එක් සතියකදී රැකියා විසි දහසක් - අගමැති | දිනමිණ

එක් සතියකදී රැකියා විසි දහසක් - අගමැති

එක් සතියකදී රැකියා අවස්ථා විසි දහසකට වැඩි ප්‍රමාණයක් බිහි කිරීමට හැකි වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඒ, ඊයේ හොරණ, වගවත්ත ප්‍රදේශයේ නව ටයර් කර්මාන්ත ශාලාවට මුල්ගල් තැබීමේ උත්සවයට සහභාගි වෙමිනි.

එහිදී අගමැතිවරයා කළ කතාව,

"අද අපි ටයර් කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීම සදහා මුල්ගල තැබුවා. මෙම කර්මාන්ත ශාලාව හරහා රැකියා දහස් ගණනක් ප්‍රදේශයේ තරුණ තරුණියන්ට හිමිවෙනවා. අපට මෙම කර්මාන්ත ශාලාව ආරම්භ කිරීම සදහා ජීඑස්පී ප්ලස් බදු සහනය විශාල රුකුලක්  වුණා. මෙහි නිෂ්පාදනයන්ගෙන් 75%පමණ  අපනයනය කිරීමේ හැකියාව පවතිනවා. ජීඑස්පී ප්ලස් බදු සහනය ලැබීමත් සමග ශ්‍රී ලංකාවේ අපනයනය ප්‍රමාණය ඉහල ගොස් තිබෙනවා. අප අද ආරම්භ කරන මෙම කර්මාන්ත ශාලාවත් පසුගිය අඟහරුවාදා ආරම්භ කරනු ලැබූ පන්නල කුලියාපිටිය කර්මාන්ත ශාලා ද්විත්වයත් හෙට දිනයේ ආරම්භ කිරීමට නියමිත කොග්ගල කර්මාන්ත ශාලාවත්, අනිද්දා ආරම්භ කිරීමට නියමිත රුහුණු කර්මාන්ත පුරවරයත් හරහා එක් සතියකදී රැකියා අවස්ථා විසි දහසකට වැඩි ප්‍රමාණයක් බිහි කිරීමට අපට හැකියාව ලැබෙනවා.

දිවංගත ජනාධිපති රණසිංහ පේ‍ර්මදාස මහතා ඇඟළුම් කර්මාන්ත 200 ව්‍යාපෘතිය ආරම්භ කරන විට මම කටයුතු කරමින් සිටියේ එම රජයේ කර්මාන්ත ඇමතිවරයා ලෙසයි. මම එම ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාමට ජනාධිපතිවරයාට සහාය දුන්නා. අපට එහිදී සාර්ථක කර ගැනීමට හැකිවූනේ කර්මාන්ත ශාලා හතරක් පමණයි. ඒ වගේ දහ ගුණයක් අද අපට නිම කිරීමට හැකියාව ලැබී තිබෙනවා.

අපට එය සිදු කිරීමට හැකිවුණේ කෙසේද? මේ රටේ තරුණ තරුණියන් ගැන මම මෙහිදී කිව යුතුයි. මා ඉපදෙන අවදියේ ජපානය සහ ශ්‍රී ලංකාව සම තත්වයේ සිටි රටවල්. මා ඇමතිධූරය දැරූ 1977වසර වන විට ජපානය, සිංගප්පූරුව සහ දකුණු කොරියාව යන රටවල් ශ්‍රී ලංකාවට වඩා ඉදිරියට පැමිණ සිටියා. නමුත් අපේ රටේ පැවති වසර 30ක යුද්ධයෙන් පසුව අතීතය දෙස බැලීමේදී මට බියක් දැනෙනවා. ලාඕසය, ඇෆ්ගනිස්ථානය, නේපාලය, භුතානය, මාලදිවයින පමණයි මේ වන විට ශ්‍රී ලංකාවට පිටුපසින් සිටින්නේ. අනෙක් සියළු රටවල් දියණුව පත් වී තිබෙනවා.

