කෞතුකාගාරය කටුගෙයින් ඔබ්බට | දිනමිණ

කෞතුකාගාරය කටුගෙයින් ඔබ්බට

කුතුහලය දනවන, දුර්ලභ හෝ අද්භූතදෑ එක් රැස් කිරීම හා ඒවා ප්‍රදර්ශනය කිරීම පිළිබඳ ඉතිහාසය ගුහාවාසී මානව අවධිය තෙක් දිවයන බවට විද්වතුන් විසින් අදහස් ඉදිරිපත් කර තිබේ. ඓතිහාසික සමාජවල මේ පුරුද්ද ක්‍රමානුකූලව වර්ධනය වූ අතර ඒ ඒ සමාජ නිමවන ලද හෝ භාවිත කරන ලද මෙවැනි ගණයේ වස්තූන් රාජකීය මන්දිරවල, ප්‍රභූ නිවෙස්වල හා ආගමික ස්ථානවල එක් රැස්ව තිබූ බවට සාධක තිබේ. විශේෂයෙන් ම ප්‍රභූ නිවෙස්වල මෙවැනි වස්තූන් විශාල වශයෙන් එක් රැස්ව තිබූ බව හඳුනාගත හැකිය. මධ්‍යකාලීන අවධිය වන විට මෙම අගනා කුතුහලය දනවන වස්තූන්ඒ ඒ සංස්කෘතීන්හි අනන්‍යතා සාධක ලෙස පිළිගැනීමකට ලක්ව තිබිණ. එම වස්තූන් ස්වකීය අනන්‍යතා ප්‍රකාශන හැටියට ලෝක මට්ටමින් ප්‍රසිද්ධවීම හේතුවෙන් ඒවා මිල කළ නොහැකි උත්කෘෂ්ඨ තත්ත්වයක් හිමි කරගන්නා ලදී.

නූතන රාජ්‍ය බිහිවීමත් සමඟම මෙම අගනා ජගත් උරුම සාධක සුරක්ෂිත කිරීම හා ප්‍රදර්ශනය සඳහා රාජ්‍ය අනුග්‍රහය ද ලැබිණ. අමිල වටිනාකමකින් හෙබි මෙම සාධක ප්‍රශස්ත මට්ටමින් රැක ගැනීම, සංරක්ෂණය කිරීම හා ප්‍රදර්ශනයට ඉඩ සැලසීම සම්බන්ධයෙන් ගෙවී ගිය සියවස තුළ විශාල දියුණුවක් ඇති විය. නූතන කෞතුකාගාර ආරම්භවීමත් සමඟ ඒවායේ තැන්පත් වූ ලක්ෂ ගණනින් වූ කෞතුක වස්තු සම්භාරය පිළිබඳ අවධානය යොමු කිරීමේදී මේ බව මැනවින් පැහැදිලි වෙයි.

යුරෝපය, අප්‍රිකාව, මධ්‍යධරණී, ඕස්ට්‍රේලියාව, රුසියාව හා ආසියාව ආදී කලාපවල කෞතුකාගාර ලබා ඇති දියුණුව මීට කදිම නිදසුන් වෙයි. මෙහි ඉහත සඳහන් කලාපවල තිබෙන ප්‍රධාන පෙළේ කෞතුකාගාර ඒ ඒ රටවල සමාජ කෙරෙහි අත්‍යවශ්‍ය ‍අන්‍යෝන්‍ය සම්බන්ධකම් පවත්වන ආයතන බවට පත්ව තිබේ.

ආසියානු කලාපයෙහි චීනය, තායිවානය, කොරියාව, ජපානය හා සිංගප්පූරුව යන රටවල කෞතුකාගාර මේ තත්ත්වය හිමි කරගෙන ඇත. සංසන්දනාත්මකව බැලූ කල දකුණු ආසියානු කෞතුකාගාර තවමත් ජගත් මට්ටම අත්පත් කරගෙන නැත.

