යහපාලන දෙවසර සමස්තයක් වශයෙන් ගත් කල | දිනමිණ

යහපාලන දෙවසර සමස්තයක් වශයෙන් ගත් කල

වසන්ත ප්‍රිය රාමනායක

පසුගිය දෙවසර තුළ වත්මන් යහපාලන ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදී යහපාලන හැඩ රුව පසුගිය පාලනය හා සැසදීමේ දී ඉදිරිගාමීය; යහපත් ය. ආණ්ඩුව විවේචනය කිරීමේ අයිතිය, සුදු වෑන්වලින් පැමිණ සිදු කරනු ලබන පැහැර ගැනීම්වලින් තොරව මෙන් ම මාධ්‍යවේදීන්ට එල්ල කරණු ලබන මාරාන්තික පහර දීම්වලින් තොරව නිදහස ලැබී තිබේ.

පසුගිය පාලනයෙන් වෙනස් වීම අරමුණු කරගත් වත්මන් යහපාලන රජයට දෙවසරක් සම්පූර්ණ වීමට ආසන්නය. මෙය ගණන් බැලෙන්නේ 2015 ජනවාරි 8වැනි දා වත්මන් ජනධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලැබු ඓතිහාසික ජයග්‍රහණය සමඟිනි. එය පැරැණි පාලනය රැඩිකල් ලෙසින් වෙනස් කරනු ලැබු ජයග්‍රහණයකි. එසේ ම මුළු දිවයිනම එක් මැතිවරණ කොට්ඨාසයක් ලෙසින් ගෙන ලැබු තියුණු ජයග්‍රහණයක ප්‍රතිඵලයකි.

මේ රටේ සෑම ජනාධිපතිවරණයකදීම ප්‍රධාන දේශපාලන ධාරාවන් දෙකක් පෙරමුණු ලෙසින් එකිනෙකාට එරෙහිව තරග වදී. එය එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. මෙම පක්ෂ දෙක වටා කුඩා පක්ෂ කණ්ඩායම් රාශියක් මැතිවරණයක දී සන්ධාන ගතවේ. මෙවරද එය ඒ ආකාරයෙන් ම සිදු විය. එහෙත් ටික කලක සිට මෙම ප්‍රධාන පක්ෂ දෙකේ ඡන්ද පදනම 50% ඉක්මවා නොගිය මැතිවරණ පසුබිමක් නිර්මාණය වෙමින් පවතී. මේ නිසා අනිවාර්යයෙන් ම සන්ධාන ගතවීමට ඔවුනට සිදු වී තිබේ.

යහපාලන ජයග්‍රහණය

පසුගිය ජනාධිපතිවරණ සටන පෙරටත් වඩා සංකීර්ණ විය. එහි දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග වැදුණේ ප්‍රබල මෙන්ම ජයග්‍රාහී අපේක්ෂකයෙක් ලෙසිනි. ඔහුට ඔහුගේ ම ආණ්ඩුවේ ශක්තිය මෙන් ම 30 අවුරුදු යුද්ධයෙන් රට නිදහස් කරගැනීමේ ගෞරවය හා යෝධ සංවර්ධන ව්‍යාපෘති රැසක් ඇරඹීමේ සංවර්ධන ක්‍රියාවලියක ද ශක්තිය පැවැතිණ. එදා බැලූ බැල්මට පිරිහීමකට ලක්ව පැවැතියේ ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය බව පෙනේ. අවසානයේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්වීමත් සමඟම ප්‍රජාතන්ත්‍රවාදී යහපාලන සටන් පාඨය සමඟින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ම මහලේකම්වරයා ව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති මැතිවරණ සටනට එම පක්ෂයේ ම නායක මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව සටන් වැදුණි. අවසානයේ ප්‍රජාන්ත්‍රවාදී හා යහපාලන සටන් පාඨයට නැතිනම් මෛත්‍රීපාල සිරිසේන මහතාට ජය ලැබුණි.

