රටේ සංවර්ධනයට මාර්ග සංඥාවක්

දුමින්ද සම්පත්

රටේ මූල්‍ය බලය සතුවන්නේ පාර්ලිමේන්තුවටය. මේ නිසා පළාත් සභාවල වගකීම වන්නේ මධ්‍යම ආණ්ඩුව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමය. පළාත් සභා සහ මධ්‍යම රජය අතර ගැටුමක් ඇතිවන්නේ නම් එහි අවසන් ප්‍රතිඵලය අදාළ පළාත් සභා බලප්‍රදේශයේ ජනතාවට සංවර්ධනයේ ප්‍රතිලාභ අත්නොවීමය. ඊට දායක වන්නේ පළාත්සභා බලධාරීන් නම්, ඔවුන් ඊට වගකිවයුතුවේ. උද්ගතවන හා උද්ගතවන්නට හැකි කාරණා පිළිබඳව පුළුල් කථිකාවක් පළමුව ඇතිකර ගැනීම වැදගත් වන්නේ එහෙයිනි.

ආණ්ඩුව විසින් ගෙනඑන ලද සංවර්ධනය පිළිබඳ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතට පළාත් සභාවලින් විරුද්ධත්වය ප්‍රකාශවෙමින් තිබේ. එමෙන්ම ඒ පිළිබඳ විවිධ මතවාද විවිධ පාර්ශවවලින් පළවෙමින් තිබේ. ඒ අනුව මූලිකවම මෙවැනි පනත් රටට අවශ්‍ය ද යන්නත් එහි වටිනාකම කුමක් ද යන්නත් විමසා බැලීම කාලීන අවශ්‍යතාවකි.

පළාත් සභා සහ මධ්‍යම රජය එකඟවී සංවර්ධන කටයුතු කඩිනම් කිරීම, පනත ගෙන ඒමේ අරමුණ වන්නේ නම් එය කළ යුතුය. එවැනි පනතක් රටේ සංවර්ධනයට අත්‍යවශ්‍යව තිබේ.

ජාතික සංවර්ධනය මූලිකකර වැඩකළ ඉතිහාසයක් රට තුළ පෙනෙන්නට නැත. සිදුකළ සංවර්ධන ව්‍යාපෘති අවිධිමත්ය. නගර සැලසුම් ද ක්‍රමවත් නැත. මේ හේතුව නිසා බොහෝදෙනකු පීඩාවන්ට පත්ව සිටී.

කාලයෙන් කාලයට පත්වන දේශපාලකයින් ඔවුන්ට සිතැඟි පරිදි තම ප්‍රදේශ මහජන මුදලින් සංවර්ධනය කරගත්හ. රටේ ජාතික සංවර්ධනයට අවශ්‍ය දෑ අවශ්‍ය ස්ථානවල ස්ථානගත නොවී ඇත්තේ මේ හේතුවෙනි.

මෙකී සංවර්ධනයේදී මුදල්, ශ්‍රමය මෙන්ම ජාතික සම්පත් ද විනාශවුණි. පාරේ ඉදිකළ විදුලි කණු ගලවන්නේ නැතිව පාර කාපට් කර තිබේ. විදුලි කණුව ගලවන්නට කාපට් පාර නැවත කැඩිය යුතුය. කාපට් කළ පාර කඩා විදුලි රැහැන්, දුරකථන රැහැන් පද්ධති සහ ජලනළ යෙදීම ද සුලභව දක්නට ඇත. මෙවැනි කාරනා නිසා රටට ලැබෙන මුදල් සංවර්ධනයට වඩා නාස්තියට යොමුවී තිබේ.

