විදුලියෙන් විශේෂ පත‍්‍රිකා 03ක් | දිනමිණ

විදුලියෙන් විශේෂ පත‍්‍රිකා 03ක්

මේ වසර ඇතුළත ජනතාව බලාපොරොත්තුවන ආකාරයට කාර්යක්ෂමව විදුලිය ලබාදීමට කැබිනට් මණ්ඩලයටත් විශේෂ පත‍්‍රිකා 03ක් ඉදිරිපත් කරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය, රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

ඉල්ලූම් පාර්ශවීය කලමනාකරණය තුළින් බලාගාර නොමැතිව විදුලිය ලබාදීමට සූදානම්  බවත් ජනාධිපති කාර්යසාධන බලකායක් හදලා, වගකිම් බෙදාගෙන, මෙහෙයවීම ජනාධිපති ලේකම්තුමන්ට ලබාදීලා, මේ සම්බන්ධයෙන් ගොඩක් ඉදිරියෙන් ඉන්නා  බවත් ඇමැතිවරයා සඳහන් කළේය .

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, බලශක්ති ක්ශේත‍්‍රයේ ඉල්ලූම් පාර්ශවීය කළමණාකරණය සඳහා සුනිත්‍ය බලශක්ති අධිකාරිය සමග එක්ව කොළඹ 07, ඇල්බට් චන්ද්‍රවංකයේ ස්ථාපිත කළ නව කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

ලෝකයේ මේ මොහොතේ තිබෙන ලාභදායි බලශක්ති ප‍්‍රභවය සූර්යබලය බවත්, බලශක්ති කලමණාකරණය මෙන්ම ස්වයං බලශක්ති උත්පාදනය සඳහා යොමුවීමෙන් පොසිල ඉන්ධන භාවිතයෙන් ඉවත්වීමට හැකි බවත් මෙහිදී අමාත්‍යවරයා පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සියඹලාපිටිය මහතා ...

"අභියෝග නැති තැන පැවත්මක්, ජීවිතයක් නැහැ. මම විශ්වාස කරනවා අපි තුළ තිබෙන විශේෂ සම්මුතිය, සාකච්ඡාව සහ සමගිය තුළින් අපේ අමාත්‍යාංශය පිරිලා. ඒ නිසා අපිට ජයගත නොහැකි අභියෝග කිසිවක් නැහැ. ඒ විශ්වාසය අපට තිබෙනවා. ඒ නිසා අපිට මේ ගමන සාර්ථකව යන්න පුළුවන් වේවි. අපි මේ කරන්න යන්නේ, බලශක්ති ක්ෂේත‍්‍රයේ ඉල්ලූම් පාර්ශවීය කලමනාකරණය තුළින් මෙගාවොට් 500ක විදුලි බලාගාරයක් හදන්න යන වියදමට සමාන වියදමක් ඉතුරු කරලා දෙන්නයි” යැයි පැවසීය. 

මෙම අවස්ථාවට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ, සුනිත්‍ය බලශතක්ති අධිකාරියේ සභාපති ඇතුළු  ජ්‍යෙෂ්ඨ නිලදාරීන් විශාල පිරිසක් සහභාගී වූහ.

-චමීර ඇල්ලදෙණිය

 

නව අදහස දක්වන්න