එතැන් පටන් බිහි වූ වත්මන් රජය හැඳින්වෙන්නේ යහපාලන ආණ්ඩුව ලෙසිනි. මෙම ආණ්ඩුව පිහිටුවීමේ තීරණත්මක මෙන් ම ජයග්‍රාහී ඡන්ද ප්‍රතිශතයට වගකියන කණ්ඩායමක් සිටී. දේශපාලන පක්ෂවලට අයත් නැති, මධ්‍ය පන්තික දැන උගත් ඡන්ද තීරුවක්, සිවිල් සංවිධාන ප්‍රජාව හා ජනවාර්ගික පදනමින් ඡන්දය පාවිච්චි කළ පිරිස් මේ අතර විය. ඊට අමතරව තුන් වැනි අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමෙන් තොරව ඒ වනවිට භූමියේ පැවැති දේශාපලන යථාර්ථයට එකඟව ජනතා විමුක්ති පෙරමුණ හා මුස්ලිම් කොංග්‍රසය ද එම තීරණාත්මක යහපාලන ඡන්ද තීරුවට දායකවිය. ඒ නිසා මෛත්‍රී ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය උදෙසා ප්‍රධාන වශයෙන් ම එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද සමගින් ‘වෙනසක්’ උදෙසා ඡන්දය පාවිච්චි කළ ප්‍රජාව හේතු විය. පසුව පැවැති පාර්ලිමේන්තු මැතිවරණයේ දී පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී කණ්ඩායමක් හිමි කර ගන්නා කණ්ඩායම බවට පත් වන්නේ ද මෛත්‍රීගේ ජයග්‍රහණයට උරදුන් එක්සත් ජාතික පක්ෂය ඇතුළු දේශපාලන බලවේග බව පැහැදිලිය.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට හැකි වීම මේ දෙවසර තුළ සිදු වූ කැපී පෙනෙන ජයග්‍රහණයකි. මෙමගින් විධායක ජනාධිපතිවරයාගේ ධුර කාලය වසරකින් අඩුම ධුර කාලය වාර දෙකකට සීමා කිරීම, ඔහුගේ මුක්තිය අහෝසි වීම හා ස්වාධීන කොමිෂම් සභා පත් කර ගැනීමට හැකි වීම කැපී පෙනේ. විශේෂයෙන් ම ජනාධිපති මෛත්‍රීපාලන සිරිසේන මහතා පෞද්ගලිකවම වාගේ මෙන් ම අවංකව ම මැදිහත් වී තම බලතල කප්පාදු කර ගැනීමට ඉදිරිපත් වීම ජාතික මට්ටමින් පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් ද කැපී පෙනෙන සුවිශේෂ සිදුවීමකි. එය තවන් වැදගත් වන්නේ ජනාධිපතිවරයා සතු බලය මිටත් වඩා කප්පාදු කිරීමට එතුමාගේ කැමැත්ත හා ඉල්ලීම මත ඉදිරිපත් වූ කෙටුම්පතේ අඩංගු සමහර කාරණා උසාවිය මඟින් ජනමත විචාරණයකට යොමු කිරීම නිසා ඒවා අත්හැර දැමීමට සිදු වීමයි. එහෙත් බලය අත්හැරීමේ ජනාධිපතිවරයා සතුව තිබූ චේතනාව පාරිශුද්ධය.

සමස්තයක් වශයෙන් ගත් කල පසුගිය දෙවසර තුළ වත්මන් යහපාලන ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදී යහපාලන හැඩ රුව පසුගිය පාලනය හා සැසදීමේ දී ඉදිරිගාමීය; යහපත් ය. ආණ්ඩුව විවේචනය කිරීමේ අයිතිය, සුදු වෑන්වලින් පැමිණ සිදු කරනු ලබන පැහැර ගැනීම්වලින් තොරව මෙන් ම මාධ්‍යවේදීන්ට එල්ල කරණු ලබන මාරාන්තික පහර දීම්වලින් තොරව නිදහස ලැබී තිබේ. කොටින්ම විවේචනය වෙනුවෙන් නොහඳුනන තුවක්කුකරුවන් පැමිණෙන්නේ නැත. රාජ්‍ය හස්තයන් මඟින් එවන් පහරදීම් හා මිනීමැරීම් මෙහෙය වන්නේ නැතිනම් හුදකලා සිදුවීමකට වුව ද කෙනෙක් පෙළඹෙන්නේ නැත. ඊට හේතුව එවැන්නක් දේශපාලන බලපෑමකින් සඟවා තබා ගැනීමේ අවකාශය අතුරුදන්ව තිබීමය.

