කාර්මික පුනරුදය ඇරැඹෙයි | දිනමිණ

කාර්මික පුනරුදය ඇරැඹෙයි

 ශ්‍රී ලාංකේයිය කාර්මිකකරණ ඉතිහාසයේ පුනරුදයක් ඇරැඹී තිබෙන බව ලොවට හඬ ගා කියන අඬහැරයට අද (5) හොරණ වගවත්ත ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල කර්මාන්ත කලාපයේ දී මුල්ගල තැබේ.

රුපියල් කෝටි 1125කට අධික ආයෝජනයක් සහිතව ඉදිකැරෙන රිජීඩ් (RIGID) ටයර් කෝපරේෂන් ප්‍ර‍යිවට් ලිමිටඩ් නම් වූ ටයර් කර්මාන්ත ශාලාවට මුල්ගල තැබේ.

ලොව සුපතල ප්‍රමිතීන් සුරකින රටවල වෙළෙඳපොළ වෙත ටයර් නිපැයුම් සිදු කරන නව කර්මාන්ත ශාලාව අක්කර 100ක භූමි භාගයක් පුරා පැතිර යන සේ ඉදිකැරේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මඟ පෙන්වීම් මත අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද මේ කර්මාන්ත ශාලාවට මුල් ගල තැබේ.

සිලෝන් ස්ටීල් සමූහය අනුබද්ධිත සමාගමක් ලෙස කටයුතු කරන රිජීඩ් කොපරේෂන් ලිමිටඩ් ආයතනය තම නවීනතම හා අංග සම්පූර්ණ ටයර් නිෂ්පාදන කර්මාන්ත ශාලාව වගවත්ත කාර්මික කලාපයේ ඉදිකිරීම එම ප්‍රදේශයටත් පොදුවේ මුළු මහත් ශ්‍රී ලංකාවටම්ත ප්‍රතිලාභ හිමිවන්නකි.

යුරෝපයේ ධනවත් රටවල පරිසර හිතකාමී හා හරිත කාර්මිකරණ ප්‍රමිතීන්වලට අනුගත වෙමින් ටයර් නිෂ්පාදනය කිරීමේ නව කර්මාන්ත ශාලාවක් මේ අන්දමට සාර්ක් කලාපයේ ඉදිකරනුයේ ද පළමු වතාවට වේ.

සාමාන්‍ය පාපැදියේ සිට බර වාහන දක්වා ඕනෑම මාදිලියක රථවාහන සඳහා ටයර් නිෂ්පාදනය කරන මේ කර්මාන්ත ශාලාව සක්‍රීයව නිෂ්පාදන ඇරඹූ විට මුළු කළුතර හා ඒ අවට සෑම ප්‍රදේශයකම රබර් වගාකරුවන්ට තම රබර් අස්වැන්න සඳහා තරගකාරී හා ඉහළ මිලක් ලැබෙනුයේ නිතැතිනි.

හොරණ රත්නපුරය ප්‍රධාන මාර්ගයේ වගවත්ත හන්දියෙන් හැරී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල කාර්මික කලාපයට පිවිසිය හැකිය.මේ කර්මාන්ත කලාපයට ආලෝකයක් එක් කරමින් නව කර්මාන්ත ශාලාව ඉදි කැරෙනු ලැබේ.

මේ රබර් ආශ්‍රිත ටයර් නිෂ්පාදන කර්මාන්ත ශාලාවේම රබර් පර්යේෂණාගාරයක් දඉදි කැරේ. ශ්‍රී ලංකාවේ ආර්ථිකය තේ, පොල්, රබර් අපනයන ආදායමින් ඉහළට එසවුණ ද 'රබර්' ආශ්‍රිත නව පර්යේෂණයන්ට නවීනතම උපකරණවලින් සමන්විත පර්යේෂණාගාරයක් කර්මාන්ත ශාලා බිමක මෙතෙක් ඉදිකොට නොමැත. එම අඩුව මඟහරවාලමින් මේ රිජිඩ් කර්මාන්ත ශාලාවේ විශේෂාංගයක් ලෙස එවන් නවීනතම පර්යේෂණාගාරයක් ද ඉදි වේ.

'රබර්' ආශ්‍රිත පර්යේෂණ කටයුතුවල නියැලෙන විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්ට සිසු දරු දැරියන්ට හා මේ ක්ෂේත්‍රයේ පර්යේෂකයන්ට නව නිපැයුම්කරුවන්ට මේ පර්යේෂණාගාරය භාවිතා කිරීමට පහසුකම සපයා දෙයි.

ලෝකයේ ටයර් නිෂ්පාදනය සම්බන්ධයෙන් ඉහළම ප්‍රමිති සහතික දිනා සිටින ඉතාලියේ මරන්ගෝනි සමාගම හොරණ කර්මාන්ත ශාලාවේ තාක්ෂණික සහයෝගිතාව හා උපදේශකත්වය සපයා තිබීම ද සුවිශේෂී කරුණකි.

