ශ්‍රී ලංකාවට ලකුණු 507ක දැවැන්ත ඉලක්කයක් | දිනමිණ

ශ්‍රී ලංකාවට ලකුණු 507ක දැවැන්ත ඉලක්කයක්

 දකුණු අප්‍රිකාව සමග කේප් ටවුන් නුවර නිව් ලෑන්ඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 507ක දැවැන්ත ඉලක්කයක් හඹායන සංචාරක ශ්‍රී ලංකා පිල තෙවැනි දිනයට තරගය නතර කරනවිට කඩුලු 4ක් දැවී ලකුණු 130ක් රැස්කරගෙන සිටියේය.

කඩුලු 6ක් අතැතිව සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට තරගය ජය ගැනීම සඳහා තවත් ලකුණු 377ක් ලබාගත යුතුව තිබේ.

දිනය නිමාවනවිට ඉනිම ගොඩනැගීමේ සටනක නිරතවූ නායක ඇන්ජලෝ මැතිව්ස් පන්දු 50කදී හතරේ පහර 4ක් සමග ලකුණු 29ක් හා දිනේෂ් චන්දිමාල් ලකුණු 28ක් රැස්කරගෙන සිටියහ. ඔහුගේ ඉනිමට පන්දු 48කදී හතරේ පහර 3ක් ඇතුළත් විය. දෙදෙනා අතර 5වැනි කඩුල්ලට ගොඩනැගූ නොබිදුණු සබඳතාව ලකුණු 61කි.

සාර්ථක පන්දු යැවීමක නිරත වෙමින් සුරංග ලක්මාල් ලකුණු 69කට කඩුලු 4ක් දවා ගත්තද ආරම්භක පිතිකරු ඩීන් එල්ගාර් වාර්තා කළ අර්ධ ශතකය හේතුවෙන් දෙවැනි ඉනිමට ලකුණු 224ක් රැස්කළ දකුණු අප්‍රිකානුවෝ කඩුලු 7ක් දැවී තිබියදී දෙවැනි ඉනිම අත්හිටුවීමට තීරණය කළේ ශ්‍රී ලංකා පිලට ලකුණු 507ක දැවැන්ත ජයග්‍රාහී ඉලක්කයක් ලබා දෙමිනි.

තේ පානයට ඕවර 8ක් තිබියදී එම ඉලක්කය හඹායෑම ඇරැඹු ශ්‍රී ලංකා පිලේ පළමු කඩුල්ල ලකුණු 11ක් වෙද්දී බිඳ වැටුණේ වර්නන් ෆිලෙන්ඩර්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් දිමුත් කරුණාරත්න (6) දැවී යෑමෙනි. තේ පානය වනවිට ලකුණු 17ක් ලබාසිටි ශ්‍රී ලංකා පිලට ඉන් අනතුරුව යැවූ දෙවැනි ඕවරයෙන් තවත් කඩුල්ලක් අහිමිකරමින් කුසල් මෙන්ඩිස්ගේ ඉනිමද ලකුණු 4කට සීමා කිරීමට යළි ක්‍රියාත්මක වූ ෆිලෙන්ඩර්ට හැකි විය.

අනතුරුව කෞෂාල් සිල්වා සමගින් එක්වූ ධනංජය ද සිල්වා ප්‍රවේසම් සහගතව ඉනිම දියත් කළද ලකුණු 3ක් තුළ ඔවුන් දෙදෙනාම පිටියෙන් ඉවත් කිරීමට කගීසෝ රබාඩා සමත් විය. පන්දු 70කදී හතරේ පහර 2ක් සමගින් ලකුණු 29ක් ලබාසිටි කෞෂාල් සිල්වා, ස්ටීවන් කුක්ගේ උඩ පන්දු රැකීම හමුවේ දැවී ගිය අතර ධනංජය දැවී ගියේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වෙමිනි. පන්දු 42කට මුහුණදුන් ඔහු හතරේ පහර 2ක් සමගින් ලකුණු 22ක් වාර්තා කළේය.

