සහල් අර්බුදය 20දා වනවිට අවසන් | දිනමිණ

සහල් අර්බුදය 20දා වනවිට අවසන්

මහින්ද අලුත්ගෙදර

වෙළඳපොලේ පවතින සහල් ගැටලුව එළඹෙන 20 දා වනවිට සම්පූර්ණයෙන්ම අවසන් කරන බව මුදල් රාජ්‍ය ඇමැති ලක්ෂමන් යාපා අබේවර්ධන මහතා කියයි. සහල් ගෙන්වීම සම්බන්ධයෙන් වූ ටෙන්ඩර් කැඳවීම පෙරේදා (4) වනවිට අවසන්කර තිබෙන පවසන ඒ මහතා මේ වනවිට ආනයනකරුවන් 50දෙනෙකු පමණ ඉදිරිපත් වී සිටින බවද මේ සම්බන්ධයෙන් පත්කර තිබෙන ආර්ථික කමිටුව හරහා සියලු කටයුතු සිදුකරන බවද ප්‍රකාශ කරයි.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී ඊයේ (5) පැවැති විශේෂ මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පෙන්වා දුන්නේ සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් පමණ විදේශ රටවලින් ආනයනය කිරීම සඳහා තීරණයකර තිබෙන බවත් ආනයනය කරන්නේ කුමන සහල් වර්ගය ද යන්න ආර්ථික කමිටුව තීරණය කරන බවත්ය. පසුගිය කාලයේ සතොස සහල් කිලෝග්රෑම් ලක්ෂයක් වෙළෙඳපළට නිකුත් කිරීමත් සමඟ සහල් කිලෝග්රෑමය රුපියල් 76ක මිලකට මිල දී ගැනීමේ හැකියාව තිබූ බව සිහිපත් කළ ඒ මහතා ඒ අනුව සහල් තොග ආනයනය කිරීමෙන් පසුව පාලන මිලක් යටතේ වෙළෙඳපළට නිකුත්කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි විශ්වාසය පළ කළේය. ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා, කම්කරු හා වෘත්තීය සමිති සබඳතා ඇමැති ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති මහින්ද අමරවීර මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ. 

නව අදහස දක්වන්න