දක්ෂිණ සංවර්ධනයේ සමහර ගිවිසුම් ගැන සාකච්ඡාවත් නෑ | දිනමිණ

දක්ෂිණ සංවර්ධනයේ සමහර ගිවිසුම් ගැන සාකච්ඡාවත් නෑ

දක්ෂිණ සංවර්ධන සැලැස්ම යටතේ විවිධ ආයෝජකයන් සමඟ ගිවිසුම් ගණනාවකට එළැඹීමට අපේක්ෂා කර ඇතත් ඉදිරියේදී අත්සන් කෙරෙන ඇතැම් ගිවිසුම් පිළිබඳව මෙතෙක් සාකච්ඡා හෝ සිදු කර නැති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

අධ්‍යක්ෂ (ප්‍රවෘත්ති) ඒ. හිල්මි මොහොමඩ් මහතාගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනය මෙසේය.

දක්ෂිණ සංවර්ධන සැලැස්ම යටතේ හම්බන්තොටින් අක්කර 15000ක් චීනයට පවරා දෙන බව ද බෞද්ධ සිද්ධස්ථාන හා පුරාවිද්‍යා උරුමය විනාශ වන බව ද පවසමින් මේ සංවර්ධන ව්‍යායාමයට එරෙහිව ජනමතයක් ගොඩනැංවීමේ කූට සැලැස්මක් බංකොලොත් දේශපාලනඥයන් පිරිසක් විසින් ක්‍රියාත්මක කෙරෙමින් පවතී.

වඩාත් සැලකිල්ලට ගත යුතු කාරණය වන්නේ එදා වරාය නගරය සින්නක්කරවම චයිනා හාබර් සමාගමට ලබාදීමට එකඟත්වය පළ කළ එසේම දළදා මාළිගාවට බෝම්බ ගැසූ මල්වතු පාර්ශ්වය දෙකට කැඩීමට තැත් දැරූ පිරිස් එසේ කිඹුල් කඳුළු සැලීමට කටයුතු කිරීමය.

දක්ෂිණ සංවර්ධන සැලැස්ම යටතේ විවිධ ආයෝජකයන් සමඟ ගිවිසුම් ගණනාවකට එළැඹීමට අපේක්ෂිත අතර මේ අතරින් දැනට අත්සන් තබා ඇත්තේ වරාය සංවර්ධනය පිළිබඳ මූලික රාමුව සම්බන්ධ එකඟතාවට පමණි. දක්ෂිණ සංවර්ධන සැලැස්ම දියත් කිරීමේදී ඉදිරියට අත්සන් තැබෙන සමහර ගිවිසුම් පිළිබඳව සාකච්ඡා ආරම්භ වී ඇති අතර සමහර ගිවිසුම් පිළිබඳව මෙතෙක් කිසිදු සාකච්ඡාවක් හෝ සිදු කර නොමැත.

එසේම ඉදිරියේදී අත්සන් තැබෙන ගිවිසුම් පිළිබඳව වරානුකූලව මහානායක ස්වාමීන් වහන්සේ ඇතුළුව අනෙකුත් සියලු පාර්ශ්වයන් වෙත කරුණු හෙළි කිරීමට අදාළ ඇමැතිවරු ක්‍රියා කරනු ඇත.

හම්බන්තොට වරාය ක්‍රියාශීලී සහ සාර්ථක වරායක් බවට පත් කර ගත හැක්කේ ඒ ඔස්සේ අපනයනය කෙරෙන බඩු භාණ්ඩ ප්‍රමාණය ඉහළ නංවා ගැනීමෙනි. එහෙයින් ඒ අවට ප්‍රදේශවල කර්මාන්ත ශාලා මගින් අලුතින් නිෂ්පාදනය කරන කර්මාන්ත භාණ්ඩ වැඩි වැඩියෙන් නැව් ගත කිරීමට අවකාශ සලසා ගත යුතුය. ඒ අරමුණ මුදුන්පත් කර ගැනීමට නම් අවම වශයෙන් අලුතින් කර්මාන්ත ශාලා 1500ක් පමණ පිහිටුවීමඅවශ්‍ය බව ඇස්තමේන්තු කර ඇත. මේ කර්මාන්ත ශාලා ගබඩා සහ එහි සේවය කරන සේවක සේවිකාවන්ගේ නේවාසිකාගාර හා විනෝදාංශ පහසුකම් වෙනුවෙන් අක්කර 15000ක් පමණ ඉඩම් ප්‍රමාණයක් වෙන් කිරීමට අවශ්‍ය වේයැයි ඇස්තමේන්තු කර ඇත.

‍සත්‍ය වශයෙන්ම මෙහිදී සිදුවනුයේ ඉඩම් හඳුනාගැනීම සහ වෙන් කිරීමක් පමණි. කර්මාන්ත ශාලා සහ වෙනත් ඉදිකිරීම් සඳහා ඒවා ලබාදෙනුයේ ආයෝජකයන් පැමිණෙන ආකාරය අනුවය.

දැනට හම්බන්තොට ව රාය අවට ප්‍රදේශයෙන් ඉඩම් අක්කර 1200ක් හඳුනාගෙන ඇති අතර මාතර දිස්ත්‍රික්කයෙන් අක්කර 2000ක් හඳුනාගෙන තිබේ. මොනරාගල දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති ඉඩම් අක්කර ප්‍රමාණය අක්කර 7000කි. මීට අමතරව තවත් ඉඩම් ප්‍රමාණයක් මොනරාගලින් ලබාදිය හැකි බවට ප්‍රකාශ වී ඇත.

