ගල්ගමුවේ මිලේච්ඡ ගව ඝාතකයෝ නිදැල්ලේ

ජීවත්වීම මේ ලොව උපන් සියලු දෙනාටම පොදු වූ ධර්මතාවකි. මිනිසාගේ පටන් මහ පොළොව අරක් ගන්නා කුරා කූඹියා දක්වා ඒ අයිතිය ලැබී තිබුණ ද හිත් පිත් නැති බොහෝ මිනිසුන්ගේ ක්‍රියා නිසා අද සත්ත්ව ලෝකයේ පමණක් නොව මිනිස් ලෝකයේ ද ජීවිත බුක්තිය අවධානමකට ලක් වී ඇත. රටේ තොටේ බොහෝ ප්‍රදේශවලින් දිනෙන් දින මිනිස් ඝාතන ඉහළ යද්දී සත්ත්ව ලෝකයේ ද ඝාතනය කිරීම රැල්ලක් මෙන් ආරම්භ වන්නාක් සේ හැඟේ. මන්ද නගරයෙන් නගරයට ඉදි වන මස් අලෙවිසැල් හමුවේ වනාන්තරවල සතුන් මෙන්ම නිවෙස්වල ඇති කරන සතුන් ද බොහෝමක් අද අපට අහිමිව යන තත්ත්වක් උදා වී තිබේ. ඒ අතර ගවයාගේ ජීවිතය ද ක්‍රමයෙන් විනාශ මුඛයටම යන්නාක් මෙන් පෙනී යන්නේ ඉකුත් වසරේ අවසාන කාලයේ ගල්ගමුව ඇතුළු ප්‍රදේශ කිහිපයක ඉතාම කෘෘර ආකාරයෙන් ගව ඝාතන සිදුවීමට පටන් ගැනීමත් සමඟිනි.

ගල්ගමුව නගරය ඇතුළු ඒ අවට ප්‍රදේශ කිහිපයකින් කෘෘර ආකාරයේ ගව ඝාතන පෙළක් අසන්නට ලැබුණේ මුළු ප්‍රදේශයම කම්පාවට පත් කරමිනි. පර පණ නසන්නට හිත් පිත් නැති නරුමයන් කඩු මුගුරු ගෙන ලක ලෑස්ති වෙද්දී ඒ ගවයන් මිනිස් ආසාවට සිය ශරීරය දන් දෙන්නට ඇත්තේ කොතරම් වේදනාවකින් දැයි ඒ සිදුවීම් වාර්තා කරන්නට ගිය අපට සිතුණි. ගව අයිතිකරුවන් පොලිස් පොතේ තම දුක් අදෝනාව සටහන් කරද්දී අදටත් ඒ හරක් හොරුන් කිහිප දෙනෙක්ම නිදැල්ලේ තම ව්‍යාපාර කටයුතුවල නිරතව ඇත. නමුත් ජීවිකාව ගෙන යන්නට කිරි හරක් පාලනය කළ එම අයිතිකරුවන්ට අද ඇත්තේ දුකත් වේදනාවත් මුසු වූ හැඟීම පමණි.

ඉකුත් වසරේ ඔක්තෝබර් මස 19 වැනි දාට හිරු මුදුන් වෙද්දීම මහගල්කඩවල ප්‍රදේශයෙන් අසන්නට ලැබුණේ හද කම්පා කරවන පුවතකි. ඒ කුඹුක්වැව වැව් තාවුල්ලේ බැඳ සිටි ගැබ්බර එළදෙනුන් තුන් දෙනකු හා එක් ගොනකු අමු අමුවේ කපා මස් කර තිබූ ශෝචනීය කරුණකි. මුස්ලිම් ජාතිකයකු වූ රිමාස් මොහොමඩ් නැමැත්තාට අයත් කිරි ගවයන් මෙසේ කපා කොටා තිබුණේ කිසිවකුටත් අදහා ගත නොහැකි ලෙසිනි. ඒ ස්ථානය නිරීක්ෂණය කළ අපට දකින්නට ලැබුණේ ද කපා මස් කළ එළදෙනුන් තිදෙනාගේ හා පිරිමි සත්ත්වයාගේ අභ්‍යන්තර කොටස් (බඩවැල්) එක් ස්ථානයක ගොඩ ගසා ඇති අයුරුය. තවත් පසෙකින් වූයේ එම සතුන්ගේ සම පැදුරක් මෙන් පිළිවෙළකට එළා ඇති අයුරුය. හිත් පිත් නැති පාපතරයන් ගැබ්බර එළදෙනුන්ගේ කුසේ වූ නොමේරු කළල අසල වන රොදකට විසි කර දමා තිබුණි. සියල්ල සිදු කර මස් ගොඩ රැගෙන ගිය ද ඒ පාපතරයන්ගේ හදවතින් ඔවුන්ටම දුන් දඬුවම ගැන අප කතා කළ යුතු නැත. එහෙත් එදින මුළු කුඹුක්වැව ගම්මුන්ගේ දෑස් කඳුළින් බොඳ වී ගිය අයුරු මුසාවක් නොවේ. කාන්තාවන් පපුවේ අත තබා සුසුම්ලෑහ. එහෙත් අදටත් ඒ ගව ඝාතනයේ අපරාධකරුවන් හඳුනාගෙන නොමැත.