ශ්‍රී මහා බෝධිය වැඩම වූ නැවෙහි කොටස් 3ක් අනුරාධපුරයේ මෙහෙනවරක තැන්පත් කර වූ බවට මහාවංශයෙහි සඳහන් වන ප්‍රවෘත්තිය (ක්‍රි.පූ. 3 වන සියවස) සම්බන්ධයෙන් අදහසක් ඉදිරිපත් කරන ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ මහතා විසින් එම සිදුවීම ශ්‍රී ලංකාවේ කෞතුකාගාර ආරම්භ වීමේ ආදිතම අවස්ථාව වන බව පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ නූතන රාජ්‍ය කෞතුකාගාර බිහිවීමේ ඉතිහාසය බ්‍රිතාන්‍ය පාලන අවධිය තෙක් දිවෙන අතර රාජකීය ආසියාතික සංගමයේ යෝජනාවක් අනුව විළියම් හෙන්රි ග්‍රෙගරි ශ්‍රීමතුන්ගේ පරිශ්‍රමය හේතුවෙන් වර්ෂ 1877 ජනවාරි 01 වැනි දින ඇරඹුණු ‍ෙකාළඹ කෞතුකාගාරය මෙහි මූලාරම්භය සේ සැලකේ. ඒ අනුව මේ වනවිට ශ්‍රී ලංකාවට නූතන රාජ්‍ය කෞතුකාගාර විෂය සම්බන්ධයෙන් වසර 140කට වඩා වැඩි අත්දැකීම් තිබේ. එතැන් පටන් ශ්‍රී ලංකාව තුළ රාජ්‍ය මැදිහත්වීම මත පිහිටුවා ඇති කෞතුකාගාර සංඛ්‍යාව 70ක් පමණ වෙයි. පෞද්ගලික කෞතුකාගාර හා කෞතුක වස්තු එකතූන් සංඛ්‍යාව 25ක් පමණ වේ. මේ දක්වා ප්‍රකාශයට පත්ව නැති එකතූන් ද මීට අමතරව වෙයි.

ශ්‍රී ලංකාව සංස්කෘතික හා ස්වාභාවික උරුමය අතින් බෙහෙවින් පොහොසත් රටක් වන බැවින් ඊට අදාළ වූ වටිනා උරුම සාධක විශාල වශයෙන් කෞතුකාගාරවල තැන්පත්ව තිබේ. එසේ තැන්පත්ව ඇති මෙම වටිනා සාධක හඳුනා ගැනීම, සංරක්ෂණය හා සුරක්ෂිත කිරීම සඳහා විධිවිධාන සැළසීම කෙරෙහි අවධානය යොමු විය යුතුය. ශ්‍රී ලංකාවේ කෞතුකාගාර කලාපීය වශයෙන් ප්‍රමුඛස්ථානයකට පත් කිරීම සඳහා අවැසි වටපිටාව සැකසීම කෙරෙහි කෞතුකාගාරවේදීන්ගේ අවධානය ද යොමු විය යුතුය. මේ පිළිබඳ අවධානය යොමු කිරීමේදී හඳුනාගත හැකි ප්‍රධාන කරුණු කිහිපයක් වෙයි.

• ශ්‍රී ලංකාවේ කෞතුකාගාර සඳහා බලපාන ව්‍යවස්ථාමය වටපිටාව සැකසීම හා ජාතික ප්‍රතිපත්තියක් ප්‍රකාශයට පත් කිරීම.

• ශ්‍රී ලංකාවේ කෞතුකාගාර ප්‍රමිතිගත කිරීම.

• කෞතුක වස්තූන් එකතූන් ජාතික මට්ටමින් ලේඛනගත කිරීම හා ඒවා ප්‍රකාශයට පත්කිරීම සඳහා වැඩපිළිවෙළක් සැකසීම.

• කෞතුකාගාර ප්‍රදර්ශන වැඩි දියුණු කිරීම.

• කෞතුක වස්තුවල සුරක්ෂිතභාවය උදෙසා ජාතික වැඩපිළිවෙළක් සැකසීම.

