හම්බන්තොට වරාය බදු දීමෙන් රැකියා ප්‍රශ්නය විසඳාගත හැකියි | දිනමිණ

හම්බන්තොට වරාය බදු දීමෙන් රැකියා ප්‍රශ්නය විසඳාගත හැකියි

 තිලක් පුෂ්පකුමාර සේනානායක

විදේශ රටකට හම්බන්තොට වරාය බද්දක් වශයෙන් දීමෙන් රටේ රැකියා ප්‍රශ්නය විසඳාගත යුතුව ඇතැයි මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානාහිමියෝ පැවසූහ.

උන්වහන්සේ එසේ සඳහන් කළේ හිටපු කථානායක චමල් රාජපක්ෂ, හිටපු ඇමැති ඩලස් ‍අලහප්පෙරුම, හිටපු අමාත්‍ය සී.බී. රත්නායක යන මහත්වරුන් ඇතුළු මහාසංඝරත්නයේ පිරිසක් මල්වතු මහනාහිමියන් බැහැ දැකීමට (03)දා නිල ආරාමයට පැමිණි අවස්ථාවේදීය.

එහිදී මල්වතු මහා නාහිමියෝ මෙසේද පැවසූහ.

ගිවිසුමකට සම්පූර්ණයෙන් විරුද්ධ වෙන එක නොවෙයි ප්‍රදේශයේ ජනතාවට යහපතක් වීම ගැන බැලිය යුතුයි. ඔබතුමාලා කියා තිබුණා මේක අපි කරපු වරදක් කියලා. හම්බන්තොට ප්‍රදේශයේ ජනතාව ගැන බැලුවේ නැහැ කියලා. අද හම්බන්තොට කතරගම ප්‍රදේශවල ජනතාව වතුර නැතිව දුක් විඳිනවා. පානීය ජල ප්‍රශ්නය මේ ප්‍රදේශවල උග්‍රයි. ගිවිසුමක් අත්සන් කරන්නේ නම් එය සැවොම දැනගත යුතුයි. මේ රටේ පාලම් නැති ප්‍රදේශ ජලය නැති ප්‍රදේශ ගැන සිරස ආයතනය මඟින් හෙළිදරව් කරනවා. මේවාට විසඳුම් සෙවිය යුතුයි. කතරගම යන කොට මිනිස්සු ජලය නැතිව දුෂ්කරතා විඳින අයුරු පේනවා.

හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා

හම්බන්තොට ජලාශ කීපයක් ඉතිරි වෙලා තිබෙනවා. වෙහෙරගල ජලාශය තියෙනවා. අද හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාව අවිනිශ්චිත තත්ත්වයකට පත්වෙලා හම්බන්තොට වරාය හා අක්කර 15000ක් චීන සමාගමකට දෙන්න යාම පිළිබඳව. මේ සම්බන්ධව අත්සන් කරන ගිවිසුම රටට ජනතාවට හෙළි කරන්න ඕන. අපි මීට පෙර ගිවිසුමක් අත්සන් කළා. මෙහිදී මල්වතු මහ නාහිමියන් එම ගිවිසුමට පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගත්තා දැයි ඇසු පැනයට පිළිතුරු දුන් හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අපි එම කෙටුම්පත පාර්ලිමේන්තුවට එදා ඉදිරිපත් කළ බවද පැවසීය.

අද මේ අත්සන් කරන්න යන ගිවිසුම ගැන වරාය සභාපතිතුමා ලිඛිතව කරුණු දක්වා තිබෙනවා. වරාය ඇමැති මේ ගිවිසුම ගැන දන්නේ නැහැ. චීනය තායිලන්තයේ ඇළක් කපනවා. එය ප්‍රාග් කැනල් එක එම ඇළේ සිට හම්බන්තොට වරායට සැතපුම් 1250යි තියෙන්නේ. යුරෝපයට අප්‍රිකාවට මෙය කෙටි මාර්ගයක් වෙනවා. එවිට හම්බන්තොට වරාය කේන්ද්‍රස්ථානයක් බවට පත් වෙනවා.

පසුගිය රජය කාලයේදී දකුණු කොළඹ වරාය හැදුවා. එයින් බිලියන 7කට වැඩිය ආදායම ලැබුණා. ඒ ගිවිසුම් අපිට වාසි වුණා. මෙම රහසේ ඇතිකරගන්නා ගිවිසුම් රටට හෙළි කළ යුතු යැයි අපේ අදහස. මේ ගිවිසුමෙන් සියයට 20ක් වරාය අධිකාරියට සියයට 80ක් චීනයට. මේ රහස් ගිවිසුම රටට හෙළිකරන්න කියලයි අපි කියන්නේ.

හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා

මේ අත්සන් කරන්න යන ගිවිසුම ගැන කවුරුත් දන්නේ නැහැ. වරාය ඇමැතිවත් කිසි කෙනෙක් දන්නේ නැහැ. මේ පිළිබඳව කොළඹ දී අපි මාධ්‍ය දැනුවත් කළා. මෙම අවස්ථාවට මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ, ශාස්ත්‍රපති පඥාරතන හිමි, තලපෝරුවේ ඉන්ද්‍රසිරි හිමි, මැටරඹ හේමරතන හිමියෝද එක්ව සිටි අතර විශේෂ ලිපියක් මෙහිදී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා විසින් මල්වතු මහ නාහිමියන්ට භාරදෙන ලදී. 

නව අදහස දක්වන්න