වසර 30ක් තුළ අපට තිබූ අවස්ථා අහිමිවූ නිසයි මෙසේ සිදුවුණේ.  තරුණ තරුණියන්ට දහස් ගණන් රැකියා ලබාදීමට තිබූ අවස්ථා අහිමි වුණා. මා 1979දී චීනයට ගිය අවස්ථාවේ ඔවුන් භාවිතා කළේ කොළ පැහැති කලිසම සහ කෝට් එක වැනි බාල ඇඳුම් පැළදුම්. නමුත් අද චීන කම්කරුවන් අපේ කම්කරුවන්ට වඩා තුන් ගුණයකින් දියුණු වෙලා. එවැනි දියුණුවක් අපත් අත්පත් කර ගත යුතුයි. එසේ නම් යුද්ධය අවසන් වීමෙන් පසුව අපේ රටේ තරුණ තරුණියන්ට මෙවැනි දියුණුවක් ලබාදීම අපේ යුතුකමයි. අපි විශේෂ කර්මාන්තකරණයකට  ශ්‍රී ලංකාව රැගෙන යන්නේ ඒ අරමුණ වෙනුවෙන්. අප මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පොදු අපේක්ෂකයා ලෙස තෝරා ගෙන මේ රටේ ජනාධිපති බවට පත් කළේ රැකියා ලබාදීම, සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම එවගේම අපේ රටේ විද්‍යාව හා තාක්ෂණ වේදය, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය, අධ්‍යාපන ක්ෂේත්‍රය ආදිය දියුණු කර අපේ රටේ තරුණ තරුණියන්ට උසස් රැකියා ලබාදීමේ අරමුණ මූලික කොට ගෙනයි. ප්‍රධාන පක්ෂ දෙකේ එකතුවෙන් ජාතික ආණ්ඩුවක් අප නිර්මාණය කළේ මේ රටේ ආර්ථිකය ශීඝ්‍රයෙන් දියුණු කරමින් තරුණ තරුණියන්ට හොඳ අනාගතයක් උදා කිරීමටයි.

එකිනෙකාට විරුද්ධව කටයුතු කළ ප්‍රධාන පක්ෂ දෙක එකට එකතු කර ගනිමින් ආණ්ඩුවක් පිහිටුවීම  පහසු කටයුත්තක් නොවෙයි. එකිනෙකා අතර විවිධ ගැටළු තිබුණත් 2020වන තුරු සහයෝගයෙන් අප මේ ආණ්ඩුවේ කටයුතු ඉදිරියට ගෙන යනවා. අප මේ සියළු කටයුතු කරන්නේ මේ රටේ තරුණ පරම්පරාව වෙනුවෙන්. පසුගිය වසර අප  වෙන් කළේ අනාගතයට අවශ්‍ය සැලසුම් නිර්මාණය කිරීමටයි. මේ රට භාරගන්නා විට අපට විශාල ණය බරක් තිබුණා. අප ණය බර නැති කරන්නේ කෙසේද? රටේ ආදායම වැඩි කර ගන්නේ කෙසේද ? ඒ වෙනුවෙන් තමයි අප මෙවැනි ආයෝජන ආරම්භ කරන්නේ. 

මේ වන විට කර්මාන්ත ශාලා ඇතිකිරීමට, විවිධ හෝටල් ව්‍යාපෘති ඇති කිරීමට අපට දේශීය සහ විදේශීය ආයෝජකයන් සිටිනවා. වර්තමානයේ චීනය, ඉන්දියාව, යුරෝපය යන තුනම එකට එක්ව නිර්මාණය වූ වෙළෙඳ පොළෙහි හිමිකාරිත්වය ඇත්තේ ශ්‍රී ලංකාව සතුව බව මේ අවස්ථාවේදී මම කියන්න කැමතියි. විදේශීය ආයෝජකයන් ශ්‍රී ලංකාවට, මෙම ප්‍රදේශයට පැමිණ කර්මාන්ත ශාලා ආරම්භ කරමින් රැකියා අවස්ථා ඔබට ලබාදෙන්නේ ඒ හේතුව මතයි.