දෙවැනි ඉනිමට කිසිවකු නොදැවී ලකුණු 35ක් රැස්කරමින් ලකුණු 282ක් ඉදිරියේ සිටිමින් පෙරේදා දිනය නතර කළ දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකරු යුගලයට ඊයේ දිනයේදී තවත් එක්කර ගත හැකිවූයේ ලකුණු 29ක් පමණි. ඉනිමේ 20 වැනි ඕවරයේ පළමු පන්දුවෙන් ස්ටීවන් කුක් (30) දවා ගැනීමට සුරංග ලක්මාල් සමත් විය. පළමු ස්ලිප් ස්ථානයේ පන්දු රකිමින් සිටි දිමුත් කරුණාරත්න උඩ පන්දුවක් රැක ගන්නා විට ඔහුට ඊයේ දිනයේ එක්කර ගත හැකිවූයේ තවත් ලකුණු 5ක් පමණි. අනතුරුව පිටියට පිවිසි හසීම් අම්ලා ලකුණු ලබා ගැනීමට පෙර එම ඕවරයේම (20) අවසන් පන්දුවෙන් යලි ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට ලක්මාල්ට හැකි විය. එවර කඩුලු රකින දිනේෂ් චන්දිමාල්ගේ සහය ලක්මාල්ට ලැබිණි.

පළමු ඉනිමේදී ලකුණු 129ක් රැස්කළ එල්ගාර් දෙවැනි ඉනිමේදී පන්දු 91කින් හතරේ පහර 7ක් සමගින් ලකුණු 55ක් ලබාසිටියදී දැවී ගියේ රංගන හේරත්ගේ පන්දුවකට ඇන්ජලෝ මැතිව්ස් උඩ පන්දුවක් රැක ගැනීමෙනි.

ලක්මාල් යැවූ ඉනිමේ 38වැනි ඕවරයේ 5වැනි පන්දුවට ලකුණු 30ක් ලබාසිටි ජේ.පී.දුමිනි කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී යෑමත් සමග තරගය දිවා විවේකය සඳහා නතර කෙරිණි. නායක ෆ‍ෆ් ඩුප්ලෙසිස් නොදැවී ලකුණු 20ක් රැස්කර තිබිණි.

දිවා විවේකය වනවිට ලකුණු 418ක් ඉදිරියෙන් සිටි දකුණු අප්‍රිකාව ලකුණු 500 සීමාව පසු කිරීමෙන් අනතුරුව ඉනිම අත්හිටුවීමට තීරණයක කළේ සවස තේ පානයට ඕවර 8ක් ඉතිරිව තිබියදීය. දිවා විවේකයට වනවිට කඩුලු 4ක් අහිමිව ලකුණු 136ක් ලබාසිටි ඔවුන් වේගය වැඩි කරමින් ලකුණු 88ක් රැස් කර ගන්නා අතරතුර කඩුලු 3ක් අහිමි විය. දිවා විවේකයෙන් අනතුරුව යැවූ පළමු ඕවරයෙන්ම ටෙම්බා බවුමා දුවද්දී දැවී යෑමට හසුකර ගැනීම ධනංජය ද සිල්වා සමත්වූ අතර නායක ෆෆ් ඩුප්ලෙසිස් ලකුණු 41කට 6වැනි කඩුල්ල ලෙස දැවී ගියේ සුරංග ලක්මාල්ට සිවුවැනි කඩුල්ල හිමිකර දෙමිනි. පළමු ඉනිමේ ශතකයක් රැස්කළ ක්වින්ටන් ඩි කොක්ගේ ඉනිම මුළු ලකුණු 192දී නිමා කිරීමට ළහිරු කුමාර සමත් වූයේ ලකුණු 29ක දීය. ඉනිම අත්හිටුවන විට කේෂාව් මහරාජ් ලකුණු 20ක් හා වර්නන් ෆිලෙන්ඩර් ලකුණු 15ක් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.

පන්දු යැවීමේදී සුරංග ලක්මාල් කඩුලු 4ක් දවා ගත්තේය.

අද තරගයේ සිවුවැනි දිනයයි.

නව අදහස දක්වන්න