හම්බන්තොට වරාය විකිණීමෙන් මහා පරිමාණ මූල්‍ය දූෂණයක් | දිනමිණ

හම්බන්තොට වරාය විකිණීමෙන් මහා පරිමාණ මූල්‍ය දූෂණයක්

අනුර ප්‍රේමලාල්

හම්බන්තොට වරාය චීන සමාගමකට විකිණීම නිසා ශ්‍රී ලංකා වරාය අධිකාරියට රුපියල් බිලියන තුන්සිය තිහක මුදලක් අහිමීවීමෙන් මහා පරිමාණ දූෂණයක් සිදු වන බවත්, මේ ගැන ඒකාබද්ධ විපක්ෂය පෙරේදා (04) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ පෙරේදා (04) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද කීය.

"මේ පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් ඉදිරිපත් කරනවා. මෙය ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කරන ටොප් ටෙන් හෙළිදරව්වේ පස් වෙනි පැමිණිල්ල වෙනවා. මෙහි දී සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යාන්තර වෙළෙඳ ඇමැති මලික් සමරවික්‍රම, අග්‍රමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශක ආර්. පාස්කරලිංගම්, කළමනාකරණ අධ්‍යක්ෂ (පත් නොකළ) පී. බී. මංගල යාපා, වරාය සහ නාවික කටයුතු අමත්‍යාංශයේ ලේකම් එල්. පී. ජයම්පති මහත්වරුන් සහ ලේකම්වරුන්ගේ කමිටුවේ සාමාජිකයන්ට එරෙහිව පැමිණිල්ල ඉදිරිපත් කර තියෙනවා. මේ පැමිණිල්ලට ඇමණුම් දහයක් කරුණු තහවුරු කිරීමට ඉදිරිපත් කරනවා.

මෙහි දී හම්බන්තොට වරාය ඉදිකිරීමට පළමු හා දෙවන අදියර වෙනුවෙන් ලබා ගත් අමෙරිකානු ඩොලර් බිලියන 1.1ක ණය මුදල වරායට ගෙවීමට අපහසු බව සඳහන් කරනවා. එම නිසා හම්බන්තොට වරායට අයත් කාර්මික කලාපය සහ තෙල් ටැංකි සංකීර්ණයට විදේශ ආයෝජකයන් කැඳවා තුන් වන අදියර සඳහා ද හවුල් ගිවිසුමකට පැමිණ එයින් ලැබෙන ආදායමෙන් එම ණය මුදල ගෙවීමට ඉකුත් වසරේ ජනවාරි මස 04 වැනි දා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ද ලැබුණා. අනතුරුව ඒ සඳහා විදේශ ආයෝජකයන් ගෙන්වීමට වරාය අධිකාරිය විසින් ඉන්දියාව, සිංගප්පූර්ව, මැලේසියාව, ඩුබායි, එක්සත් රාජධානිය, අමෙරිකාව, ඕස්ට්‍රේලියාව රටවල්වල ව්‍යාපාරික සමුළු පවත්වා කාර්මික කලාපයට ආයෝජකයන් විසිහතක් ද, තෙල් ටැංකි සංකීර්ණයට ආයෝජකයන් දහසය දෙනකු ද ඉල්ලුම්පත් ඉදිරිපත් කර තිබෙනවා. කැබිනට් මණ්ඩලය මේ සඳහා අනුමැතිය ලබා දෙමින් එය ක්‍රියාවට නැංවීමට කටයුතු කරමින් සිටිය දී අග්‍රමාත්‍ය කාර්යාලය විසින් වරාය හා නාවික කටයුතු අමත්‍යාංශයේ අනුමැතියකින් හෝ එහි කිසිදු නිලධාරියකුගේ සහභාගිත්වයෙන් තොරව ඔවුන්ට හිතවත් චීන සමාගමකට මෙය ලබාදීමට කටයුතු කර තිබෙනවා." 

නව අදහස දක්වන්න