විදේශීය ආයෝජකයන් දිරිමත් කිරීම මෙහිදී අපගේ විශේෂ වගකීමක් වනවා. අප කඩිනමින් තීරණ ගත යුතුයි. ආයෝජනයන් සදහා අවශ්‍ය නව නීති රීති සම්පාදනය කළ යුතුයි. දෙවනුව අප මෙම ආයෝජකයන් දිරි ගැන්වීම සදහා සහන ලබාදිය යුතුයි. පසුගිය අයවැය හරහා අප ඒ සම්බන්ධයෙන් තීන්දු තීරණ ගනු ලැබුවා. තුන්වෙනුව අපේ රටේ තරුණ තරුණියන්ට හොඳ අධ්‍යාපනයක් සමගින් විධිමත් රැකියා පුහුණුවක් ලබාදිය යුතුයි. සිව් වෙනුව අපේ රටට පැමිණෙන ආයෝජකයන්ට කර්මාන්ත ශාලා ආරම්භ කිරීමට අවශ්‍ය ඉඩම් ලබාදිය යුතුයි. මෙම ස්ථානය අක්කර 100ක පමණ ප්‍රදේශයක්. ඉන් අක්කර 35ක පමණ පැවතියේ වගුරු බිම්. රබර් වගා කිරීම නිසා කර්මාන්ත ශාලාව සඳහා වෙන් කිරීමට මෙහි ඉතිරිව තිබුණේ තවත් අක්කර 20ක 30ක පමණ ප්‍රදේශයක්.

මෙම කර්මාන්තශාලාව ගොඩනැගීමෙන් පසුව දහස් ගණන් රැකියා අවස්ථා විවෘත වුණා. කර්මාන්තකරණය යනු අඩු ආදායම් ඉඩම්වල විවිධ කර්මාන්තශාලා ඉදිකරමින් ඒ හරහා රැකියා අවස්ථා සහ ආදායම් මාර්ග වැඩි දියුණු කර ගැනීමයි. කර්මාන්ත කරණයේදී ඉදිරි වසර 10 – 15සදහා අවශ්‍ය වන ඉඩම් අප හඳුනාගෙන අවසන්. ලංකාවට පෙර මෙම ක්‍රමය හදුන්වා දුන්නේ තායිලන්තයයි. තායිලන්තයේ කර්මාන්ත කලාප අධිකාරිය හරහායි කර්මාන්ත ශාලා වෙනුවෙන් ඉඩම් හඳුනාගනිමින් වෙන් කිරීමේ කටයුතු සිදු කරන්නේ. ඔවුන්ගේ විශාලතම කර්මාන්ත කලාපය අක්කර දස දහසක්. කිසිදු ගැටළුවක් නොමැතිව ඔවුන් එම කටයුතු සිදුකරනවා. අපේ විශාලම කර්මාන්ත කලාපය අක්කර හාරදහසක්. මෙය ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේත් ක්‍රියාත්මක වනවා.

ආණ්ඩුවක් ලෙස අප මෙම ඉඩම් හඳුනාගැනීමේ වැඩපිළිවෙල ආරම්භ කළා. අපි මහනුවර, වයඹ, බස්නාහිර, ගාල්ල, මාතර, හම්බන්තොට, මොණරාගල, ත්‍රිකුණාමලය ආදි ප්‍රදේශවල කර්මාන්තශාලා සදහා ඉඩම් හඳුනාගෙන තිබෙනවා. මෙම හඳුනාගත් ඉඩම්වලින්  සියයට අනුපහක්ම රජයට අයත් කිසිඳු ප්‍රයෝජනයක් නොමැති ඉඩම් බව කිව යුතුයි. එම ප්‍රදේශවලට ජලය හා විදුලිය ලබා දෙමින් එහි කර්මාන්ත ශාලා සහ හෝටල් ව්‍යාපෘති ආරම්භ කිරීමට අප කටයුතු කරනවා. මෙම ඉඩම මෙම සමාගමට ලබාදීමට අපට හැකි වුණේ ඒ හේතුවෙනුයි. ඉඩම ලබාදීමට නොහැකි වූයේ නම් මෙම කර්මාන්ත ශාලාව ආරම්භ කිරීමට ද නොහැකි වනවා.

