රට විනාශ කරන ගනුදෙනුවකට ජනපති ඉඩක් නෑ

උපාලි කරුණාරත්න

"හම්බන්තොට වරාය සහ යෝජිත කර්මාන්ත පුරය පිළිබඳව වැරැදි මත ප්‍රචාරය කරන පිරිස් උත්සාහ කරන්නේ මහා සංඝරත්නය, ජනතාව හම්බන්තොට ප්‍රදේශයේ දී පාරට බස්සවා කලබල කිරීමටයි. එසේ කලබල සිදු කොට හමුදාවට, පොලීසියට පැමිණීමට අවශ්‍ය පසුබිම සකසා වෙඩි තැබීමකින් මනුෂ්‍ය ඝාතනයක් ඇති කර රටේ අරාජික තත්ත්වයක් ඇති කිරීමටයි." යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරයි.

ඇමැතිවරයා එසේ ප්‍රකාශ කළේ පෙරේදා (04) කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදීය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීය.

"විරෝධතාවයේ යෙදෙන පිරිස්වලට සත්‍ය තත්ත්වය පැහැදිලි කර ගැනීමට ජනාධිපතිවරයා හමුවීමේ අවස්ථා ලබාදිය හැකියි. වරාය සහ කර්මාන්තපුරය සම්බන්ධයෙන් සිදු වන අසත්‍ය ප්‍රකාශ නිවැරැදිව තේරුම් ගනිමින් දේශපාලන අවශ්‍යතා මත සංඝ ආඥා භික්ෂූන් වහන්සේලා නිකුත් නොකරනු ඇතැයි මා විශ්වාස කරනවා.

තරුණයන් දහස් ගණනකට රැකියා ලැබීමට මහා සංඝරත්නය විරුද්ධ වෙයි කියා මා සිතන්නේ නෑ. හිස්ව තිබෙන ඉඩම් තමා කර්මාන්තපුරයට යොදා ගන්නේ. එක්තරා පිරිසක් බය වෙලා හම්බන්තොට තරුණයන්ට රැකියා ලැබෙයි කියලා. මම හම්බන්තොට ස්වාමීන් වහන්සේලා හමු වී සත්‍ය තත්ත්වය පහදා දුන්නා. කිසිදු අනවශ්‍ය ආකාරයට රටේ සම්පත් විකුණන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉඩ දෙන්නේ නෑ. පෞද්ගලික අංශය සමඟත් අප කටයුතු කරනවා. කර්මාන්තපුරයේ සහ හම්බන්තොට වරායේ ඉදිරි කටයුතු පිළිබඳව ඉදිරියේ දී ජනතාවට හෙළි දරව් කරනවා. රටට තර්ජනයක් වන, ආරක්ෂාවට තර්ජනයක් වන, ඉඩම් සම්පූර්ණයෙන් විකිණෙන, රට විනාශ කරන කිසිදු ගනුදෙනුවකට ජනාධිපතිවරයා ඉඩ දෙන්නේ නෑ.

හම්බන්තොට වරාය සහ කර්මාන්තපුරය පිළිබඳව මා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළා. ජනාධිපතිවරයාගේ උපදෙස් මත අග්‍රාමාත්‍යවරයා සහ අදාළ ඇමැතිවරුන් හමු වුණා. දැනුවත් වුණා. ඒ පිළිබඳව මගේ මතය ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට ප්‍රකාශ කළා. කිසිවකු බලහත්කාරයෙන් නිවාසවලින් ඉවත් කර කර්මාන්තශාලා හදනවා නම් විරුද්ධ බව කීවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ පැරණි ගම්මානවල කිසිදු පවුලක් ඉවත් කරන්න දෙන්නේ නෑ කීවා. එහි දී යෝජනා වුණා, කර්මාන්තපුරයට හම්බන්තොට හිස් ඉඩම් ප්‍රමාණවත් නොවුණහොත් මොනරාගල සහ ඇඹිලිපිටිය ප්‍රදේශවල හිස් ඉඩම් යොදාගැනීමට. ඉදි වන කර්මාන්ත ශාලා පරිසරයට අහිතකර නොවන කර්මාන්ත විය යුතු බවටත් මම අදාළ බලධාරීන්ට පහදා දුන්නා. මෙවැනි කාරණා ගණනාවක් පිළිබඳව එකඟතාවක් ඇති වෙලා තිබෙනවා. කර්මාන්තපුරයේ දැනට ආරම්භ කිරීමට නියමිතව තිබෙන්නේ සිමෙන්ති කර්මාන්ත ශාලාවක්, තෙල් පිරිපහදුවක්, ගෑස් මඟින් විදුලිය නිෂ්පාදනය කරන ස්ථානයක්. මේවායින් රැකියා දස දහසකට වඩා නිර්මාණය වෙනවා. වරාය ආශ්‍රිතව කර්මාන්තපුරයක් සඳහා පසුගිය රජය ද සූදානම් වුණා.

හම්බන්තොට වරායට වියදම් වූ මුදල් පිළිබඳව විවිධ ප්‍රකාශ තිබෙනවා. මෙයට වියදම් කර තිබෙන්නේ අමෙරිකන් ඩොලර් බිලියන 1.3ක්. සියයට දෙකේ පොලියට සහ සියයට 6.3 දක්වා පොලියට මේ මුදල් ගෙන තිබෙනවා. හැබැයි හම්බන්තොට වරායේ ආදායමෙන් මේ ණය ගෙවන්න බෑ. කොළඹ වරායේ ආදායම්වලින් මේ වන විට ණය කොටසක් ගෙවනවා. 2016 වර්ෂයේ කෝටි 864ක් ණය සහ පොලී ගෙවා තිබෙනවා. 2017 වර්ෂයේ කෝටි 935ක් ද ඊළඟට කෝටි 985ක් ද ගෙවන්න සිදු වෙනවා. කෝටි 1736ක්, කෝටි 1705ක් යනාදී වශයෙන් ඉදිරි වර්ෂවල දී ණය ගෙවන්න සිදු වෙනවා. මේ ණය ගෙවීම සරල දෙයක් නොවේ. වරාය සංවර්ධනය කිරීමට තවත් මුදල් වැය වෙනවා. හම්බන්තොට වරාය විකුණනවා කියන කතාව අසත්‍යයක්.

වරාය ආශ්‍රිතවම සිටින පවුල් දෙසීයක් පිළිබඳව ගැටලුවක් තිබෙනවා. මම කියන්නේ ඔවුන්ට නිවාස හා වන්දි ලබාදිය යුතු බවයි. හම්බන්තොට කර්මාන්තපුරයේ චීන ආයෝජකයන්ට පමණක් නොවේ වෙනත් රටවල සහ මෙරට අයෝජකයන්ට ද තම කර්මාන්ත ඉදිකිරීමට අවස්ථාව ලබාදිය යුතුයි." 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...