නව නියෝජිතයන් බඳවා ගෙන ලොතරැයි අලෙවිය සිදුකරනවා | දිනමිණ

නව නියෝජිතයන් බඳවා ගෙන ලොතරැයි අලෙවිය සිදුකරනවා

රක්ෂණ ශ්‍රියන්ත

සංවර්ධන ලොතරැයි මණ්ඩලය හා ජාතික ලොතරැයි මණ්ඩලය, නව අලෙවි නියෝජිතවරුන් බදවා ගනිමින් සතියක කාලයක් තුළ සුපුරුදු ලෙස ලොතරැයි අලෙවිය සිදුකරන බව පවසයි. ලොතරැයි අලෙවිය සිදු නොකරන වෙළෙඳ කුටි ගිවිසුම් ප්‍රකාරව ලබාගෙන නව අලෙවි නියෝජිතයන්ට ලබා දෙන බව ද ලොතරැයි මණ්ඩලය අවධාරණය කරයි.

මේ තොරතුරු හෙළිවූයේ ලොතරැයි අලෙවිය පිළිබඳ වර්තමානයේ පැන නැ‍ඟී ඇති වාතාවරණය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සඳහා ඊයේ (4) කොටුව මිලෝදා ආයතනයේ දී සංවර්ධන ලොතරැයි මණ්ඩලය හා ජාතික ලොතරැයි මණ්ඩලය එක්ව පැවැත්වූ මාධ්‍ය හමුවේ දී ය.

මෙහි දී අදහස් දැක්වූ ජාතික ‍ලොතරැයි මණ්ඩල‍යේ සභාපතිනි නීතිඥ ශ්‍යාමිලා ‍පෙරේරා මහත්මිය .. ලොතරැයි මිල රුපියල් තිහ දක්වා වැඩි කිරීමට සිදුවූයේ ලොතරැයි මණ්ඩලයේ අවශ්‍යතාව නිසා නොවේ. මෙවර අය-වැය යෝජනා මත දිනුම් අදින ලොතරැයි සඳහා පනවා ඇති රුපියල් පහක බද්ද හේතුවෙනුයි. මේ බදු ගෙවීමට අපි බැඳී සිටිනවා. රාජ්‍ය භාණ්ඩාගාරය මේ බදුවලින් තමයි රටේ සංවර්ධන කටයුතු, සුබසාධන කටයුතු, වැටුප් ආදී දේ ගෙවීම් කරන්නේ. රුපියල් තිහක ටිකට් පතට මේ රුපියල් පහේ බදු සහ අනෙක් බදුවලින් පසු අපිට ලැබෙන රුපියල් 24.75ක මුදලක්. ඒ මුදලින් සියයට පනහක් ත්‍යාග සඳහා වෙන් කරනවා. රුපියල් හතරක් නියෝජිත කොමිස් ලෙස වෙන් කරනවා. ඉතිරි මුදලින් සියයට දහසයක් ඒකාබද්ධ අරමුදලට ලබා දෙනවා. සියයට දහහතක් වැට් බදු ආදී බදු සඳහා වෙන් කරනවා. අනතුරුව ලොතරැයි මණ්ඩලයට ඉතිරි වන්නේ රුපියල් එකයි ශත තිහක පමණ මුදලක්. මේ මුදලින් තමයි අපි ටිකට් මුද්‍රණය, වැටුප් ගෙවීම් ආදී දේ කරන්නේ. ඉතිරි වන්නේ ශත දහයක මුදලක් තමයි එම මුදලුත් අපි අවසානයේ මහා භාණ්ඩාගාරයට ලබා දෙනවා. එබැවින් අපිට අලෙවි නියෝජිතයන්ට ලබාදෙන රුපියල් හතරක මුදලට වඩා තව කොමිස් ලබා දිය නොහැකියි. අපිට වියදම් වැඩිවෙලා තිබෙනවා. නමුත් ලොතරැයි අලෙවි නියෝජිතයන්ට කිසිදු බද්දක් ගෙවීමටවත්, වියදම් වැඩිවීමක්වත් සිදුවී නැහැ. මේ කොමිස් වැඩිකරන ලෙස කරන ඉල්ලීම අසාධාරණයි. මේ අලෙවි නියෝජිතයන් සඳහා අමතරව අප රක්ෂණ ක්‍රම, දරුවන් සඳහා ශිෂ්‍යත්ව වැනි සුබසාධක ක්‍රමද ක්‍රියාත්මක කරනවා. ලොතරැයි රුපියල් තිහක මිල පිළිබඳ ජනතාවගේ පැත්තෙන් කිසිදු මිල අඩු කරන ලෙස ඉල්ලීමක් ලැබී නැහැ. නමුත් අලෙවි නියෝජිතයන් අපෙන් රුපියල් පහයි ශත පනහක් ලබා දෙන ලෙස ඉල්ලීමක් කරනවා. අපිට ඒ කොමිස් මුදල ලබා දිය නොහැකියි. අපි අපේ අලෙවි රථ මගින් දිවයින පුරා ලොතරැයි අලෙවිය ආරම්භ කර තිබෙනවා. නව අලෙවි නියෝජිතයන් බඳවා ගැනීම ආරම්භ කර තිබෙනවා. විරෝධතා දක්වන අලෙවි නියෝජිතයන්ට ගිවිසුම් ප්‍රකාරව නීත්‍යානූකූලව ක්‍රියා කරනවා. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මේ සම්බන්ධව මැදිහත්වී මහා භාණ්ඩාගාරය සමඟ සාකච්ඡා කර මේ ගැටලුවට විසඳුමක් ලබාදිය යුතුදැයි සොයා බැලිය හැකියි. නමුත් අපිට නම් දැන් තිබෙන තත්ත්වය මත කොමිස් මුදල වැඩි කිරීම සිදු කළ නොහැකියි.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති රොමේෂ් ජයවර්ධන මහතා...

