ලංකා විදුලිබල මණ්ඩලයෙන් වසර 61ක් පුරා ශ්‍රීපාදයට නොමිලේ විදුලිය | දිනමිණ

ලංකා විදුලිබල මණ්ඩලයෙන් වසර 61ක් පුරා ශ්‍රීපාදයට නොමිලේ විදුලිය

මස්කෙළිය සමූහ ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක

ලංකා විදුලිබල මණ්ඩලය මගින් දැනට වසර 61 ක කාලයක සිට ශ්‍රීපාද වන්දනා සමයේදී, ශ්‍රීපාදස්ථානයට විදුලිබල පහසුකම් නොමිලේ ලබාදී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ, මස්කෙළිය විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ විදුලි අධිකාරි අරෝෂ නිලන්ත මහතා පවසයි.

නල්ලතන්නිය-ශ්‍රීපාද මාර්ගයේ, නල්ලතන්නිය නගරයේ සිට ශ්‍රීපාදස්ථානය දක්වාත්, රත්නපුර-කුරුවිට මාර්ගයේ කුරුවිට සිට ශ්‍රීපාද උඩ මළුව දක්වාත් ලංකා විදුලිබල මණ්ඩලය මගින් 1956 වර්ෂයේ සිට මේ දක්වා වසර 61 ක් අඛණ්ඩව මෙසේ නොමිලේ විදුලිබල පහසුකම් ලබාදී ඇති බව පවසයි.

නල්ලතන්නිය-ශ්‍රීපාද මාර්ගයේ හා කුරුවිට, රත්නපුර-ශ්‍රීපාද මාර්ගයේ පිහිටි පොලිස්ථාන ඇතුලු සියලුම රාජ්‍ය ආයතන සඳහාද ශ්‍රීපාද වන්දනා සමයේදී විදුලිබල මණ්ඩලය මගින් නොමිලේ විදුලිබලය ලබාදීම සිදු කෙරේ.

ලක්ෂපාන ජල විදුලි බලාගාර සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු කරගෙන යද්දී බලාගාරයට අදාළ උමගක්, නෝටන්බ්‍රීජ් ප්‍රදේශයේදී කඩාවැටී එහි සේවය කරමින් සිටි කම්කරුවන් ඇතුළු නිලධාරීන් පිරිසක් ඉතා අනුවේදනීය ලෙස මිය ගොස් ඇත. එම හදිසි අනතුරත් සමග උමං මාර්ගයේ ඉදිකිරීම් කටයුතු අතරමග නවතා ඇත. ඉදිකිරීම් කටයුතු අවසන්වන තෙක් කිසිදු සේවකයෙකුට අනතුරක් සිදු නොවී ජල විදුලි බලාගාරයේ කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාම සදහා ඉදිකිරීම් භාර සමාගම විසින් ශ්‍රී සුමන සමන් දෙවියන්ගේ පිහිට හා ආරක්ෂාව ඉල්ලා භාරයක් වී ඇත්තේ, විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු අවසන්වීමෙන් පසුව නිෂ්පාදනය කරන ප්‍රථම විදුලිය, ශ්‍රීපාදස්ථානයට නොමිලේ සැපයීමට පොරොන්දු වෙමිනි.

සමන් දෙවියන්ට එසේ බාර හාර වීමෙන් පසුව ලක්ෂපාන ජල විදුලිබලාගාර සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතුවලදී කිසිදු අනතුරක් සිදු නොවූ බවත්, එම බාරය වූ පරිදි විදුලිබල මණ්ඩලය මගින් අද දක්වා ශ්‍රීපාදස්ථානයට විදුලි බලය නොමිලේ සැපයීම සිදුකරගෙන එමින් පවතින බවත්කීය..

විදුලිබල මණ්ඩලයේ මධ්‍යම පළාත් භාර නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එම්.ආර්.රණතුංග මහතාගේ හා සබරගමුව පළාත භාර නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි වරයාගේ අධීක්ෂණය මත, ගිනිගත්හේන ප්‍රාදේශිය විදුලි ඉංජිනේරු ඩී.එම්.ඩබ්.පී.එම්.දිසානායක මහතාගේ හා රත්නපුර ප්‍රාදේශිය විදුලි ඉංජිනේරුවරයාගේ උපදෙස් මත, මස්කෙළිය, කුරුවිට හා රත්නපුර විදුලි අධිකාරි වරුන්ගේ මෙහෙයවීමෙන් ශ්‍රීපාද වන්දනා සමයේදී දිවා රාත්‍රී විදුලිය බිද වැටීමකින් තොරව ශ්‍රීපාදස්ථානයට විදුලිය සැපයීම සිදු කෙරෙන බව විදුලි අධිකාරී අරෝෂ නිලන්ත මහතා වැඩිදුරටත් පැවසීය. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...