මේ අතර තම අයිතිවාසිකම් හා වෘත්තීය අරගලවලට පුළුල් ඉඩක් විවරව පවතී. කෝටි 8ක පමණ අලාභයක් රටට අත්පත් කර දෙමින් හම්බන්තොට වරායයේ නැව් දෙකක් බලහත්කාරයෙන් රඳවා තබා ගැනීමේ සිදුවීමේ දී නාවික හමුදාව මැදිහත් කිරීමට සිදු විය. එසේ නොමැති වුවා නම් ශ්‍රී ලංකාවේ වරායන් අනාරක්ෂිත තත්ත්වයට පත් වී ජාත්‍යන්තර වශයෙන් අපට බරපතළ ප්‍රතිවිපාක විදීමට සිදු වේ. මෙහි දී මාධ්‍යවේදියෙකුට අවාසනාවන්ත තත්ත්වයක් මුහුණ දීමට සිදු විය. එම සිදුවීම අනුමත කළ නොහැකිය. ඒ පිළිබඳ විවාදයක් නොමැත. එහෙත් යම් සිදුවීමකට හමුදාව මැදිහත් කරගත් විට එවන් ප්‍රතිඵලයක් බලාපොරොත්තු වීමට සිදුවීම ස්වාභාවිකය. හමුදාව වෙනුවෙන් පැවැත්වූවාය කියන බෝධි පූජා මීට අදාළ වන්නේ නැත. එහෙත් මෙහි දී ද විශේෂත්වය රතු පස්වල මෙන් කිසිදු වෙඩි තැබීමක් සිදු නොවීය. මිනිස් ඝාතන නොවීය. මේ සිදුවීමේ දී හැරෙන්නට අන් සෑම අවස්ථාවකදීම මාර්ග හරස් කරනු ලැබූ උද්ඝෝෂණ නතර කරනු ලැබුවේ ඒවාට එරෙහිව ජල ප්‍රහාර හා කඳුළු ගෑස් මැදිහත් කිරීම් මඟිනි. මේ නිසා නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ පැත්තෙන් යහපාලන මූලධර්ම ආරක්ෂා වී තිබෙන බවක් දක්නට ලැබේ. සංවිධානය වූ වැඩ කරන ජනතාව, සමාජ සිවිල් ක්‍රියාකාරීන් මෙන් ම විවිධ ප්‍රශ්න අරඹයා බියෙන් සැකයෙන් තොරව රජයට එරෙහිව උද්ඝෝෂණය කිරීමට ජනතාව පෙළඹෙමින් සිටිති. කොළඹ කොතැනක හෝ උද්ඝෝෂණයක් නැති දිනයක් නොමැති තරම් ය. අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලය මෙය (උද්ඝෝෂණ) රැකියාවක් ලෙසින් ම වාගේ ඉටු කරන බව පෙනේ. ප්‍රශ්නයකට ඇත්තේ ඔවුනට විශ්වවිද්‍යාලවල දේශනවලට සහභාගී වීමට අවස්ථාවක් තිබේ ද යන්නයි.