කොමිස් මුදලේ ගැටලුවක් තිබෙනවා කියන කුරුණෑගල දිස්ත්‍රික් ලොතරැයි අලෙවි කරුවන්ගේ සංගමයේ ලේකම් උද්ඝෝෂණය කරන ගමන් අපෙන් ලොතරැයි ටිකට් පත් අරගෙන විකුණනවා. මේකේ පදනමක් නැහැ. සියලු බදු මුදල් අපි ගෙවන්නේ අලෙවි නියෝජිතවරුන්ට රුපියල් 4.30ක කොමිස් මුදලක් වියදමක් නැතිව ලැබෙනවා. ඊයේ දවසේ අලුතෙන් අලෙවි නියෝජිතයන් 83ක් හා අද දින සියයක් පමණ අලුතින් අලෙවි නියොජිතවරුන් බඳවා ගත්තා. අපේ ලොතරැයි අලෙවි රථ මගින් අපි ලොතරැයි විකිණීම සිදු කරනවා. කොමිස් මුදල වැඩි කළ නොහැකියි. දිවයින පුරා 2800ක් පමන අලෙවි නියෝජිතයන් සිටිනවා. ඔවුන්ගෙන් ලොතරැයි අලෙවි කිරීමට කැමැති බොහෝ දෙනෙක් සිටිනවා. ටික දෙනෙක් පමණයි බලපෑම් හේතුවෙන් ලොතරැයි අලෙවි නොකරන්නේ. ඉදිරියේ දී අලෙවි කිරීමට අකැමැති නියෝජිතවරුන් ඉවත් කර තවත් නව අලෙවි නියෝජිතයන් පත් කරමින් ඉදිරි සතිය තුළ දී සුපුරුදු ලෙස ලොතරැයි අලෙවි සිදු කරනවා. සුපිරි ත්‍යාග හැර අනෙකුත් ත්‍යාග රටාවන් ද අපි දෙගුණයක් කරන්න කටයුතු කර තිබෙනවා. අපි පොලිස්පතිවරයා දැනුවත් කර තිබෙනවා මේ අලෙවිකරුවන්ට තිබෙන තර්ජන පිළිබඳ නීත්‍යානුකූලව කටයුතු කරාවි. ලබා දියහැකි උපරිම කොමිස් මුදල් අපි අලෙවි නියෝජිතවරුන්ට ලබා දී තිබෙනවා. එම කොමිස් මුදල් තව වැඩි කළ නොහැකියි. අලෙවි කිරීමට අකැමැති නියෝජිතයන්ගේ අලෙවි කුටි ලබාගෙන නව අලෙවි නියෝජිතයන්ට ලබා දෙනවා. ඒ වගේම ලොතරැයි අලෙවිකරුවන්ට කෙලින්ම පැමිණ ලොතරැයි මණ්ඩලයෙන් ටිකට් පත් ලබා ගත හැකියි. එකම පවුලේ දෙතුන් දෙනා අලෙවි නියෝජිතයන් වී තිබෙනවා. අපි මින් ඉදිරියට අලෙවි නියෝජිත තනතුරු ලබාදීමේ දී ඒ ගැනත් සලකා බලනවා.

මේ අවස්ථාවට සංවර්ධන ලොතරැයි මණ්ඩලය හා ජාතික ලොතරැයි මණ්ඩලයේ උසස් නිලධාරීන් ද එක්ව සිටියහ.

 

නව අදහස දක්වන්න