මාධ්‍ය ලෝකයේ විශිෂ්ටත්වය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව | දිනමිණ

මාධ්‍ය ලෝකයේ විශිෂ්ටත්වය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව

 ලංකා ගුවන් විදුලි දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව බවට පත්වී අදට (05) වසර පනහක් සපිරේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

1925 තරම් දුර අතීතයක ‘කොළඹින් කතා කරමි’ ලෙසින් මුලින්ම අපට ගුවන් විදුලි කටහඬ ගුවන පුරා විසිර ගියේය. අවුරුදු අනූවකට වැඩි කාලයකට පෙර ඇසුණු එම ගුවන් විදුලි හඬ රටක අධ්‍යාත්මය සංස්කෘතිය වෙනස් කිරීමට සමත් වෙතැයි කිසිවකු අපේක්ෂා නොකරන්නට ඇත. එහෙත් කෙටි කලක් ගත වෙද්දී අපේ ජන සමාජය වැළඳගැනීමට ගුවන් විදුලියට හැකියාව ලැබිණ. එය විස්මය ජනක දෙයක් පමණක් නොව ආසියාවේ ගුවන් විදුලිය පිළිබඳ මහා ප්‍රතිරූපයක් ඇති වූ රටක් බවට ද මෙරට පත්විය. ගුවන් විදුලි සංස්කෘතියකට මඟ හෙළි කළ රටක් ලෙස අප රටට අතිමහත් කීර්තියක් අත්පත් කර ගැනීමට හැකියාව ලැබුණි. මුල් කාලයේ ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් විකාශනය වූ කොළඹ ගුවන් විදුලිය ඇරැඹී කෙටි කලක් ගත වෙද්දී සිංහල විකාශනයක් ද ආරම්භ කළේය. ගුවන් විදුලිය ගමට යාමේ ආරම්භය සිංහල බසට ගුවන් විදුලිය අනුවර්තනය වීමත් සමඟ ඇරැඹුණි. හතළිහ පනහ දශක වන විට ගුවන් විදුලිය මහ මන්දිරවලින් සාමාන්‍ය ගෙවල්වලට ද පැමිණීම ආරම්භ වූවා යැයි සඳහන් කිරීම අතිශයෝක්තියක් නොවේ.

1950 දශකයේ මැද භාගයේ දී ගුවන් විදුලියේ වෙළෙඳ සේවය ඇරැඹුණු අතර මෙරට ජනප්‍රිය සංස්කෘතික අංගයක් බවට වෙළෙඳ සේවය පත්වන්නට වැඩි කාලයක් ගත වූයේ නැත. සරල ගී සංස්කෘතිය, ගුවන් විදුලි නාට්‍ය ඇතුළු ජනප්‍රිය අංග රැසක් ඇති වූයේ වෙළෙඳ සේවය නිසාය. විනෝදාස්වාදය පමණක් නොව තොරතුරු, අධ්‍යාපනය ඇතුළු අංග රැසක් ගුවන් විදුලියෙන් සමාජ ගත කෙරිණි.

හැට දශකය දක්වාම ලංකා ගුවන් විදුලි දෙපාර්තමේන්තුව ලෙස හඳුන්වන ලද ගුවන් විදුලිය සංස්ථාවක් බවට පත්වන්නේ 1966 අංක 17 දරණ පාර්ලිමේන්තු පනතෙනි. මෙය මෙරට ගුවන් විදුලියේ සංධිස්ථානයක් ලෙස සඳහන් කිරීම අතිශයෝක්තියක් නොවේ. ගුවන් විදුලියේ ස්වරණමය යුගය ඇරැඹෙන්නේ මේ සමඟ යැයි සඳහන් කිරීම නිවැරැදිය. මුවන්පැලැස්ස වැනි පාරම්පරික ආදරය දිනූ ගුවන් විදුලි නාට්‍ය පමණක් නොව සරල ගී සංස්කෘතියක් ඇති වන්නේ ගුවන් විදුලි සංස්ථා යුගයේදීය. අමරදේවයන්ගේ සිට නන්දා මාලිනි දක්වාත් කපුගේ ගේ සිට මාලනී බුලත්සිංහල දක්වා දක්ෂයන් බිහිවන්නේත් ගුවන් විදුලියේ මහිමයෙනි. එදා දක්ෂයන්ට අත දුන් ගුවන් විදුලිය බිහි කළේ සැබෑ සුපිරි ශිල්පීන් යැයි සඳහන් කිරීම නිවැරැදිය. අද බිහි වන සුපිරි තරු අද පායා හෙට බැස යද්දී ගුවන් විදුලිය බිහි කළ ශිල්පීන් අදත් අහසේ ප්‍රභාමත්ව බැබළෙන්නේ ගුවන් විදුලියේ ප්‍රමිතියේ මහිමය නිසාය.

ඒ ආකාරයෙන් වර්ණවත් ගමනක් පැමිණි ගුවන් විදුලි සංස්ථාව 1966 සිට අවුරුදු පනහක් අසන්නන් සමඟ දිගු ගමනක් පිවිස අද දින සිය ස්වර්ණ ජයන්තිය වෙත පැමිණ තිබේ. එම ගමන කෙතරම් විචිත්‍රවත් ද ආකර්ෂණීය ද යන්නට වෙනත් උදාහරණ නැති අතර විශිෂ්ටත්වයට පෙන්වා දිය හැකි එකම උදාහරණය ගුවන් විදුලි සංස්ථාවම පමණි.