එසේම පසුගිය වසරේ මෙවැනි හද කම්පා වන පුවතක් වාර්තා වූයේ ගල්ගමුව, සෙනරත්ගම ප්‍රදේශයෙනි. ඒ ඉකුත් දෙසැම්බර් මස 08 වැනි දාය. ඒ පෙර දා රාත්‍රියේ කුඹුරු යායේ බැඳ සිටි ගැබ්බර එළදෙනුන් දෙදෙනෙක් හා එක් ගොනකු කපා මස් කර ඇති පුවතකි. එදින ද පෙර මෙන්ම නොමේරූ කළල වෙල්යායේ ලියැද්දක දමා තිබූ අතර අභ්‍යන්තර කොටස් එක් තැනක ගොඩ ගසා තිබිණ. මර බියෙන් දෑත් දෙපා ගැට ගැසූ මේ එළදෙනුන් කොතරම් වේදනාවෙන් කෑ ගසන්නට ඇද්දැයි ඒ ආසන්නයේ වූ අසූචිවලින්ම (ගොම) අපට සිතා ගත හැකි විය. එහෙත් මේ සිදුවීම අලුයම් කාලයේ සිදු කර උදෑසනවත්ම වීදුරු කළු කළ කුඩා වෑන් රථයකින් මස් ප්‍රවාහනය කර තිබුණි. ගමේ දෙතුන් වරක්ම එහා මෙහා ගිය මේ වෑන් රිය වෙල් යාය අසල පාන්දරම නවතා තිබිය දී ගමේ අයකු ඒ පිළිබඳ විපරම් කර තිබුණි. ඒ නිසාම ඔවුන්ගෙන් ප්‍රශ්න කරද්දී කපා මස් කර තිබූ කිලෝ 50ක පමණ මස් ද දමා වෑන් රිය වේගයෙන් පලා ගියේ යැයි අප සමඟ තොරතුරු පැවැසූ ඔහු කියා සිටියේය. නමුත් අදටත් ඒ ගව සොරුන් ද නිදැල්ලේය. රුපියල් ලක්ෂ දෙක හමාරකට ආසන්න වටිනාකමක් ඇති මේ ගවයන් දෙදෙනා ද කිරි ගවයන් ලෙස ඇති දැඩි කරමින් සිය ජීවිකාව ගෙන යන්නට මහා වීරියක් ගත් බව එහි අයිතිකරු වූ එච්. එම්. ධර්මරත්න මහතා කියා සිටියේය.

ගල්ගමුවේ හරක් සොරුන් ඒ ආකාරයෙන් පාපතර සේවනයේ යෙදෙද්දී පොල්පිතිගමින් අසන්නට ලැබුණේ ඊට වඩා වෙනස් සිදුවීමක්ය. ඒ පොල්පිතිගම, හාතිගමුව ප්‍රදේශයෙනි. පුද්ගලයන් දෙදෙනකු විසින් සොරාගෙන යමින් සිටි එළදෙනුන් තිදෙනකුගෙන් එක් එළදෙනක් තම හාම්පුතාගේ නිවස ඉදිරිපිට දී බිම වැතිරී කෑ ගසන්නට පටන් ගෙන තිබුණි. කෙසේවත් ඉන් එහාට අඩියක් හෝ එම එළදෙනුන් ගෙන යා නොහැකි තැන හරක් හොරුන් කර ඇත්තේ පොල්ලකින් පහර දී එම එළදෙනගේ කකුලක් කඩා දමා තියුණු ආයුධයකින් එළදෙනගේ ශරීරයේ ස්ථාන කිහිපයකටම ඇන යන්නට යාමය. තුවාල ලබා වේදනාවෙන් සිටි එළදෙනට පශු වෛද්‍යවරුන් මැහුම් හතක් යොදා තිබුණි. කඩා දැමූ පාදයට ද ප්‍රතිකාර කර තිබුණි. කෙසේ හෝ ඒ යන අතරමඟ දී එම සොරුන් වෙනත් පුද්ගලයකුගේ එළදෙනුන් දෙදෙනෙක් සොරකම් කරගෙන ගොස් තිබුණි. එහෙත් මේ ලොව සත්‍ය කිසිදා සැඟවිය නොහැකි යැයි කියන කියමන සැබෑ කරමින් පොලිස් නිලධාරීන් විසින් පසුව ඔහුන් අත්අඩංගුවට ගෙන තිබුණි.