අක්කර 100ක භූමි භාගයක් පුරා ඉදි කරන මේ නවීනතම කර්මාන්ත ශාලාව මුළුමනින්ම ඉදි කිරීමට ගත වන කාලය අවුරුදු එකහමාරක් වනු ඇතැයි සැලසුම් කොට ඇත.

සම්පූර්ණයෙන් ම පරිසර හිතකාමී හා හරිත ආර්ථිකය රජයන කර්මාන්ත ශාලාවක් ලෙස මෙය ඉදි කැරේ. මෙහි ඇති සුවිශේෂිත්වය නම් තාක්ෂණික හැකියාවන්ගෙන් පිරිපුන් මානව සම්පතක් සඳහා නව රැකියා අවස්ථා විශාල සංඛ්‍යාවක් මින් ජනිත වීමයි. නව තාක්ෂණය හා බැඳුණු ඉහළ අධ්‍යාපනයක් ලැබූ තරුණ තරුණියන්ට ඉහළ ආදායම් හිමි වන රැකියා අවස්ථා මින් බිහි වේ. කර්මාන්ත ශාලාව ක්‍රියාත්මක වීමත් සමඟ සෘජු රැකියා අවස්ථා දහසක් වක්‍ර රැකියා අවස්ථා තුන්දහසක් බිහිවනු ඇතැයි ඇස්තමේන්තු කොට ඇත.

ශ්‍රී ලංකාවේ පරිසර හා ප්‍රමිති ආයතන ගොන්නක සහතික ලත් එමෙන්ම යුරෝපීය රටවල ප්‍රමිතීන්ට අනුකූලව නව කර්මාන්ත ශාලාව ඉදිකරන අතර මෙහි නිෂ්පාදන සඳහා ලෝකයේ ධනවත්ම රටවල වෙළෙඳපොළ හිමි වී තිබීම විශේෂ කරුණකි. මෙහි නිෂ්පාදනය කරන නිෂ්පාදන වලින් සියයට 75ක්ම විදේශ වෙළෙඳපොළට යොමු කැරේ. ඉතිරි සියයට 25 දේශීය වෙළෙඳපොළට යොමු කිරීමට බලාපොරොත්තු වන බව සමාගම් ප්‍රධානිහු අප සමඟ ප්‍රකාශ කළහ.

කාර්මික විප්ලවයෙන් පසු ආර්ථිකයේ විවිධ ක්ෂේත්‍රයන්ගේ විශේෂයෙන්ම කාර්මික අංශයේ විකාශනයත් සමඟ කර්මාන්ත අංශය මඟින් කෙරෙන හරිතාගාර වායු විමෝචනය ඉහළ යාම හේතුවෙන් පෘථිවියේ එතෙක් පැවැති වායුගෝලීය සමබරතාව බිඳ වැටුණි.

වසර 2005 වන විට පරිසරයට මුදා හරින හරිතාගාර වායු ප්‍රමාණය කාර්මික විප්ලවයට පෙර මුදා හල ප්‍රමාණයට වඩා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කර ඇත.

ඒ අනුව පරිසරයට වන බලපෑම අවම කරන හරිතකරණ කර්මාන්ත පිහිටුවීමක් වෙත රට යොමු විය යුතුය. මේ අද මුල්ගල තැබෙන කර්මාන්ත ශාලාව එහි එක් පුරෝගාමී පියවරක් වනු ඇත. හරිතකරණය මඟින් දිළිඳුකම පිටුදැකීම සහ ආහාර සුරක්ෂිතතාව කෙරෙහි ද වැඩි අවධානයක් යොමු කොට තිබෙන වර්තමානයේ ශ්‍රී ලංකාවේ හරිත ආර්ථිකයක් ගොඩනැඟුමට පියවර ගෙන තිබීම ද සතුටට කරුණකි. ඒ අනුව නව කර්මාන්ත ශාලාවේ වායු විමෝචනය සීමා සහිත වනු ඇත. එමෙන්ම පරිසරයට හිතකාමී ලෙස ගොඩනැඟෙනු ඇත.

ශ්‍රී ලංකාවට සෘජු විදේශ ආයෝජන වැඩි වැඩියෙන් අවශ්‍ය සහ අපේ නිපැයුම් වැඩි වශයෙන් විදේශ වෙළෙදපොළ වෙත යැවීමත් හැකි තරම් විදේශ විනිමය රටට ඉපැයීම අවශ්‍ය මොහොතක මෙවන් කර්මාන්ත ශාලා ඇරඹීම සතුටට කරුණක් බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් දුමින්ද ආරියසිංහ මහතා ප්‍රකාශ කෙළේය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ වසරේ සියයට 5.5 හෝ 6ක වේගයකින් වර්ධනය වනු ඇතැයි දැනටමත් මහ බැංකුව පුරෝකථනය කොට ඇත. මේ පුරෝකථනයන් හා ඉදිරි තෙවසරේ සියයට 7 ඉක්ම වන ආර්ථික වර්ධන වේගයක් ළඟා කර ගැනීමට සෘජු විදේශ ආයෝජන රටට වැඩි වශයෙන් පැමිණිය යුතුමය.

