මෑන්පවර් සේවකයන්ගේ වර්ජනයට වාරණයක් | දිනමිණ

මෑන්පවර් සේවකයන්ගේ වර්ජනයට වාරණයක්

රෝෂන් තුෂාර

ශ්‍රීලංකා ටෙලිකොම් සමාගමේ මෑන්පවර් සේවකයින් දින කිහිපයක සිට ගෙනයන වැඩ වර්ජනයට වාරණ නියෝගයක් කොළඹ දිසා අධිකරණය ඊයේ (05) නිකුත් කළේය. ටෙලිකොම් ආයතනයේ සේවයේ නියුතු පුද්ගලයන්ට, රාජකාරි කටයුතුවලට හෝ දේපළවලට අලාභහානි වන අයුරින් හෝ බාධාවන අයුරින් වැඩ වර්ජනයේ නිරතවීම වළක්වමින් හා සේවකයින් බියගැන්වීම වළක්වමින් මෙම වාරණය නිකුත් කළේය.

සමස්ත ලංකා විදුලිසංදේශ සේවක සංගමය, සුරකිමු ශ්‍රී ලංකා වෘත්තීය සමිති පෙරමුණ ඇතුළු මෑන්පවර් සේවක සංගම් 15කට හා නිලධාරින් හයදෙනකුට එරෙහිව නිකුත්කළ මෙම වාරණය ලබන 19 දින දක්වා ක්‍රියාත්මක වේ. ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම පැවරූ නඩුවක් සලකා බැලීමෙන් පසුව කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සුජීව නිශ්ශංක මහතා මෙම වාරණය නිකුත් කළේය.

වර්ජනයේ නිරත මෑන්පවර් සේවකයන්ට ටෙලිකොම් සමාගමේ සේවකයින් ලෙස අයිතිවාසිකම් ඉල්ලා සිටීමට කිසිදු නීතිමය අයිතියක් නොමැති බවත්, ඔවුන් ටෙලිකොම් සේවකයන් නොවන බවත් ජනාධිපති නීතිඥ කුෂාන් ඩී අල්විස් මහතා පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේය.

එහෙත් මෑන්පවර් සේවකයන්ගේ ඉල්ලීම් සලකා බලා අදාළ අමාත්‍යවරයා විසින් සුදුසුකම් සපුරා ඇති සේවකයන් ටෙලිකොම් සමාගමට බඳවාගන්නා ලෙස නිර්දේශ නිකුත්කර ඇති බවත් ඒ අනුව සුදුසුකම් ඇති සේවකයන් පමණක් ටෙලිකොම් සමාගමට බඳවාගෙන ඇති බවත් නීතිඥවරයා කරුණු ඉදිරිපත් කළේය.

ටෙලිකොම් සමාගමේ නොවන සේවක පිරිසක් වන මෙම මෑන්පවර් සේවකයන්ගේ වැඩ වර්ජනයට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ද තහනම් නියෝගයක් නිකුත්කර ඇති බව පැවසූ අල්විස් මහතා එම නඩුව අද (6) කැඳවන බව ද දිසා අධිකරණයට දන්වා සිටියේය.

එස්. එල්. ටී. හියුමන් කැපිටල් සර්විස් සමාගමේ (මෑන්පවර් ආයතනයේ) සේවකයින් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ සේවකයන් ලෙස බඳවා ගැනීමට කිසිඳු නීතිමය අයිතිවාසිකමක් නොමැති බවට ප්‍රකාශ කරන නඩු තීන්දුවක් ඉල්ලා මෙම නඩුව පැවරීය.

සුදත් පෙරේරා නීතිඥ සමාගම මගින් පැවරූ මෙම නඩුවේ කරුණු සලකා බැලූ ප්‍රධාන දිසා විනිසුරුවරයා දින 14ක වාරණ නියෝග ද අතුරු තහනම් දැන්වීම් හා නොතිසි නිකුත්කරමින් ලබන 19 දින අධිකරණයේ පෙනී සිටින ලෙසට විත්තිකරුවන් 21 දෙනාට නියෝග කළේය.

 


නව අදහස දක්වන්න

Or log in with...