කොග්ගල ආයෝජන කලාපයට වසර 25යි | දිනමිණ

කොග්ගල ආයෝජන කලාපයට වසර 25යි

ජයසිරි මුණසිංහ

ඇමෙරිකා ඩොලර් ලංකාවට ගේන අත්වැසුම් නිෂ්පාදනය අද සිට

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ කොග්ගල ආයෝජන ප්‍රවර්ධන කලාපය ආරම්භ කොට වසර විසිපහක් සපිරුණි. සියවස් කාලක් තරම් වන ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන සටහනක් තබමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (6) ඒ.ටී.ජී. හෑන්ඩ් කේයාර් පුද්ගලික සමාගමේ නිෂ්පාදන කටයුතු ආරම්භ කැරේ.

ලොව කාර්මිකකරණ අංශයේ දැවැන්තයින් හා කරට කර තරග කොට වෙළෙඳපොළ දිනා ගැනීමට සමත් වන්නා වු අනාරක්ෂිත අත් ආවරණ නිෂ්පාදනය කිරීම නව කර්මාන්ත ශාලාවේ මූලික කටයුත්තය.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ වතුපිටිවල හා කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපවල දැනටමත් නිෂ්පාදන කටයුතු ආරම්භ කොට තිබෙන මේ කර්මාන්ත ශාලාව දකුණුලකට පැමිණියේ ඉන් සිදුවන සේවාව තවත් ව්‍යාප්ත කිරීමේ අරමුණිනි. ඒ අනුව කොග්ගල ආයෝජන ප්‍රවර්ධන කලාපයේ අද ඇරඹෙන කම්හලින් සෘජු රැකියා 150ක් ජනිත වේ. ඒ පළමු අදියර යටතේදීය. තවත් වසර දෙක තුනකින් මේ කර්මාන්ත ශාලාව වඩාත් ව්‍යාප්ත වී අලුතින් සෘජු රැකියා 2500ක් ජනිත කරනු ඇත.

ශ්‍රී ලංකාවේ ගම්බද පළාත්වල විරැකියාවෙන් පෙළෙන තරුණ තරුණියන්ට නව රැකියා අවස්ථා හිමිකරදීම මේ කර්මාන්ත ශාලාවෙන් සිදුවේ. ලොව ධනවත් යුරෝපීය රටවලට අවශ්‍ය ආරක්ෂිත අත් ආවරණ නිපදවීම මේ මඟින් සිදු වේ.

ශ්‍රී ලංකාවට වාර්ෂිකව හිමිවන අපනයන ආදායම් ඉහළ නංවාගැනීමට මේ තුළින් රැකුලක් වනු ඇතැයි ද ඒ.ටී.ජී. හෑන්ඩ් කෙයාර් පුද්ගලික සමාගම ප්‍රකාශ කරයි. බ්‍රිතාන්‍ය ජාතික ජෝන් ටේලර් මහතා සභාපතිත්වය දරන මේ සමාගම ඉදිරියේදී තවත් ආයෝජන සිදු කිරීමට සූදානම්ය.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ කොග්ගල ආයෝජන ප්‍රවර්ධන කලාපයේ අධ්‍යක්ෂ මේජර් ගාමිණී දහනායක මහතා අදහස් දක්වමින් මේ ප්‍රවර්ධන කලාපය ආරම්භ කළේ වසර 1991දීයි. එදා සිට මේ දක්වා ගතවූ විසිපස් වසරක් සපිරුණ ඉතිහාසයේ ඉතා වැදගත් ආයෝජනයක් තමයි අද මේ මල් ඵල දරන්නේ.

මේ කර්මාන්ත පුරය අක්කර 225ක් විශාලයි. දැනට කර්මාන්ත ශාලා 23ක් නිෂ්පාදන කටයුතුවල නිරත වෙනවා.

ඇඟළුම්, ගුවන්යානා කොටස් නිෂ්පාදනය, සුඛෝපභෝගී බෝට්ටු නිෂ්පාදනය, ඉලෙක්ට්‍රෝනික් උපකරණ නිෂ්පාදනය මෙහි ප්‍රධාන වශයෙන් සිදුවෙනවා. ඒ අතරට අලුතින් ආරක්ෂිත අත් ආවරණ කර්මාන්ත ශාලාව විශේෂයි කියා සිටියේය.

කොග්ගල ආයෝජන ප්‍රවර්ධන කලාපයේ අදින් ඇරඹෙන මේ ආරක්ෂිත අත් ආවරණ සම්පූර්ණයෙන්ම විදේශ වෙළෙඳපොළ වෙත යවනු ලැබේ. ඉන් රටට ගලා එනුයේ අමෙරිකානු එක්සත් ජනපද ඩොලර්ය. මේ අන්දමට ඩොලර් වලින් ආදායම් උපයන කර්මාන්ත වැඩි වැඩියෙන් බිහි කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් සැපැයීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සූදානමින් සිටින බව ද කලාප අධ්‍යක්ෂවරයා කියා සිටියේය.

සම්පූර්ණයෙන්ම පරිසර හිතකාමී මෙන්ම ඉහළ ප්‍රමිතීන්වලට අනුගතව නිෂ්පාදන සිදු කරන මේ කර්මාන්ත ශාලාවට අක්කර 12ක බිමක් පැතිර පවතී.

නව අදහස දක්වන්න