රටට ගලා ආ විදේශ ආයෝජන හා ආධාර මුදල් විනාශවූ බවට හොඳම නිදසුන සුනාමි ඛේදවාචක අවස්ථාවය. මෙහිදී රටට පැමිණි මුදල් හා සම්පත් නිසි ලෙස කළමනාකරණය කිරීමේ යාන්ත්‍රණයක් තිබුණේ නැත. විශාල ආයෝජන කරන්නට රටට පැමිණි පිරිස්වලට තම මුදල් මෙරට ආයෝජනය කරන්නට අවස්ථාවක් ලැබුණේ නැත. එසේ සිදුවූයේ රටේ මූල්‍ය නීතිවල තිබූ ගැටලු හේතුවෙනි.

අපේ මූල්‍ය රෙගුලාසි සංග්‍රහය පසුගාමී පැරැණි නීතිරීතිවලින් සැදුනකි. ඒවා අලුත්වී නැත. අපේ ටෙන්ඩර් පටිපාටි අනුවද විදේශිය ආයෝජකයෙකුට නොව දේශීය කර්මාන්තකරුවෙකුට වුව ද, තම මුදල් යොදවා ව්‍යාපාරයක් ඇරඹීමට වසරක් දෙකක් හෝ ඊටත් වැඩි කාලයක් බලා ඉන්නට සිදුවේ.

හෙද පුහුණු ආයතනයක් අරඹන්නට ආණ්ඩුව 2015 වසරේ අය-වැයෙන් රුපියල් බිලියන 2.5ක් වෙන් කළ නමුත් ඊට මුල්ගල තබාගන්නටවත් තවම නොහැකිවී ඇත. ව්‍යාපෘතියේ වගකීම නිලධාරින් ‍මතට නොපවරා අපද දායකත්වය ලබාදුන්න ද ව්‍යාපෘතිය ආරම්භ කරගත නොහැකි වී ඇත්තේ රටේ පවතින නීතිරීති පද්ධතියේ දුර්වලතා නිසාය. මෙකී ව්‍යාපෘතියට අදාළව තවමත් සිදුකර ඇත්තේ ටෙන්ඩර් කැඳවීම පමණකි. එහි ක්‍රියාවලිය ද ඉතා සංකීර්ණ එකකි.

විදේශ ආයෝජකයනට මෙරටට පැමිණ ව්‍යාපෘතියකට මුල්ගල තබන්නට පමණක් වසර 2ක් බලාසිටින්නට සිදුවේනම් කිසිවෙකු ඊට කැමති වන්නේ නැත.

රටේ සංවර්ධනයට ඇති මූල්‍ය හා වෙනත් බාධක කඩිනමින් ඉවත් නොකළහොත්, ජාතික සංවර්ධනයක් ගැන කථා කිරීමට ඉඩ නොලැබෙනු ඇත. රටට පැමිණි ආයෝජකයන් බොහෝදෙනකු පසුගිය කාලයේ ආපසු හැරීගොස් තිබේ. මූල්‍ය නීතිවල අකාර්යක්ෂමතාව මෙන්ම දේශපාලකයින් සංවර්ධන ව්‍යාපෘතීන්ගෙන් කොමිස් මුදල් ඉල්ලාසිටීම ඊට හේතුවී ඇත.

දේශපාලකයින් තමන්ට කැමති ප්‍රදේශවලට සංවර්ධන ව්‍යාපෘතීන් ගෙනයාමට උත්සාහ දරයි. එම ස්ථානයේ ව්‍යාපෘතිය නොකරන්නේනම් ව්‍යාපෘතිය කරන්නට ඉඩ නොලැබේ. එතැනින් නොනවතින ඔවුන් ව්‍යාපෘතිය කිරීමට ඔවුන්ගේ ගෝලබාලයින් හවුල්කර ගැනීමට ද බලකරති. මෙරට පවතින්නේ ගෝලබාලයිනට අදාළ ව්‍යාපෘතියෙන් කොමිස් මුදල් ලබාදීමට ද සිදුවන ආකාරයේ අගතිගාමී උප‍ සංස්කෘතියකි. මේ තත්ත්වය තුළ මෙරට ආයෝජනයට ආයෝජකයන් කැමති නැත. මෙකී බාධා ඉවත්කරන්නට යම් ප්‍රවිශ්ටයක් අවශ්‍ය වන්නේ එබැවිනි. මේ පනත ගෙනඑන්නේ ඒ සඳහා නම් අප ඊට එකඟය.