ව්‍යවස්ථාමය වටපිටාව

1877 ජනවාරි 01 දින වත්මන් ජාතික කෞතුකාගාරය කොළඹ කෞතුකාගාරය නමින් මහජනතාවට විවෘත කෙරිණ. එම කෞතුකාගාරය ද ඇතුළත්ව මහනුවර, යාපනය හා රත්නපුරය යන කෞතුකාගාර ජාතික කෞතුකාගාර වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට හා එම කෞතුකාගාර පාලනය කිරීම සඳහා ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව යන ආයතනය ස්ථාපිත කිරීම 1942 අංක 31 දරන ආඥා පනත මඟින් සිදු කෙරිණ, සීමිත රෙගුලාසිවලින් සමන්විත මෙම ආඥා පනතේ විධිවිධාන කාලීනව ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව මුහුණ දී තිබෙන ගැටලු විසඳා ගැනීමට ප්‍රමාණවත් නොවන හෙයින් එය සංශෝධනය කළ යුතුය. මේ වන විට මුල් ආඥා පනත සංශෝධනය කිරීම සඳහා කෙටුම්පතක් ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව විසින් සකස් කොට අදාළ බළධාරීන් වෙත ඉදිරිපත් කොට ඇත.

මෙම පනතේ වුවද ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවෙන් පරිබාහිර කෞතුකාගාරවලට බලපාන රෙගුලාසි පැනවීමට දෙපාර්තමේන්තුවට විධිවිධාන නොමැති වීම හේතුවෙන් කිසිදු ප්‍රමිතියකින් තොර හා නීත්‍යානුකූල වලංගුතාවයකින් ‍ෙතාරව ඕනෑම පුද්ගලයකුට හෝ ආයතනයකට කෞතුකාගාරයක් ස්ථාපිත කිරීම තව දුරටත් හැකි වනු ඇත. එවැනි කෞතුකාගාර පිළිගත් ක්‍රමවේදයනට අනුව ක්‍රියාත්මක නොවීම හා රාජ්‍ය අධීක්ෂණයෙන් බැහැර වීම හේතුකොටගෙන ඒවායේ තැන්පත්ව තිබෙන වස්තූන්ගේ නීත්‍යානුකූල බව පිළිබඳ ගැටලු මතු වේ. තවද මෙවැනි කෞතුකාගාර මඟින් අපේක්ෂිත මහජනයා වෙත සැළසිය යුතු සේවය නිසි ලෙස ක්‍රියාත්මක නොවීමේ ගැටලු තවදුරටත් එලෙසම පවතිනු ඇත. ඒ අනුව කෞතුකාගාර විද්‍යානුකූලව හා සම්මත ව්‍යවස්ථාමය තත්ත්වයන් යටතේ කෞතුකාගාර පවත්වාගෙන යාමටත් ඒවායේ තැන්පත්ව තිබෙන එකතූන් සුරක්ෂිත කිරීම සඳහාත් එක් පාලනාධිකාරියක් යටතට (මෙම පාලනාධිකාරිය ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව විය යුතුය) ශ්‍රී ලංකාවේ සියලුම කෞතුකාගාර පත් කෙරෙන විධිවිධාන කඩිනමින් සැලසිය යුතුය.

ජාතික කෞතුකාගාරවල තැන්පත්ව ඇති කෞතුක වස්තුවල නිත්‍යානුකූල භාරකාරත්වය කෞතුකාගාර අධ්‍යක්ෂ වෙත පැවරෙන සේ විධිවිධාන සැළසීම ද ශ්‍රී ලංකාවේ සියලුම කෞතුකාගාර ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි කිරීමේ විධිවිධාන පැනවීම ද අත්‍යවශ්‍ය වෙයි. මෙහි මූලික අරමුණවිය යුත්තේ එම කෞතුකාගාර ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව වෙත පවරා ගැනීම නොව එම කෞතුකාගාරවල ඇති කෞතුක වස්තුවලට නීතිමය රැකවරණ සැළසීම, කෞතුකාගාර විද්‍යානුකූලව සංරක්ෂණය කිරීම, ප්‍රදර්ශනය කිරීම හා ඒවා නිසි‍ ලෙස සුරක්ෂිත කිරීම සඳහා වන වැඩපිළිවෙළේ දී අවශ්‍ය උපදේශනය හා මඟ පෙන්වීම ලබා දෙමින් ඒවා ප්‍රවර්ධනය කිරීම සඳහා ඇවැසි වටපිටාව සැකසීමයි.