මා බියගම මන්ත්‍රීවරයා ලෙස කටයුතු කරමින් සිටිය දී අක්කර 300ක ඉඩම් ලබා දී ආරම්භ කළ කර්මාන්ත පුරය නිසා ඒ අවට කර්මාන්ත ශාලා 100කට වඩා ආරම්භ කොට තිබෙනවා. එය විශාල දියුණුවක්. ආයෝජකයන්ට අවශ්‍ය ඉඩම් අප ලබාදිය යුතුයි. ඒ සඳහා ඉඩම් සොයා දෙමින් අප ඔවුන් දිරිමත් කළ යුතුයි. කාට හෝ කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමට අවශ්‍ය නම් අප ඉඩම් ලබා දීමට සූදානම්.

අප අලූතින්  කර්මාන්ත කලාප ආරම්භ කරනවා. ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් අප ලබා දෙනවා. නව කර්මාන්ත ශාලා ආරම්භ කිරීමට සූදානම් බව මාස් ආයතනය සහ රිචඩ් පීරිස් ආයතන මට පැවසුවා. අපට කරන්න තිබෙන්නේ ඔවුන්ට අවශ්‍ය ඉඩම් ලබාදීම පමණයි. බදු පදනම මත එම ඉඩම් ලබා දී කර්මාන්ත ශාලා ඇති කරනවා. සාමාන්‍ය ජනතාවගේ ඉඩම් නිකරුණේ අත්පත් කරගෙන ඔවුන් පන්නා දැමීමට අපට අවශ්‍යතාවක් නැහැ. අප දියුණුව කරා ගමන් කරන්නේ මේ ආකාරයෙන් සියලූ ප්‍රදේශවල කර්මාන්ත ශාලා සඳහා ඉඩම් ලබාදීම හරහායි.

අපට අවශ්‍ය වන්නේ හම්බන්තොට වරායෙන් ඵලදායී ප්‍රයෝජනයක් ලබා ගැනීමයි. හම්බන්තොට වරාය පිළිබඳව ඉදිරියේ දී ගිවිසුම් කිහිපයකට එළැඹිමට නියමිතයි. ඒ ගිවිසුම් සකස් කිරීමෙන් අනතුරුව මලික් සමරවික්‍රම ඇමැතිතුමා පාර්ලිමේන්තුවේ දී එම ගිවිසුම් ඉදිරිපත් කිරීමට නියමිතයි. කිසිඳු ගැටලූවත් ඇති වීමට  ඉඩ නොතබා අපි මේ ගිවිසුම් සම්බන්ධයෙන් විනිවිධ භාවයෙන් යුතුව කටයුතු කරනවා.

අප ලබාදෙන කිසිඳු ඉඩමක විහාරස්ථාන හෝ පුරාවිද්‍යා ස්ථාන පිහිටා නැහැ. හම්බන්තොට ප්‍රදේශයේ හඳුනාගත් පුරා විද්‍යා ස්ථාන 72ක් තිබෙනවා. ආයෝජන සඳහා ඉඩම් ලබාදීමේ දී මේ කිසිඳු පුරා විද්‍යා ස්ථානයකට හානියක් වීමට අප ඉඩ තබන්නේ නැහැ.