අපේ සමහර පළාත් සභා ඉතාම දුර්වලය. ඌව පළාත්සභාව පවතින්නේ දරිද්‍රතාවයේ උපරිම මට්ටමේය. එවැනි පළාත්වල සංවර්ධනය ශීඝ්‍රයෙන් සිදුවිය යුතුවේ. මේ සඳහා අලුත් නීතිරෙගුලාසි අවශ්‍යවේ.

මේ පනතට එල්ලවන ඒකාබද්ධ විපක්ෂයේ විරෝධය පැහැදිලිය. ආණ්ඩුව ගෙනඑන ඉතා හොඳ යෝජනාවකට වුවද ඔවුන් සම්ප්‍රධායිකව විරුද්ධය. එයට පුදුම විය යුතුද නැත. ඔවුන්ගේ බලාපොරොත්තුව ආණ්ඩු විරෝධී මත ගොඩනඟමින් රට තුළ අරාජිකත්වයක් ගොඩනැගීමය. ඒ සඳහා ඔවුහු ජාතිවාදය මෙන්ම ආගමික අන්තවාදය ද ප්‍රයෝජනයට ‍ගනිති. පැහැදිලි ලෙසම ඔවුන් ජනතා විරෝධී කණ්ඩායමකි.

පළාත් සභා පනතට විරෝධය පාන්නේ පළාත් සභා සතු බලය මධ්‍යම ආණ්ඩුව උදුරා ගැනීමක් පනත හරහා සිදුවන බව පවසමිනි. අගමැතිවරයා පළාත් සභා මහ ඇමතිවරුන් සමඟ පනත පිළිබඳව සාකච්ඡා කළේය. ඉන්පසුව ද පළාත් සභා විසින් පනත පරාජයට පත්කරනු ලැබිණ.

මෙවැනි පනතක් ගෙනඒමේදී ආණ්ඩුක්‍රම සං‍ශෝධන අනුව නීතිරීති අනුවත් පළාත් සභා මතය පළමුව විමසියයුතුව තිබේ. පළාත් සභා ඊට විරුද්ධ වන්නේනම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයකින් පනත සම්මත කළ හැකිය. පළාත් සභා එකඟනම් සරල බහුතරයකින් එය සම්මත කරගත හැකිය. මේ පනත් කෙටුම්පත ගෙනඒමට පෙර පළාත් සභා සමඟ සාකච්ඡාකර නැත. පළාත් සභා නවයක් අමතකකොට රටේ සංවර්ධනයක් ගැන සිතිය නොහැකිය.

රටේ පවතින දේශපාලනික තත්ත්වය ගැනද අප මෙහිදී සැලකිළිමත් විය යුතුය. පළාත් සභා දෙකක හැර අනෙක් ඒවායේ බලය ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ය. එනිසා පනත් කෙටුම්පත පිළිබඳව පළාත් සභා සමඟ අනිවාර්යයෙන් සාකච්ඡා කළ යුතුව තිබුණි. එසේ සාකච්ඡාකොට ගෙන ආවේ නම් ඊට විරුද්ධවීමට ඔවුනට නොහැකිය. පනත් කෙටුම්පත ගෙනඒමට පෙර රට තුළ ද මීට වඩා වැඩි සංවාදයක් ඇතිවිය යුතුව තිබුණි. ඊට අවකාශ නොලැබීම ද දුර්වලතාවකි.