ජාතික අනන්‍යතාව ප්‍රකට කරනු ලබන උත්කෘෂ්ඨ ගණයේ කෞතුක වස්තූන් ජාතික කෞතුකාගාරය සතුකෙරෙන නව විධිවිධාන සැකසිම කෙරෙහිද අවධානය යොමු විය යුතුය. ලෝක මට්ටමින් සළකා බැලුවත් පැහැදිලි වන්නේ එම රටවල තිබෙන උත්කෘෂ්ඨ ගණයේ කෞතුක වස්තූන් බොහෝ විට අයත් වන්නේ එම රටවල ජාතික කෞතුකාගාරවලට බවයි.

කෞතුකාගාර ප්‍රමිතිගත කිරීම

ශ්‍රී ලංකාවේ කෞතුකාගාර කොපමණ සංඛ්‍යාවක් ඇත්ද යන්න නිශ්චිත වශයෙන් දැන ගැනීමට අවශ්‍ය සංඛ්‍යා ලේඛන නැත. මීට ප්‍රධානතම හේතුව වනුයේ කෞතුකාගාරයක් ස්ථාපිත කිරීම සඳහා ශ්‍රී ලංකාව තුළ කිසිඳු ව්‍යවස්ථාමය වටපිටාවක් නොමැති වීමයි. උදා: ගමක කුඩා ව්‍යාපරයක් ආරම්භ කරන්නේ නම් එය ආරම්භ කිරීමට පෙර අදාළ ප්‍රාදේශීය සභාවේ අනුමැතිය ලබා ගත යුතු ය. එපමණක් ද නොව එම ව්‍යාපාරය පවත්වාගෙන යෑමේදී ඒ වෙනුවෙන් සෑම වර්ෂයක් පාසාම රජයට බද්දක් ගෙවීම ද අනිවාර්ය වෙයි. එසේ නොවුණහොත් එම ව්‍යාපාරය ඉවත් කර ගැනීමට හිමිකරුවනට සිදු වෙයි. මෙවැනි නීතිමය තත්ත්වයක් එවැනි ව්‍යාපාර සම්බන්ධයෙන් පනවා තිබෙන්නේ ඒවා කිසියම් පිළිගත් ප්‍රමිතීන්ට අනුකූලව පවත්වාගෙන යෑම සඳහාය. ගමක කුඩා ව්‍යාපාරයක් ආරම්භ කිරීමටත් රජයේ රෙගුලාසිවලට යටත්ව ලියාපදිංචි වී අවසර ලබා ගත යුතු අප රටේ කෞතුකාගාර ලියාපදිංචි කිරීම හා කෞතුකාගාර නිර්ණායකවලට යටත් ඒවා ස්ථාපිත කිරීම වෙනුවෙන් අවසර ගැනීමේ ක්‍රමවේදයක් කඩිනමින් හඳුන්වා දිය යුතු ය.

දැනට ශ්‍රී ලංකාවේ ස්ථාපිතව තිබෙන රාජ්‍ය හා රාජ්‍ය නොවන සියලුම කෞතුකාගාර හඳුනාගෙන ඒවා විධිමත් ලෙස එක් බලාධිකාරියක් යටතේ ලියාපදිංචි කර තොරතුරු එක් රැස් කොට ඒවා “ඒ”, “බී”, “සී” යනුවෙන් ශ්‍රේණිගත කළ යුතු ය. කෞතුකාගාර විද්‍යානුකූල මූල ධර්ම මත සැකසුණු නිර්ණායක අනුව ඉටු කළ යුතු මෙම ශ්‍රේණිගත කිරීමේ මූලික අරමුණ විය යුත්තේ “බී” කාණ්ඩයේ කෞතුකාගාර “ඒ” කාණ්ඩය දක්වාත් “සී” කාණ්ඩය “බී” කාණ්ඩය දක්වා ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ඒ ඒ කෞතුකාගාර පාලනාධිකාරීන් දිරි ගැන්වීමයි. එමඟින් ඒ ඒ කෞතුකාගාර හරහා මහජනතාව වෙත ප්‍රමිතියෙන් උසස් සේවාවක් සැළසෙයි.