ජනතා පොරොන්දු

වත්මන් යහපාලන ආණ්ඩුව බලයට පත්වීමේ දී ජනතාවට දුන් පොරොන්දු අතුරින් කැපී පෙනෙන පොරොන්දුවක් වුයේ නාස්තිය දුෂණය හා අක්‍රමිකතා අවම කිරීම මෙන් ම පසුගිය පාලනය යටතේ දුෂණ සිදු කළ අයට උපරිම දඬුවම් පැමිණවීමට කටයුතු කරන බවට පොරොන්දු වීමයි. මේ සඳහා දුෂණ විරෝධී සංවිධානය ඇතුළු විවිධ සිවිල් සංවිධාන ඉදිරිපත් කළ පැමිණිලි රාශියක් තිබේ. ඒවායේ අරමුණු දුෂිතයන්ට දඬුවම් පැමිණවීම පමණක් නොව වර්තමානයේ හා අනාගතේ එවැන්නකට දේශපාලනඥයන් හා රාජ්‍ය නිලධාරීන් පෙළඹවීම අවම කිරීමයි. විශේෂයෙන් ම ශ්‍රී ලංකාව වැනි තුන් වැනි ලෝකයේ රටවල සංවර්ධනයට ඇති ප්‍රධාන බාධකයක් ව පවතින්නේ රාජ්‍ය මුදල් අවභාවිතය දුෂණය හා නාස්තියයි. එය යම් මට්ටමකට හෝ අඩු කර ගැනීමට හැකි නම් එමගින් ඉතිරි වන මුදල් අතිවිශාලය. මෙම රටවල දක්නට ලැබෙන අධික ණය බරට එක් හේතුවක් ලෙසින් ද දූෂණ අක්‍රමිකතා හැඳින්විය හැකි ය.

එහෙත් විවිධ හේතු මත ආණ්ඩුව ඒ සඳහා දක්වන උනන්දුව කිසිසේත්ම ප්‍රමාණවත් නැත. එය පරීක්ෂණ නීතිමය හා අධිකරණමය ක්‍රියාදාමයක් ලෙසින් පවසා අත සෝදා ගැනීමට මේ රජයට නොහැකිය. ඊට හේතුව මේ රජය බලයට පත් වී තිබෙන්නේ ම පසුගිය පාලනයේ සමහර දේශපාලනඥයන්ට හා රාජ්‍ය නිලධාරීන්ට හොර ලේබල අලවමිනි. ඒවා පිළිබඳ පරීක්ෂණ යට ගැසීමේ ස්වභාවයක් දක්නට ලැබෙන බව පෙනේ. සිවිල් සංවිධාන ක්‍රියාකාරීහු මේ සම්බන්ධයෙන් වත්මන් රජයේ නායකයන් නම් කරමින් ම චෝදනා එල්ල කරති. එක්තරා රාජ්‍ය පාක්ෂික දේශපාලනඥයෙක් හා පොලිස්පතිවරයා අතර ඇති වූ බවට මහත් ආන්ලෝදනයකට ලක් වූ දුරකථන සංවාදය සමාජගත වී තිබෙන්නේ වත්මන් රජයට අවාසිදායක අයුරිනි. කෙනෙක් අත්අඩංගුවට ගැනීම හෝ නොගැනීම රාජ්‍ය හස්තයක් මගින් තීරණය වන බවක් එමගින් සමාජගත වී තිබේ. එසේ නම් ස්වාධීන කොමිසම්වලින් පලක් නොවේ. නැවත සිදු වෙමින් පවතින්නේ පැරණි පිළිවෙතමය. එහෙම වෙන්නේ ඇයි ? සමහර නඩු දිගින් දිගටම ඇදෙන්නේ ද, කඩිනමින් අදාළ නඩු අවසන් කිරීමේ විශේෂ අධිකරණ හෝ ඒ සඳහා වෙන් වූ අධිකරණ මෙතෙක් පිහිටුවා නැත්තේ ඇයි ද යන ප්‍රශ්නයටද පිළිතුරක් නොමැත.

මේ අතර ඊයේ පෙරේදා අමාත්‍ය මහින්ද අමරවීර මහතා වත්මන් රජය පිහිටුවා ගැනීමේ පරමාර්ථය සම්බන්ධයෙන් රටට පැහැදිලි කර තිබුණි.

