ලකුණු 282කින් ශ්‍රී ලංකාව පරාදයි - update

කගීසෝ රබාඩාගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ අසරණවූ ශ්‍රී ලංකා පිතිකරුවෝ දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් නුවර නිව් ලෑන්ඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේදී ලකුණු 224කට දැවී ගියේ සත්කාරකයන්ට ලකුණු 282ක ජයක් හිමිකර දෙමිනි.

මේ සමග තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස වේලාසනින්ම ජය ගැනීමට සත්කාරකයන් සමත් වූයේ තරගයක් ඉතිරිව තිබියදීය.

ලකුණු 130කට කඩුලු 4ක් බිඳ වැටී තිබියදී ඊයේ තරගයේ සිවුවැනි දිනය ඇරැඹු ශ්‍රී ලංකා පිලේ අවසන් කඩුලු 6 දිවා විවේකයට පෙර බිඳ දැමූ දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ ලබාදුන්නේ ලකුණු 94ක් පමණි.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිම සුණුවිසුණු කර දැමූ කගීසෝ රබඩා තරගයේ වීරයා වෙමින් ලකුණු 55කට කඩුලු 6ක් දවාගත් අතර ඔහුට අනගි සහයක් ලබාදුන් වර්නන් ෆිලෙන්ඩර් කඩුලු 3ක් බිඳ දැමුවේය.

පෙරේදා දිනයේ ශ්‍රී ලංකා බලාපොරොත්තු ඉහළ දමමින් 5වැනි කඩුල්ලට ලකුණු 61ක් කරමින් නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ හා උප නායක දිනේෂ් චන්දිමාල් ගොඩනගා තිබූ සබඳතාව ඊයේ යැවූ 6වැනි ඕවරයේ පළමු පන්දුවෙන් නවතා දැමීමට රබාඩා සමත්වූයේ චන්දිමාල් දවා ගැනීමෙනි. ඔවුන් දෙදෙනාට තවත් එක්කළ හැකිවූයේ ලකුණු 14ක් පමණි. ලකුණු 30ක් ලබාසිටි චන්දිමාල්, ස්ටීවන් කුක් උඩ පන්දුවක් රැක ගැනීමෙන් දැවී ගියේය.

අනතුරුව පිටියට පිවිසි උපුල් තරංග එම ඕවරයේදී හතරේ පහර 3ක් එල්ල කරමින් ලකුණු 12ක් රැස්කර ගත්තද රබාඩා යැවූ ඊලග ඕවරයෙන් තරංග හා මැතිව්ස් දෙදෙනාටම යළි ක්‍රීඩාගාරය කරා යෑමට සිදු වූයේ කඩුලු රකින ක්‍රීඩක ක්වින්ටන් ඩි කොක් උඩ පන්දු රැක ගැනීමෙනි. අර්ධ ශතකයට ලකුණක් පසුපිසන් සිටි මැතිව්ස් (49) පන්දු 82කදී හතරේ පහර 8ක් ඉනිමට එක්කරගෙන තිබිණි.

යළි ක්‍රියාත්මකවූ රබාඩා 52වැනි ඕවරයේදී සුරංග ලක්මාල් දවාගත්තේ 6වැනි කඩුල්ල සටහන් කරමිනි. 13වැනි ටෙස්ට් තරගයට එක්වූ රබාඩා ඉනිමකදී කඩුලු 5කට වැඩියෙන් දවාගත් 5වැනි අවස්ථාව සටහන් කර ගත්තේය. පළමු ඉනිමේ කඩුලු 4ක් දවාගත් රබාඩා මේ තරගය තුළ ලකුණු 92කට කඩුලු 10ක් බිඳ දමමින් ශ්‍රී ලංකාවට එරෙහිව එවැනි දස්කමක් දැක්වූ දෙවැනි දකුණු අප්‍රිකානු පන්දු යවන්නා ලෙස වාර්තා පොතට එක් විය. මින් පෙර 2011 වසරේ ඩර්බන්හිදී වර්නන් ෆිලෙන්ඩර් ලකුණු 102කට කඩුලු 10ක් දවාගෙන තිබිණි.

8වැනි කඩුල්ල ලකුණු 178දී බිඳ වැටුණු අතර රංගන හේරතට එක්වූ ළහිරු කුමාර 9වැනි කඩුල්ලට ලකුණු 33ක් එක්කරමින් දකුණු අප්‍රිකානු ජය ප්‍රමාද කළේය.

එහෙත් කේෂාව් මහරාජ් හා ෆිලෙන්ඩර් එක්ව අවසන් කඩුලු 2 බිඳ දමමින් දකුණු අප්‍රිකාවේ ජය තහවුරු කළහ. ළහිරු ලකුණු 9කට මහරාජ්ගේ පන්දුවක් හමුවේ ස්ටම්ප් කිරීමට හසුවූ අතර නුවන් ප්‍රදීප් (5) ෆිලෙන්ඩර්ගේ පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී ගියේය. ඉනිම නිමාවනවිට නොදැවී ක්‍රීඩා කරමින් සිටි රංගන හේරත් හතරේ පහර 4ක් සමගින් පන්දු 45කින් නොදැවී ලකුණු 35ක් රැස්කරගෙන සිටියේය.

පෙරේදා තරගයේ තේ පානයට ඕවර 8ක් තිබියදී ලකුණු 507ක ඉලක්කය හඹායෑම ඇරැඹු ශ්‍රී ලංකා පිලේ පළමු කඩුල්ල ලකුණු 11ක් වෙද්දී බිඳ වැටුණේ දිමුත් කරුණාරත්න (6) දැවී යෑමෙනි. තේ පානයෙන් අනතුරුව යැවූ දෙවැනි ඕවරයෙන් කුසල් මෙන්ඩිස්ගේ ඉනිමද ලකුණු 4කට සීමා විය. ඔවුන් දෙදෙනාම දවා ගත්තේ වර්නන් ෆිලෙන්ඩර් විසිනි.

අනතුරුව කෞෂාල් සිල්වා සමගින් එක්වූ ධනංජය ද සිල්වා ගොඩනැගූ ලකුණු 41ක සබඳතාව බිඳ දැමූ කගීසේ රබාඩා එම පිතිකරුවන් දෙදෙනාම යළි ක්‍රීඩාගාරයට හරවා යැවුවේය. කෞෂාල් සිල්වා ලකුණු 29ක් රැස්කළ අතර ධනංජය රැස්කළේ ලකුණු 22ක් පමණි. දෙපිල අතර තෙවැනි හා අවසන් ටෙස්ට් තරගය මේ මස 12වැනිදා ජොහැන්නස්බර්ග් හිදී ආරම්භ වෙයි. 

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...