​“හම්බන්තොට ඉඩම් විකුණන්නේ නෑ” - ඇමති සාගල | දිනමිණ

​“හම්බන්තොට ඉඩම් විකුණන්නේ නෑ” - ඇමති සාගල

හම්බන්තොට වරාය සහ ආර්ථික කලාපයේ ඉඩම් විකිණීමක් සිදුනොවන බවත් බද්දට ලබාදීම පමණක් සිදුවන බව අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක පවසනවා. බත්තරමුල්ල සෙත්සිරිපායේ පිහිටි නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශය “සුහුරුපාය” නව ගොඩනැගිල්ල වෙත ප්‍රවිෂ්ටවීමේ උත්සවයට (05) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන්කර සිටියා.

හම්බන්තොට වරාය ඉදිකළ නමුත් එයින් ප්‍රයෝජනයක් ලබාගැනීම සම්බන්ධයෙන් අවධානයක් යොමුකර තිබුනේ නැහැ.  ඒ නිසා එය ජනතාවට බරක්වී තිබුණු බවයි අමාත්‍යවරයා පෙන්වාදුන්නේ. කෙසේ වුවත් සුදු අලියෙකු බවට පත්ව තිබූ හම්බන්තොට වරාය, මෙරට ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් යොදාගතහැකි වැඩපිළිවෙලක් සකස්කිරීමට වත්මන් රජයට හැකිවූ බව ඔහු එහිදී කියා සිටියා.

ඒවගේම නව කර්මාන්තපුරය ඉදිකිරීමත් සමගම රැකියා අවස්ථා රැසක් බිහිවන අතර එමගින් ජනතාවගේ අතමිට සරුවන බවයි අමාත්‍ය සාගල රත්නායක සඳහන් කලේ. හම්බන්තොට සිදුවන ආර්ථික ක්‍රියාවලිය රජය දුරදිග බලා ගත් තීරණයක් බවත් කෙසේ උවත් හම්බන්තොට පිලිබදව පටු දේශපාලන අරමුණු සහිත බලලෝභී පිරිස් සමාජය තුළ වැරදි මතයක් නිර්මාණය කරන බවයි අමාත්‍යවරයා පෙන්වාදුන්නේ. මෙම කුමන බලපෑම් එල්ල උවත් රජයේ මෙම ආර්ථික වැඩපිළිවෙල අත්නොහරින බව ඔහු එහිදී අවදාරණය කළා.

නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශය සුහුරුපාය ගොඩනැගිල්ලට ප්‍රවිෂ්ටවීමේ මෙම උත්සවයට එම අමාත්‍යංශයේ ලේකම් ජගත් පී. විජේවීර, පොලිස්පති පූජිත් ජයසුන්දර සහ ජාතික පොලිස් කොමිසමේ සභාපති, දක්ෂිණ සංවර්ධන මණ්ඩලයේ සභාපති ඇතුලු නිලධාරීන් රැසක් සහභාගිවී සිටියා.

නව අදහස දක්වන්න