මේ කර්මාන්ත ශාලාව ඇතුළු තවත් නව කර්මාන්ත ශාලා බිහිවීමෙන් අපට පැහැදිලි අනාගතයක් ගොඩනඟාගෙන බවට බලාපොරොත්තු තබා ගත හැකි බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා කීය.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ගත වු වසර දෙකක කාලයේ නව වෙළෙඳ කර්මාන්ත සහ ආයෝජන රටට ගෙනඒමට කටයුතු කළ බව කී දුමින්ද ආරියසිංහ මහතා මේ මොහොත ඒ පදනම මත රටේ කාර්මිකකරණය ඇරඹෙන බව කීය.

ඒ අනුව නුදුරේදීම මුළු රට පුරාම කාර්මිකකරණය ව්‍යාප්ත වනු ඇත. රට හා ජනතාව බලාපොරොත්තු වන ආර්ථික හා ආදායම් ඉපැයීම් ඉහළ රටක් බිහි කිරීමට සමත් යහපත් පරිසරය ගොඩනැඟී තිබේ. මේ ප හසුකම් හා දිරි ගැන්වීම් ලබා ගනිමින් නව කර්මාන්ත බිහි කිරිමට දෙස් විදෙස් ආයෝජකයෝ පියවරර ගනු ඇතැයි ද අධ්‍යක්ෂ ජනරාල්වරයා බලාපොරොත්තු පළ කළේය.

අද හොරණ වගවත්ත කාර්මික කලාපයේ නව කර්මාන්ත ශාලාවට මුල්ගල තබන අතර හෙට දකුණු ලකට ආර්ථික නවෝදය කැඳවන කොග්ගල කාර්මික කලාපයේ දී අත්මේස් හා ඒ හා බැඳුණු තවත් නිපැයුම් කර්මාන්ත ශාලාවක් ඉදිකිරීමට මුල් ගල තැබෙනු ඇත.

දේශීය රබර් ගොවියාට ව ඩා ඉහළ මිලක් ලැබෙන ඒවාගේම ප්‍රදේශයේ තරුණ තරුණියන්ට ඉහළ වැටුප් හිමි රැකියා හිමිවන අයුරින් නව කර්මාන්ත ශාලා බිහිවීම සතුටකි. මේ අන්දමට කර්මාන්ත ශාලා වැඩි වැඩියෙන් බිහි වී මුළු රටේම නැවුම් හා වේගවත් දියුණුවක් ඇතිවීම පොදු ජනතාවගේ සිත්වල යහපත් හෙට දවසක බලාපොරොත්තු දල්වන්නක් වනු ඇත.

අද හොරණ දී මුල්ගල තැබෙන රිජිඩ් කොපරේෂන් ලිමිටඩ් ආයතනයේ සභාපති නන්දන ලොකුවිතාන මහතා ප්‍රධාන අධ්‍යක්ෂ මඬුල්ල විශේෂ සමාජ සත්කාරක සේවාවක් ඉටු කරයි. ඒ ප්‍රදේශයේ ගැබිනි මවුවරු පන්සියයක් දෙනාට නොමිලේ ඉතා ඉහළ වටිනාකමක් සහිත පෝෂණ මල්ලක් බැගින් පිරිනැමීමයි.

ඊට අමතරව මේ ප්‍රදේශයේ පොදු සුබසාධන සමිතිවලට අවශ්‍ය තාවකාලික කූඩාරම් (හට්) පිරිනැමීම සිදුවේ. ප්‍රදේශයේ මහා සංඝරත්නය 700 නමකට අධික පිරිසකගේ ගෞරවණීය ආශිර්වාදය මැද ප්‍රදේශවාසීහු දෙදහසකගේ සහභාගීත්වය මත මේ උත්සවය පැවැත්වේ.

මේ උත්සව අවස්ථාවට රජයේ මැති ඇමැතිවරුන් වන මලික් සමරවික්‍රම, රවි කරුණානායක, මහින්ද සමරසිංහ, නවින් දිසානායක, දොස්තර රාජිත සේනාරත්න, මහින්ද අමරවීර, සුසිල් ප්‍රේමජයන්ත, පාලිත තෙවරප්පෙරුම ඇතුළු තවත් සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගීවීමට නියමිතය.

සටහන - ජයසිරි මුණසිංහ 


නව අදහස දක්වන්න

Or log in with...