“ජාතික ආණ්ඩුව නිර්මාණය කළේ උඹේ හොරකම් රකින්නම් මගේ හොරකම් උඹ රැකපන් කියන ප්‍රතිපත්තියෙන් නොවෙයි. (31.12.2016 දිනමිණ)” මහින්ද අමරවීර අමාත්‍යවරයා පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීන්දුවක් මත මේ ආණ්ඩුවට සම්බන්ධ වූ ඇමැතිවරයෙකි. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දි පවා ඔහු තරග වැදුණේ එක්සත් ජාතික පක්ෂය ට එරෙහිවය. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රජයක් වෙනුවෙනි. එවන් දේශපාලනඥයෙක් පවා බොහොම නිවැරැදිව තම ප්‍රතිපත්තිය ඉදිරිපත් කරන විට යහපාලන වෙනුවෙන් දූෂිතයන් නීතියේ රැහැනට හසු කර ගන්නා බවට දිවුරා පොරොන්දු වූ මේ යහපාලන ආණ්ඩුවේ අය පසුබසින්නේ මන්ද යන ප්‍රශ්නය ජනතාව තුළ පැන නගී. උඹේ හොරකම් මම රකින්නම් පිළිවෙත මතු වී තිබෙන්නේ මගේ හොරකම් ද මතු වී තිබෙන නිසා දැයි කියන්න දන්නේ නැත.

තීරණාත්මක 2017

එහෙත් පසුගිය දෙවසර තුළ ජාත්‍යන්තර තලයේ රජය අත්පත් කරගෙන තිබෙන ජයග්‍රහණ කැපී පෙනේ. විශේෂයෙන්ම ජීනිවා මානව හිමිකම් කවුන්සලය මගින් කොටු කරනු ලැබ තිබු වටා පිටාව වෙනස් වී ඇත. ආර්ථික සම්බාධක භීතිකාව පහව ගොසිනි. දැනටමත් යුරෝපා මත්ස්‍ය තහනම ඉවත්ව තිබේ. ජී.එස්.පී. සහනය ලැබීමට ආසන්න බවක් පැවසේ. ආර්ථික සම්බාධක පැනවීමට පෙර සිට ම ජී.එස්.පී. බදු සහනය හා යුරෝපා මත්ස්‍ය තහනම මගින් අපේ අපනයනය ආදායම කඩා වැටෙන තත්ත්වයකට පත්ව තිබුණි. පසුගිය දෙවසර තුළ එය නැවත යහපත් අතට හැරෙමින් පවතී. එහෙත් ඒ ගමන සිදුවෙමින් පවතින්නේ සෙමෙන් සෙමින් බව පෙනේ. වත්මන් යුරෝපයේ පවතින අස්ථාවරත්වය ද මෙයට හේතුවක් විය හැකි ය. කෙසේ නමුත් මීට දෙවසරකට පෙර පැවැති තත්ත්වයට වඩා වර්තමානය බෙහෙවින් ඉදිරිගාමීය.

මේ වන විට රජය තුළ ද විවිධ මත ගැටුම් හට ගෙන තිබේ. එය සැඟවිය යුතු කරුණක් නොවේ. එකිනෙකට ප්‍රතිවිරුද්ධ දේශපාලන ධාරාවන් දෙකක් එකට ආණ්ඩු කිරීමේ දී මේ තත්ත්වය ස්වාභාවිකය. එහෙත් එය 2017 වසර තුළ ද දිගින් දිගටම පැවැතිය යුතු නොවේ. එසේ වන්නේ නම් රට තුළ අස්ථාවරත්වයක් නිර්මාණය වේ. විශේෂයෙන් ම ආර්ථික ක්ෂේත්‍රයේ ප්‍රශ්නයක් තිබේ. එය ජන ජිවිතයට කරනු ලබන බලපෑම ක්‍රමයක් වැඩි වෙමින් පවතී.

මේ නිසා සාකච්ඡාවෙන් සම්මන්ත්‍රණයෙන් හා අභ්‍යන්තර සංවාද හා පැහැදිලි කර ගැනීම් මගින් මේ තත්ත්වයට විසඳුම් සොයා ගත යුතු වේ.

එක් පාර්ශ්වයක හෝ කීප දෙනෙකුගේ උද්ධච්ච තනි තීරණ පවතින ප්‍රශ්නවලට විසඳුම් නොවේ. මේ නිසා 2017 වසර යහපාලන රජයට තීරණාත්මකය. ඒ සම්බන්ධයෙන් අවබෝධයකින් යුතුව ආණ්ඩු කිරීම යහපත් ය.


නව අදහස දක්වන්න