ඒ අනුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ මේ සංවර්ධන කාර්යයන් සඳහා තවත් හඳුනාගත යුතුව ඇත්තේ අක්කර 4000කට අඩු ප්‍රමාණයකි.

මෙහිදී වඩාත් අවධාරණය කළ යුතු කරුණ වන්නේ මෙතෙක් හඳුනාගෙන ඇති සහ හඳුනාගැනීමට යෝජිත ඉඩම්වලින් 95%ක්ම රජයේ ඉඩම් වීමය.

ඒ අනුව බලන කල මේ මහා ව්‍යාපෘතිය සඳහා පෞද්ගලික ඉඩම් ලබා ගැනෙනුයේ 5%ක පමණ ප්‍රමාණයකි. මේ ඉඩම් සඳහා විශේෂ වන්දි මුදල් පමණක් නොව ඒ ඉඩම්වල ඇති නිවාස සහ වගාවන් සම්බන්ධයෙන් ද සුවිශේෂී සහන ලබාදීමට රජය කටයුතු කරයි.

දැනටමත් සංවර්ධන කටයුතු සඳහා ඉඩම් පවරා ගැනීමේදී දිසා ගණනාවක මේ ක්‍රමය ක්‍රියාත්මක වන අතර ඒ ඒ ප්‍රදේශවල ජනතාව ඉතා සතුටින් සහ රටේ අනාගත සංවර්ධනය පිළිබඳ කැපවීමෙන් සිය ඉඩම් ලබාදී ඇත.

සංවර්ධන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමේදී ඒ සඳහා අවශ්‍ය වන ඉඩම් ප්‍රමාණය කල් ඇතුව වෙන් කිරීමලෝකයේ පවත්නා සම්ප්‍රදායයි. ලෝකයේ වෙනත් රටවලින් පමණක් නොව අපේ රටට යාබදවම පිහිටි ඉන්දියාවේ තමිල්නාඩුවෙන්ද මේ සඳහා උදාහර ඕනෑ තරම් සොයාගත හැකිය. චෙන්නායි නුවර සිට කාන්චිපුරම් දක්වා සංචාරයේ යෙදුණු ලංකාවාසී කර්මාන්ත කලාප සඳහා මග දෙපස ඉඩම් වෙන් කර ඇති ආකාරය පිළිබඳව ඇසින් දුටු සාක්ෂි දරති.

එසේම සංවර්ධන සැලැස්ම සඳහා හම්බන්තොටින් අක්කර 15000ක් චීනයට පවරා දෙන්නේය යන්න අමූලික අසත්‍යයකි. මේ සැලැස්ම යටතේ ඉදි කෙරෙන කර්මාන්ත කලාප, තාක්ෂණ කලාප සහ සංචාරක කලාප සඳහා ලෝකයේ විවිධ රටවලින් විවිධ ආයෝජකයන් පැමිණෙනු ඇත. මේ ආයෝජකයන් විසින් සිදු කරන ආයෝජන හේතුවෙන් සෘජු රැකියා ලක්ෂ 3කට අධික සංඛ්‍යාවක් මෙන්ම තවත් ලක්ෂ ගණනකට වක්‍ර ආදායම් මාර්ග සැලසෙනු ඇත.

රජයේ හෝ පෞද්ගලික ඉඩම් පවරා ගැනීමේදී බෞද්ධ හෝ වේවා වෙනත් ආගමික හෝ වේවා සිද්ධස්ථානයකට බලපෑමක් සිදු වන්නේ නැත. එසේම ඓතිහාසික උරුමයන්ට හානි සිදුවන්නේ ද නැත. යහපාලන රජය සංවර්ධන සැලසුම් සකස් කර ඇත්තේ එවැනි වැදගත් ස්ථාන ආරක්ෂා කිරීමේ සංරක්ෂණය කරලීමේ හා සංවර්ධනය කරලීමේ ක්‍රමවේදයන් ද ප්‍රධාන සැලසුම් සඳහා අන්තර්ගත කරමිනි. ඒ අනුව අවට ඇති සිද්ධස්ථාන පෝෂණය කිරීම හා සංවර්ධනය කිරීම අලුතින් ඉදි වන සෑම කර්මාන්ත ශාලාවකම නිල වගකීමක් වනු ඇත.

සැබෑ තත්ත්වය මෙසේ වී තිබියදී දැයට කිරුළ වැනි සැණකෙළි මුවාවෙන් ඓතිහාසික ජාතික උරුමය හා පුරාවස්තු මංකොල්ල කෑ දළදා මාලිගාවට බෝම්බ ගැසූ ආගමික ගෞරවයට හා භක්තියට නිගා දෙමින් මාලිගාව වටා රේස් පැදීමට හා කැබරේ නැටුම් නැටීමට අනුබල දුන් මෙරට සංඝ භේදය පමණක් නොව ජාති භේදය ආගම් භේදය ඇති කිරීමට උඩගෙඩි දුන් බංකොලොත් දේශපාලනඥයන් සහ පුද්ගලයන් රටේ අනාගතය විනාශ කිරීමේ මුවාවෙන් ගෙන යනු ලබන මේ අසත්‍ය ප්‍රචාරයන්ට නොරැවටෙන මෙන් අපි ශ්‍රී ලංකාවාසීන්ගෙන් ඉල්ලා සිටිමු. 

නව අදහස දක්වන්න