සිරමැදිරියක නිකරුණේ කල් නොයවා උපාධියට වෙහෙසුණා

බුද්ධිකා ඉඹුලාන

ඉගෙන ගැනීමට වයස් සීමාවක් නොමැත්තේය. ඇතැම්හු මිය යන තෙක්ම විවිධ දේ ඉගෙන ගනිති.පසුගිය දා 73 වියැති කාන්තාවක් අ.පො.ස .සාපෙළ විභාගයට පෙනී සිටියාය. අනාගතය ගැන බලාපොරොත්තු අත්හළ යුතු නැතැයි පසක් කරමින්, මරණ දණ්ඩනයට නියම වූ බී.ඒ .ලක්මිණී ඉන්දික බමුණුසිංහ ඊයේ (4)ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී (බාහිර) උපාධිය ලබා ගත්තේය.

ප්‍රකට ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතන සිද්ධියට වරදකරු වී මරණ දණ්ඩනය නියම වූ ලක්මිණි ඉන්දික බමුණුසිංහ වැලිකඩ චැපල් වාට්ටුවේ සිරකුටි අංක ටී.22006හි අභියාචනා සිරකරුවකුව සිටියි.

නුගේගොඩ ප්‍රදේශයේ ජනප්‍රිය බාලක පාසලක අධ්‍යාපනය ලැබූ ඉන්දික ශ්‍රී ලංකා පොලිසියේ උප පොලිස් පරික්ෂකවරයකු ලෙස සේවයට එක්වුයේ පාසල් අධ්‍යාපනය නිම වීමෙන් කෙටි කලක දීයි. 2012 වසරේ දී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී බාහිර උපාධිය සඳහා ලියාපදිංචි වී පළමු ප්‍රථම ශාස්ත්‍ර පරික්ෂණ සමත් වූ ඔහුට සිපිරි ගෙදරට යන්නට සිදුවුයේ අවාසනාවන්ත සිදුවීමක් මුල් කරගෙනය.

මරණ දණ්ඩනය හිමිවුණ ද එයින් ජීවිත ආශාව අත්නොහළ ඔහු අභියාචනයක් ඉදිරිපත් කළ අතර සිරමැදිරියකට වී නිකරුණේ දුකින් කාලය ගත කරනවාට වඩා තම උපාධිය සම්පූර්ණ කර ගත යුතු යැයි අලුත් බලාපොරොත්තුවක් ජනිත කර ගත්තේය.

මේ සම්බන්ධයෙන් බන්ධණාගාර අධිකාරිවරයා මගින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතාට දැන්වීමෙන් පසු සිය අධ්‍යාපන කටයුතු නොකඩවා කර ගෙන යාමට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාඅවසර ලබා දී තිබිණී.

ලැබුණු අවසරය මත චැපල් වාට්ටුවේ සිර කුටියක සිට යළීත් තම උසස් අධ්‍යාපනය ඇරැඹු ඉන්දික බමුණුසිංහට ඒ සඳහා අවශ්‍ය සටහන් ලබා දුන්නේ තම ප්‍රිය බිරියයි. උපාධි පාඨමාලා පවත්වන පෞද්ගලික පන්ති වෙත ගිය ඇය ඔහු වෙනුවෙන් අවශ්‍ය සටහන්, නිබන්ධන සහ සීඩී තැටි එක් රැස් කළාය. ඇය රැගෙන එන මේ සටහන්, නිබන්ධන ඔහු රාත්‍රිකාලයේ තම සිර කුටියට වී පාඩම් කළ අතර බාහිරව පැවැත් වූ සම්මන්ත්‍රණවලට බන්ධනාගාර නිලධාරි විශේෂ ආරක්ෂාව යටතේ ඉන්දිකට සහභාගිකරවීමට වැලිකඩ බන්ධනාගාර අධිකාරී චන්දනඒකනායක මහතා පියවර ගෙන තිබිණි.

තමන් ශාස්ත්‍රපති උපාධිය සමත් බව විශ්ව විද්‍යාලයෙන් දන්වා එවූ පුවත ඉන්දිකට දැන ගන්නට ලැබුණු විගසම දැඩි සතුටක් දැනුන ද එකෙණෙහිම ඔහුගේ සිතට නැගුණේ සිරකරුවකු වූ මට මේ උපාධි සහතිකය ලබා ගැනීමට බණ්ඩාරනායක සම්මන්ත්‍රන ශාලාවට යාමට වරම් ලැබේදැයි යන ප්‍රශ්නයයි. තමන් උපාධිය සමත් වූ බව වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාට දැන් වු ඉන්දික ඔහුගෙන් ඇසුවේ 'සර් ඇත්තටම මට මේ උත්සවයට යන්න අවසරය ලැබේවිද? කියායි. කෙසේ හෝ මේ උපාධි ප්‍රදානෝත්සවයට යාමට තමන් අවසර රැගෙන දෙන්නෙමි යැයි ඒකනායක මහතා ඉන්දිකට දැන්වු අතර බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතාගේ කාරුණික මැදිහත්වීම මත ලැබුණු අවසරයෙන් ඊයේ (5) ඉන්දික තම උපාධී සහතිකය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමිපාණන් අතින් ලබා ගත්තේ සිය ප්‍රිය බිරිය, මව මෙන්ම සිය ප්‍රියයන්ගේ නෙතට කඳුලක් එක් කරමිනි.

උපාදි සහතිකය දොත දරා ඉන්දික බමුණුසිංහ පැවැසුවේ ඔහු අපරාධ විද්‍යාව සම්බන්ධව ශාස්ත්‍රපති උපාධීය හැදෑරීම තම ඉදිරි අරමුණ බවයි. තම උසස් අධ්‍යාපනය සාර්ථකවකර ගෙන යාමට අවස්ථාව ලබා දුන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ, වැලිකඩ බන්ධනාගාර අධිකාරි චන්දන ඒකනායක යන මහත්වරුන් ප්‍රමුඛ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරීන්ට සිය කෘතඥතාව පුදකිරීමට ද අමතකකළේ නැත. 

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...