රටට කෙතරම් හොඳ දෙයක් ආණ්ඩුව ගෙනආව ද ඊට විරුද්ධවන පිරිසක් සිටිති. ඔවුන් හැමවිටම ආණ්ඩුවේ කටයුතු දෙස බලන්නේ සැකයෙනි. ඇතැම් ජනමාධ්‍ය ආයතන මෙවැනි කරුණු පිළිබඳ පුවත් පළකරන්නේ ද ජනතාව තුළ සැකය ඇතිවන ආකාරයට ය. සමහර සංවිධාන සහ දේශපාලන කණ්ඩායම් ද වැරදි මත ප්‍රචාරය කරමින් සිටී. මෙවැනි පරිසරයක ආණ්ඩුව සිය වැඩකටයුතුවලදී ඊට සරිලන ආකාරයට උපක්‍රමශීලීවීමට වගබලා ගත යුතුය. එවන් වැඩපිළිවෙළක් සකසාගන්නට යහපාලන ආණ්ඩුවට තවමත් හැකිවී නැත. තමන්ගේ වැඩපිළිවෙළ ජනතාව හමුවේ තැබීමේදී ආණ්ඩුව ඉතා දුර්වලය. ආණ්ඩුවට ඒ පිළිබඳව නිසි වැටහීමක් ද නැත. මෙවැනි ගැටලු පැනනැගීම නිරන්තරව සිදුවීමට හේතුව එයයි.

අගමැතිවරයා සමඟ පළාත් සභා මහ ඇමැතිවරුන් සාකච්ඡා කිරීමෙන් පසුත් පනත් කෙටුම්පත පරාජයටපත්කිරීම යනු දේශපාලන කාරණයකි. ආණ්ඩුවිරෝධී ක්‍රියාවකි. එවැනි ජනප්‍රිය දේශපාලනයකට නොයාම පක්ෂ දෙකෙහිම වගකිමයි. එවැනි තත්ත්වයකදී යහපාලන ආණ්ඩුවත් පළාත් සභාත් අනතුරට ලක්වී අවසානයේ රටම අනතුරට පත්වන බැවිනි.

රටේ මූල්‍ය බලය සතුවන්නේ පාර්ලිමේන්තුවටය. මේ නිසා පළාත් සභාවල වගකීම වන්නේ මධ්‍යම ආණ්ඩුව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමය. පළාත් සභා සහ මධ්‍යම රජය අතර ගැටුමක් ඇතිවන්නේ නම් එහි අවසන් ප්‍රතිඵලය අදාළ පළාත් සභා බලප්‍රදේශයේ ජනතාවට සංවර්ධනයේ ප්‍රතිලාභ අත්නොවීමය. ඊට දායක වන්නේ පළාත්සභා බලධාරීන් නම්, ඔවුන් ඊට වගකිවයුතුවේ. උද්ගතවන හා උද්ගතවන්නට හැකි කාරණා පිළිබඳව පුළුල් කථිකාවක් පළමුව ඇතිකර ගැනීම වැදගත් වන්නේ එහෙයිනි.

දැන් පනත්කෙටුම්පත ඉදිරිපත් කර අවසන්ය. එහෙයින් පළාත් සභා කළ යුතුව ඇත්තේ පනතෙහි අඩුපාඩු ඇත්නම් සාකච්ඡාකොට සංශෝධනය කර ගැනීමය‍.

රටේ පවතින මූල්‍ය රෙගුලාසි සහ නෛතික රාමුව ජාතික සංවර්ධනයට හා ආයෝජන ව්‍යාපෘති කඩිනම් කිරීමට බාධාවන් වී ඇති බව පළාත් සභා ද පිළිගත යුතුය. එකී බාධා ඉවත්කරගෙන සංවර්ධනය වේගවත් කරගන්නේ කෙසේද යන්න පිළිබඳ යහපාලන ආණ්ඩුවට එක්ව සිටින සියල්ලන්ම කල්පනා කළ යුතුය.