ලේඛනගත කිරීම

ශ්‍රී ලංක‍ාවේ තිබෙන කෞතුක වස්තු පිළිබඳ ජාතික මට්ටමේ ලේඛනයක් සකස් කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම අවශ්‍ය වෙයි. මෙය වෙළුම් කිහිපයකින් සකස් කළ හැකි ය. ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව යටතේ තිබෙන කෞතුකාගාරවල හා ඇතැම් රාජ්‍ය කෞතුකාගාරවල තැන්පත් කර ඇති කෞතුක වස්තු ලියාපදිංචි කර තිබුණත් සෙසු කෞතුකාගාරවල තිබෙන කෞතුක වස්තු පිළිගත් ක්‍රමවේදයකට අනුව ලේඛනගතව නැති බව පැහැදිලිය.

එහෙයින් කෞතුකාගාර විද්‍යානුකූලව ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ක්‍රමවේදයකට අනුව ලේඛනගත කිරීමේ වැඩපිළිවෙළක් සැකසීම අත්‍යවශ්‍යයෙන්ම ඉටු කළ යුතුව ඇත. මෙමඟින් ශ්‍රී ලංකාවේ කෞතුකාගාරවල කොපමණ කෞතුක වස්තු සංඛ්‍යාවක් තිබේද යන්න ගණනය කළ හැකි වනු ඇත. මෙහිදී අපගේ විශේෂ අවධානයක් යොමු කළ යුතු තවත් එක් වැදගත් කරුණක් වන්නේ එක් එක් කෞතුකාගාරයක් සතු කෞතුක වස්තු ශ්‍රේණිගත කිරීමයි. “ඒ”, “බී” සහ “සී” යනුවෙන් කෞතුක වස්තු ශ්‍රේණිගත කළ යුතු ය. කෞතුකාගාර විද්‍යානුකූල මූලධර්මවලට අදාළ නිර්ණායක පදනම් කරගෙන මෙම කාර්යය ඉටු කළ හැකිය. එමඟින් එක් එක් කෞතුකාගාරවල තිබෙන උත්කෘෂ්ඨ තත්ත්වයට අයත් වස්තූන් හඳුනා ගැනීම පහසු වන අතර එවැනි වස්තූන් කෙරෙහි කෞතුකාගාරයක් සැලසිය යුතු අනිවාර්ය වැඩපිළිවෙළ ඒ සඳහා සැකසෙනු ඇත.

ලේඛනගත කිරීමේ කාර්යය සඳහා දියුණු තාක්ෂණය භාවිත කිරීම මඟින් උසස් තත්ත්වයෙන් එය ඉටු කළ හැකිවනු ඇත. කෞතුක වස්තු ත්‍රිමාණකරණ ඡායාරූපගත කිරීම හා පරිගණක වැඩසටහන්වලට ඇතුළත් කිරීමෙන් මේ පිළිබඳ පර්යේෂණයේ නියුතු වන්නන් හට තොරතුරු ලබාගැනීමේදී එය මහත් පහසුවක් වනු ඇත. උසස් තාක්ෂණය යටතේ කෞතුක වස්තු ප්‍රලේඛනය කිරීමෙන් ඒවායේ සුරක්ෂිතභාවය ද සැලසේ.

සෑම කෞතුකාගාරයක් විසින්ම සැකසූ විධිමත් කෞතුක වස්තු ලේඛණයක් රාජ්‍ය බලාධිකාරියලත් එක් ආයතනයක තිබිය යුතු ය. එසේ වීමෙන් ශ්‍රී ලංකාවේ එක් එක් කෞතුකාගාරවල තිබෙන කෞතුක වස්තු සංඛ්‍යාව කොපමණ ද යන්නත් ඒ අතරින් උත්කෘෂ්ඨ ගණයේ වස්තූන් කොපමණ ඇත් ද යන්නත් වාර්තා වනු ඇත. ලක්ෂ ගණනින් කෞතුක වස්තු තිබෙන හෙයින් ඒවා වෙළුම් කිහිපයකින් ප්‍රලේඛනය කිරීම උචිත වෙයි. ඩිජිටල් තාක්ෂණය මඟින් ද ප්‍රලේඛනය පවත්වා ගැනීම අවශ්‍ය වෙයි.

