුම අනුව එය පිළිගෙන කටයුතු කළා. පවරා ඇති එම ටැංකි වලින් සියයට පනහ හෝ වාසියක් ලබා ගැනීමට අප උත්සාහ දරනවා.

ප්‍රශ්නය- කැබිනට් පත්‍රකාවක් මඟින් තෙල් ටැංකි ඉන්දියාවට පැවරීම සිදු කර තිබෙනවා. ඒ සඳහා වර්තමානයේදී ඉන්දියානු රජය ඊට අවතීර්ණ වී සිටිනවාද?

පිළිතුර - නැහැ. ඉන්දියානු රජය ඊට අවතීර්ණ වී නැහැ. මේ අපේ රටයි. මේ රටේ තීන්දු ගන්නේ අපයි. මේ අපේ රට මෙය පාලනය කරන්නේ අපේ රජයයි. ඉන්දියාව චීනය, ඇමෙරිකාව, මාලදිවයින සමඟින් මිත්‍රශීලිව කටයුතු කරනවා. නමුත් රටේ ප්‍රශ්න සම්බන්ධයෙන් තීන්දු ගන්නේ අපේ රජයයි.

ප්‍රශ්නය- තවත් ගාල්ලේ රාජ්‍ය ඇමැතිවරුන් දෙදෙනෙක් ඉල්ලා අස්වන බව ප්‍රියංකර ජයරත්න ඇමැතිවරයා පවසා තිබෙනවා.?

පිළිතුර - ප්‍රියංකර ජයරත්න ඇමැතිවරයා පුත්තලමේ ඇමැතිවරයෙක්. පුත්තලමේ කෙනෙකුගේ ප්‍රකාශයට ගාල්ල ඇමැතිවරන් එකග වන්නේ නැහැ.

ප්‍රශ්නය- ශ්‍රීලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය සමගින් එක්ව කටයුතු කිරීමෙන් මේ තත්ත්වය ඇති වූ බව ජී.එල්.පීරිස් මහතා පවසා තිබෙනවා.

පිළිතුර - අපේ තිබුණ විදේශ ප්‍රතිපත්තිය නිසා අපේ ආණ්ඩුව පරාජයට පත් වුණා. අපේ ආණ්ඩුවේ වසර දහයක් විදේශ විෂය භාරව කටයුතු කෙළේ ජී.එල් පීරිස් මහතායි. මුළු ලෝකයම අපේ රටට විරුද්ධ වුණා. එතුමා 1999 හැදු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධ අදහස් එතුමා අද කියනවා. එතුමා මහාචාර්ය තනතුරු දරා සිටියොත් එතුමාගේ ගෞරවය ආරක්ෂා වෙනු ඇතැයි මම විශ්වාස කරනවා.

ප්‍රශ්නය- ආණ්ඩුවේ ඇතැම් පිරිස් අතර කලකිරීම් තිබෙනවා නේද?

පිළිතුර - අප මහජන නියෝජිතයන්. අප වරක සතුටු වුවද තවත් විටක කණගාටු වෙනවා. ජනමාධ්‍යවේදීන් ලෙස ඔබලාගේ තත්ත්වයද එයයි. අපට සතුට වගේම දුක ප්‍රකාශ කිරීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් අද අපට ලැබී තිබෙනවා. එය අප ලැබූ ජයග්‍රහණයක්. එදා එම තත්ත්වය තිබුණාද කියා රටේ ජනතාවත් ජනමාධ්‍ය ඔබත්, මහජන නියෝජිතයනුත් දන්නවා.

මේ රජය ස්ථාවර රජයක්. මෙය ශක්තිමත් රජයක්. අප අපේ පක්ෂයේ දේශපාලනයත්, එජාපය ඒ අයගේ දේශපාලන න්‍යායන් තුළ සිටිනවා. නමුත් අපට ප්‍රධාන වශයෙන් වැදගත් රටයි. අප රටට හානිවෙන කිසිදෙයක් කිසි විටක සිදු කරන්නේ නැහැ. පක්ෂය පාවා දෙන කිසිදු ක්‍රියාවලියකට අප අවතීර්ණ වන්නේ නැහැ.

ප්‍රශ්නය- එහි අදහස 2020 වෙනතෙක් සම්මුතිවාදී ආණ්ඩුව තිබෙනවා යන්නද?

පිළිතුර - ු-ඔව් 2020 වනතෙක් ශක්තිමත් ආණ්ඩුවක් තිබෙනවා.

ප්‍රශ්නය- එහි අදහස 2020 වනතෙක් සම්මුතිවාදී ආණ්ඩුව ස්ථීර ලෙස පවත්වාගෙන යනවා යන්නද?

පිළිතුර - ඔව්. 2020 තෙක් ආණ්ඩුව පවත්වාගෙන යෑමට ගිවිසුම් ගතවී සිටිනවා. පක්ෂ දෙකක් ලෙස දෙපැත්තකට යෑමට අවශ්‍ය මැතිවරණයක් වෙනවෙන් පමණයි.

ප්‍රශ්නය- සීමා නිර්ණය පිළිබඳ ගිවිසුමට ප්‍රධාන පක්ෂ දෙක අත්සන් තබා නැහැ නේද?

පිළිතුර - අද ශ්‍රීලංකා නිදහස් පක්ෂය අත්සන් තබනවා. ඇමැතිතුමා එය භාර ගන්නවා.

ප්‍රශ්නය- සහල් මිල ඉහළ ගොස් තිබෙනවා. ඒ වෙනුවෙන් රජයේ වැඩපිළීවෙළ කුමක්ද?

පිළිතුර - සහල් පිළිබඳ ගැටලුවක් ඇති වී තිබෙනවා. කඩිනමින් සහල් ආනයනය කර ජනතාවට සහන මිලට ලබා දෙන ලෙස අද කැබිනට් මණ්ඩලයේදී තීන්දුවකට එළඹුනා. දෙසතියක් ඇතුළත එම වැඩපිළීවෙළ ක්‍රියාත්මක වෙනු ඇතැයි විශ්වාස කරනවා. එවිට සඟවා ගෙන සිටින සහල් තොඟ එළියට ගැනීමේ පූළුවන්.


නව අදහස දක්වන්න

Or log in with...