ඡන්දයක් පැමිණිවිට දේශපාලනික කාරණා පිළිබඳව අවධානය යොමුකළ හැකිය. එතෙක් දේශපාලනය‍ නොව රට ගැන හිතා වැඩකළ යුතුය. ජනතාව පැවති මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පරාජයකොට විශ්වාසයකින් යුතුව ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් රට භාරකළේ මෙකී කාරණා ඉටුකරවා ගැනීමටය.

පනත හරහා සුපිරි ඇමතිවරයකු බිහිවන බවට කථා පැතිරයමින් තිබේ. වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සෑම ඇමතිවරයකුටම සමාන බලතල තිබේ. විෂයයන් අනුව ඇමතිවරුන්ගේ ක්‍රියා පටිපාටීන් වෙනස්ය. විෂය ශක්තිමත් නම් ඔහු ශක්තිමත් ඇමැතිවරයෙකි. රැකියා වැඩිපුර දිය හැකිනම් ඔහු ද ශක්තිමත් ඇමතිවරයෙකි. වාර්ෂික ප්‍රතිපාදන වැඩිනම් ජනතාවට ඔහු විශේෂිත ඇමතිවරයෙකි.

මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුළතම ඉතිහාසයේ සුපිරි ඇමතිවරු සිටියේය. බැසිල් රාජපක්ෂ සුපිරි ඇමතිවරයෙකි. ඔහු සුපිරි වූයේ නීතිමය ප්‍රතිපාදන මත‍නොවේ. ජනාධිපතිවරයාත්, ආරක්ෂක ලේකම්වරයාත් ඔහුගේ සොහොයුරන් වීමනිසා ය. ඇමති මණ්ඩලයේ රාජපක්ෂවරුන් තව සිටියේ ය. බැසිල් රාජපක්ෂ සහෝදරයන්ගේද බලතල සහිතව සුපිරි බවක් ඉසිලුවේය. එම ආණ්ඩුවේ සංවර්ධන ව්‍යාපෘතී සියල්ල ක්‍රියාත්මක වූයේ ඔහු හරහා ය.

පනත මඟින් නීතිමය තත්ත්වයක් ඇතිකරන බැවින් ඉදිරියේදී එවැනි තත්ත්වයක් ඇතිවීමට ඇති ඉඩ ඇහිරීයනු ඇත. එවිට එකී නීතිමය තත්ත්වයේ වාසිය රටේ සියලු මැති ඇමතිවරුනට හිමිවේ.

ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීමට විදේශ ආයෝජන කඩිනමින් රටට ගෙනආ යුතුය. මලික් සමරවික්‍රම ආයෝජන ප්‍රවර්ධන ඇමතිවරයා මේ මොහොතේ ඉලක්ක වන්නේ මේ හේතුව නිසාය. ඔහුගේ විෂය කඩිනම් කර ගැනීම සඳහා වූ වැඩපිළිවෙළක් සැකසීම පනත් කෙටුම්පතේ අරමුණ වී ති‍බේ. එහිදී පිළිගත් නීතිමය රාමුවක් තුළ වැඩ කිරීමට ඔහුට ද සිදුවේ. මේ පනත සම්මත කළ ද මිනිසුන් කෙරෙහි රටේ පවතින පොදු නීතියට අනුව කටයුතු කිරීමට සියල්ලෝම බැඳී සිටිනු ඇත.රටේ රැකියා උත්පාදනය කඩිනම් කළයුතුය. ඒ සඳහා විදෙස් ආයෝජන වැදගත් වේ. ආයෝජකයන් ගෙනඒමට වඩාත් ප්‍රයෝජනවත් ලෙස මෙකී පනත සම්මත කර ගැනීම මේ ‍මොහොතේ පළාත් සභා සතු වගකීමකි. මධ්‍යම රජය ද පළාත් සභා ද රටේ ජනතාව ගැන සිතා වඩාත් යහපත් තීරණයකට පැමිණිය යුතුව ඇත.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...