කෞතුකාගාර ප්‍රදර්ශන වැඩි දියුණු කිරීම

 

කෞතුකාගාරයක හදවත කෞතුක වස්තු බව අපි දනිමු. කෙතරම් උත්කෘෂ්ඨ කෞතුක වස්තුවක් වුවද ආකර්ෂණීය ප්‍රදර්ශන ක්‍රමවේදයකින් තොරව ඉදිරිපත් කර ඇත්නම් නරඹන්නන් කෞතුක වස්තුව කෙරෙහි බැඳ තබා ගැනීම දුෂ්කර වෙයි. කොළඹ ජාතික කෞතුකාගාරය, සිගිරිය හා පොළොන්නරුව මධ්‍යම සංස්කෘතික අරමුදල කෞතුකාගාර හා රේගු කෞතුකාගාරය වැනි කෞතුකාගාර කිහිපයක් හැරුණු කොට ලංකාවේ තිබෙන බොහෝ කෞතුකාගාර මහජන ආකර්ෂණයට බඳුන් නොවනුයේ ඒවායෙහි යල් පිනූ ප්‍රදර්ශන හේතුවෙනි. මේ තත්ත්වය හේතු කොටගෙන එවැනි කෞතුකාගාරවල තැන්පත්ව ඇති මහාර්ඝ වූ උරුම වස්තූන් මහජනයාට නැරැඹීමටත් ඒ පිළිබඳ දැනුවත් වීමටත් තිබෙන ඉඩ ප්‍රස්ථා අහිමි වෙයි. එහෙයින් ක්‍රමානුකූල ලෙස කෞතුකාගාරවල ප්‍රදර්ශන තත්ත්වය උසස් කිරීම වෙනුවෙන් කටයුතු කිරීම අවශ්‍ය වෙයි.

කෞතුක වස්තුවල සුරක්ෂිතභාවය

උත්කෘෂ්ඨ කෞතුක වස්තූන්ගෙන් සමන්විත කෞතුකාගාර නිරන්තර අවදානමෙන් පසුවෙයි. අන් කවර කලෙකටත් වඩා කෞතුක වස්තු පැහැර ගැනීම් පිළිබඳ වාර්තා වෙයි. ලෝකයේ බොහෝ දියුණු කෞතුකාගාරවල තැන්පත් කර තිබූ උත්කෘෂ්ඨ ගණයේ වස්තූන් සොරා ගැනීම් මීට කදිම නිදර්ශනයි. දියුණුතම ආරක්ෂකවැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා තිබූ ලෝක ප්‍රකට කලා කෘතියක් වන මොනාලිසා සිතුවම පැහැර ගැනීම මේ වගට තිබෙන ආසන්නතම උදාහරණයයි.

මෙහි මීට පෙර සාකච්ඡා කළ පරිදි ශ්‍රී ලංකාවේ උත්කෘෂ්ඨ ගණයේ කෞතුක වස්තු මොනවාද යන්න හඳුනාගෙන ඒවා තැන්පත්ව ඇති කෞතුකාගාර සඳහා ජාතික මට්ටමේ ආරක්ෂක වැඩපිළිවෙළක් සැකසීම අත්‍යවශ්‍ය කරුණකි. උත්කෘෂ්ඨ ගණයේ කෞතුක වස්තු තැන්පත් කර ඇති කෞතුකාගාරවල දැනට ක්‍රියාත්මක වන ආරක්ෂක වැඩපිළිවෙළ සමාලෝචනය කොට ඒවායේ දුර්වලකම් මඟහරවා ගනිමින් ශක්තිමත් ආරක්ෂක වැඩපිළිවෙළක් රාජ්‍ය මට්ටමින් සැළසුම් කිරීම ද අවශ්‍ය වෙයි.

රංජිත් ‍ෙහ්වගේ
කෞතුකාගාර අධිකාරි
කොළඹ ජාතික කෞතුකාගාරය


නව අදහස දක්වන්න

Or log in with...