දැන් එළැඹ තිබෙන්නේ වත්මනට ගැළපෙන ලෙස ගුවන් විදුලිය තාක්ෂණය අතින් පෙරට ගෙන ඒමය. එය තේරුම් ගෙන ඇති සංස්ථා සභාපති නන්ද මුරුත්තෙට්ටුවේගම මහතා සහ ගුවන් විදුලියෙන්ම හැදී වැඩී එහි ඉහළම තනතුරක් වන අධ්‍යක්ෂ ජෙනරාල් ධූරයට පත්ව සිටින ඒරානන්ද හෙට්ටිආරච්චි මහතා මැදිරි සංකීර්ණ යාවත් කාලීන කිරීමේ දැවැන්ත කාර්යයට අත ගසා සිටිති. ගුවන් විදුලිය සිය ස්වර්ණ ජයන්තිය සමරණ අද දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ, ඇමැති ගයන්ත කරුණාතිලක, නියෝජ්‍ය ඇමැති කරුණාරත්න පරණවිතාන මහත්වරුන් ඇතුළු ආරාධිතයෝ මේ අවස්ථාවට එක් වෙති.

ගුවන් විදුලියේ නව මැදිරි සංකීර්ණය යාවත් කිරීමෙන් පසු නිෂ්පාදන ගුණාත්මකභාවය ඉහළ දැමීමට හැකියාව ඇතැයි අප කළ විමසුමක දී ගුවන් විදුලියේ ඉහළ නිලධාරියකු අප සමඟ පැවැසීය. සමරු මුද්දරයක් නිකුත් කිරීම, 'බසක මහිම' ලෙස ග්‍රන්ථයක් නිකුත් කිරීම ද සිදු කිරිමට නියමිතය.

ආගමික, ප්‍රවෘත්ති, සංගීත, ක්‍රීඩා ගැමි, ගොවි හැම අංශයකින්ම ගුවන් විදුලිය සිය අනන්‍යතාව ගොඩනඟා ඇති අතර මෙරට ගුවන් විදුලිය ස්ථාපිත වී අවුරුදු අනූව ඉක්මවා ගිය ද ගුවන් විදුලිය සංස්ථාවක් බවට පත්ව අවුරුදු පනහක් ගත වුවද ගුවන් විදුලි සංස්ථාවේ විශිෂ්ටත්වය මාධ්‍ය ලෝකයෙන් මැකී යන්නේ නැත. මාධ්‍ය ලෝකය අද මුදල් පසුපස හඹා යන පසුබිමක ගුවන් විදුලිය වානිජ පරමාර්ථ පසෙකලා සැබෑ මාධ්‍ය කලාවක් වෙනුවෙන් පෙනී සිටින බව සඳහන් කිරීම වඩාත් නිවැරැදිය.

අපේ ගුවන් විදුලිය අපේ රටටම සීමා වූවක් නොවේ. ලොව පුරා ගුවන් විදුලියේ රසිකයෝ පැතිර සිටිති. හින්දි, ඉංග්‍රිසි, මලයාලම් ඇතුළු භාෂා රැසකින් ගුවන් විදුලිය ලොව පුරා විකාශන කටයුතු සිදු කරයි. ඉන්දියාවේ අපේ ගුවන් විදුලියට විශාල ජනප්‍රියත්වයක් ඇති අතර අවුරුදු පනහකට ආසන්න කාලයක් පුරා මේ ජනප්‍රියත්වය නොනැසී පැවැතීම සුවිශේෂය.

පසුකාලීනව ඇරැඹි ප්‍රාදේශීය සේවා නිසා ද ගුවන් විදුලියට ආලෝකයක් මෙන්ම අසන්නන්ට සේවයක් ද සැලසිණි. රජරට සේවය වැනි සේවා ප්‍රාදේශීයව විශාල අනන්‍යතාවක් ගොඩනඟා ගත් අතර එම සේවා නිසා බිහි වූ ශිල්පීන් ප්‍රමාණය අතිමහත්ය. ඔවුන් කලාවට හා සමාජයට සැපයූ සේවාව ද අපමණය. වර්තමානය වන විට සිංහල ස්වදේශීය සේවය, සිංහල වෙළෙඳ සේවය, සිටි එෆ්. එම්. සේවය ප්‍රධාන ගුවන් විදුලි සේවා රැසක් විකාශන කටයුතු පවත්වාගෙන යන අතර දෙමළ සහ ඉංග්‍රීසි භාෂා මඟින් ද ජනප්‍රිය විකාශන රැසක් පවත්වාගෙන යති.

කලක් ගුණාත්මක අතින් පිරිහී දේශපාලනය මූලික කරගැනීම නිසා යම් පසුබැස්මකට ලක්ව තිබූ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව අද වන විට නව කළමණාකාරිත්වය යටතේ ගුණාත්මක හා වානිජමය අතින් ස්ථාවර වී තිබේ.

පනස් වසක් සපුරන ගුවන් විදුලි සංස්ථාව රටේ ඉදිරි ගමනට සහ ජනතාවගේ යහපත පිණිස තවත් මහා කාර්යභාරයක් උර දරා සිටී. තවත් වසර පනහක් ගත වුවද ගුවන් විදුලි සංස්ථාවේ මහජන සේවා කාර්යභාරය ජනතාවට අත්‍යාවශ්‍ය වනු නියතය. ජනතාව සමඟ පෙරට යන ජනතාවගේ ගුවන් විදුලිය වන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ස්වර්ණ ජයන්තිය සමරන මේ මොහොතේ අප ද ගුවන් විදුලියට සුබ පැතුම් එක් කරමු.

සටහන - උදිත ගුණවර්ධන 

නව අදහස දක්වන්න