සමාජ ශාලා මත්පෙති ගෙනෙන්නේ ගුවන්තොටේ ප්‍රභූ පර්යන්තයෙන් | දිනමිණ

සමාජ ශාලා මත්පෙති ගෙනෙන්නේ ගුවන්තොටේ ප්‍රභූ පර්යන්තයෙන්

විජයානි එදිරිසිංහ

රාත්‍රී සමාජ ශාලාවල භාවිතා කෙරෙන EXPECY නමැති මත් පෙති වර්ගයක් මසකට කිලෝ තිහක පමණ ප්‍රමාණයක් කටුනායක ගුවන් තොටුපළේ VVIP (වැදගත් පුද්ගලයන් පැමිණීමේ පර්යන්තය) හරහා රට තුළට ගෙන එන බවට තොරතුරු ලැබී තිබේ.

මේ පෙති වර්ගය සහ එවැනි තවත් මත් පෙති වර්ග කිහිපයක් මෙසේ හොර රහසේ මෙරටට ඇතුල් කර සමාජ ශාලාවල ගැවසෙන ඉහළ පෙළේ පුද්ගලයන් අතර ජාවාරම් කෙරෙන බව මෙසේ මත්ද්‍රව්‍ය නාශක අංශය සහ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය මඟින් තොරතුරු අනාවරණය කරගෙන ඇත.

රුපියල් හාරදහසත් පන්දහසත් අතර මිලකට මෙම මත්පෙත්ත අලෙවි වෙයි.

විශේෂයෙන් තරුණ සහ මැදි වයසේ පුද්ගලයන් මෙම මත්පෙත්ත පානය කරන බවද කියයි. තායිලන්තය පිලිපීනය යන රටවලින් මෙම පෙත්ත ගෙන එන බවටද තොරතුරු ලැබී තිබේ. පසුගිය වසර කිහිපය තුළ මත්ද්‍රව්‍යහා සම්බන්ධ සිදුවීම් ‍සඳහා විදේශිකයන් 114 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන් සියයට හතළිස් හයක් පාකිස්තානු ජාතිකයෝ වෙති. සියයට දහනවයක් ඉන්දියානු ජාතිකයෝ වූ අතර ශ්‍රී ලාංකිකයන් 43 දෙනෙකුද විදේශ රටවලදී අත්අඩංගුවට ගෙන ඇත.නීති විරෝධී මත්ද්‍රව්‍ය හුවමාරු මධ්‍යස්ථානයක් ලෙසට ලංකාව යොදාගන්නා බව අන්තර්ජාතික මත්ද්‍රව්‍ය නාශක මණ්ඩලයද පෙන්වාදී තිබේ

පසුගිය මාස කිහිපය තුළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය රේගුව සහ විශේෂ කාර්ය බළකාය මඟින් අත්අඩංගුවට ගත් කොකේන් කිලෝ සිය ගණන් වූ ප්‍රමාණයද එසේ හුවමාරු කර ගැනීමේ ජාලය හරහා ගෙන එන ලද ඒවා බවද අනාවරණය වී තිබේ.

නව අදහස දක්වන්න