එහෙත් මේ අපරාධ මෙතැනින් නවතින බව ඉදුරාම කිව නොහැකිය. ඒ සියල්ල මුදල් මත තීරණය වන වකවානුවක සතුන් මරා හෝ මුදල් ඉපැයීමට මේ පාපතරයන් පුරුදුව සිටින නිසාවෙනි. බුදුන් එක් වරක් නොව තෙවරක් වැඩි දේශයක මෙවන් අපරාධ සිය ගණනක් සිදු වන බව රහසක් නොවේ.

මේ තත්ත්වය හමුවේ ගල්ගමුව ඇතුළු ප්‍රදේශ කිහිපයකම කිරි පාලනය කරන්නන් දැඩි බියකින් පසුවෙන බවට ද වාර්තා වේ. තම ගවයන් මරා මස් කර දැමීම කෙසේවත් දරා ගත නොහැක්කක් බව ඔවුන් අප සමඟ කියා සිටියේ මෙලෙසිනි.

එච්. එම්. සමන්ත මහතා - ගල්ගමුව

"අපි මේ ගවයන් පාලනය කරන්න පුදුම දුකක් විඳිනවා මහත්තයෝ. වෙලාවට වතුර ටික දෙන්න, තණකොළ ටික කපලා ගෙනැත් දෙන්න, බේත් හේත් ටික හරියට දෙන්න අපි විඳින්නේ පුදුම දුකක්. එහෙම කරලා උස් මහත් කර පැටියෙක් ලැබුණාම තමා අපිට කිරි ටිකක් ලැබෙන්නෙ ජීවත් වෙන්න. එහෙම කරන මේ සතාට ඇයි මේ විදිහට කරන්නේ කියලා මට නම් හිතා ගන්න බෑ. මේවා ඇහෙද්දී හිතෙනවා මේ මිනිස්සු මේ තරම් තිරිසන් ද කියලා."

පස්ගෝ රස මිනිසාට ලබා දෙමින්, ඉවතලන පොහොරින් අටුකොටු සරුසාර වෙමින් එමඟින් ද මිනිසාගේ ජීවනාලියට සවියක් ශක්තියක් වන්නට මේ ගව පරපුර කරන සේවය මෙවන් පාපතරයන් කෙසේවත් දන්නේ නම් නැත. එහෙත් කෘෘර ලෙස මෙවන් ඝාතන සිදු කර නිදැල්ලේ ජීවත් වන්නට නම් ඔවුන් සූක්ෂමව කටයුතු කරන්නේය. මීගලෑව, ඇහැටුවැව, ගිරිබාව, ගල්ගමුව ඇතුළු ප්‍රදේශවල ගව පාලනයේ නිරත වන්නන් පසුවන්නේ මේ ඝාතකයන්ට බියෙනි. හිරු උදාවෙත්ම ඔවුන් දිව යන්නේ වෙල්යායේ, වැව් තාවුල්ලේ බැඳ සිටින තම ගවයන් බැලීමටය. එවන් තත්ත්වයකට අද මේ ප්‍රදේශ පත්ව තිබේ. එසේම එළදෙනුන්ගේ ගාත පවා පණ පිටින් කපා ගෙන යන්නට ද මේ ප්‍රදේශයේ ඇතැම් පාපතරයන් පුරුදුව ඇත්තේ මහා නින්දිත ආකාරයෙනි. එමෙන්ම කුඩා පැටවුන් මරා මස් කර මුව මස් ලෙසින් අලෙවි කිරීමේ ජාවාරමක් ද මේ සොරුන් විසින් ක්‍රියාත්මක කරනු ලබන තවත් දෙයකි.

ජීවිතයට සමු දී මිනිසුන්ගේ දිව නහර පිනවන්නට තම ජීවිතය පුදන මෙවන් සතුන් රකිනවා විනා මෙවන් අපරාධවලින් ඔවුන් විනාශ නොකිරීමට මේ බුදුන්ගේ දේශයේ මිනිසුන් සිතිය යුතුය. එහෙත් එය එසේ නොවන්නේ නම් මේ ධර්මද්වීපයේ මෙවන් අපරාධ දිනපතාම අසන්නට දකින්නට සිදුවනු ඇත. උදා වූ මේ නව වසරේවත් එවන් දේ සිදු නොවේවායි අපි ප්‍රාර්ථනා කරමු.

ගල්ගමුව සමූහ
එම්. එම්. ක්‍රිෂාන් 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 14 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...