මේ සමග අපි තව පොදු වැඩ කටයුත්තක් සිදු කරනවා. මෙහි කර්මාන්ත ශාලා ඇති වන විට මේ ප්‍රදේශයට මිනිස්සු, සංචාරකයින් පැමිණෙනවා. එම නිසා මිනිස්සුන්ට වටේ යන්න විශාල බෞද්ධ ශිෂ්ඨාචාර මධ්‍යස්ථානයක් ඇති කරනවා. ඒ ඒ රටවල ගෘහ නිර්මාණ ශිල්පය අනුව අපට පන්සල් ඉදිකර දෙන ලෙස සෑම බෞද්ධ රටකින්ම ඉල්ලා සිටිනවා. එවිට මොංගෝලියන්, චීන, ජපාන, වියට්නාම්, තායිලන්ත, ඕස්ට්‍රේලියානු, බුරුම, සිංගප්පූරු, මැලේසියා, ඉන්දියා හා නේපාල ආදී රටවල ගෘහ නිර්මාණ ශිල්පය අනුව පන්සල් ඇති වේවි. ඒ අනුව ලෝකයේ තිබෙන විශේෂිත ගෘහ නිර්මාණ ශිල්ප අනුව බෞද්ධ මධ්‍යස්ථාන ඇති කරනවා.

මේ සෑම කටයුත්තකින්ම සිදු කරන්නේ මෙරට තරුණ තරුණියන්ට හොඳ රැකියා අවස්ථා ලබා දීමයි. තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබාදීමට කවුරුන් හෝ විරුද්ධ වන්නේ ඇයිදැයි මට තේරෙන්නේ නැහැ. රටේ සෑම දිස්ත්‍රික්කයම තරුණ තරුණියන් බොහෝ ප්‍රමාණයක් රැකියා හා ආදායම් මාර්ග බලාපොරොත්තුවෙන් සිටිනවා.

අවුරුදු 5කට පසුව එය ඉටු කිරීමට නොහැකි නම් ආණ්ඩුව ඉවත් කර වෙනත් ආණ්ඩුවක් පත්කරගත හැකියි. එවැනි තත්ත්වයක් තිබිය දී මේ රටේ තරුණ තරුණියන්ට රැකියා ලබාදීමට විරුද්ධ වන්නේ ඇයි? හම්බන්තොට, මොණරාගල, කලූතර, කොළඹඉඩම් ලබාදෙනවාට විරුද්ධ නම් ඒ අය මේ රටේ තරුණ තරුණියන්ට කරන්නේ විශාල වරදක් බව කිව යුතුයි.

අපට අවශ්‍ය වී තිබෙන්නේ සීග්‍ර කර්මාන්තකරණයක්, සංචාරක ව්‍යාපාරයේ සීග්‍ර දියුණුවක්, සීග්‍ර තාක්‍ෂණික දියුණුවක් ශ්‍රී ලංකාවේ ඇති කර ඉදිරි වසර පහේ දී මේ රටේ තරුණ තරුණියන්ට හො¼දින් ජීවත් විය හැකි හොඳ අනාගතයක් උදා කිරීමටයි. රැකියාවක් නැතැයි කියා ත්‍රීරෝද රථයක් පැදවීමට හෝ මැදපෙරදිග ගොස් පවුල් ජීවිතයක් නොමැතිව ජීවත්වීම නොව, නිවසක් හදා ගෙන, විවාහ වී හොඳ ජීවිතයක් ගතකරමින්, දරුවන්ට හොඳ අනාගයක් ලබාදීම සියලූ දෙනාගේ පරමාර්ථයයි.

අපගේ බලාපොරොත්තුව වන්නේ ඔවුන්ගේ එම පරමාර්ථය ඉටු කිරීමයි. ඒ සඳහා මේ සමාගම ගත් පියවර ගැන ඔබ සියලූ දෙනාට මම ස්තඣතිවන්ත වෙනවා. ඔබේ මුදල් බය නොමැතිව ආයෝජනය කරන්න. එසේ ආයෝජනය කළ නිසා රැකියා දහස් ගණනක් බිහි වී තිබෙනවා. අපි මේ රටේ කර්මාන්ත, සංචාරක ව්‍යාපාරය දියුණු කරන්නේ දේශීය ව්‍යාපාරිකයන් බිහිකිරීමටයි. මේ දේශීය ව්‍යාපාරිකයින්ට, ලෝක වෙළෙඳපොලට ඇතුලූ වී තරග කර ඒ ලෝක වෙළෙඳපොල තම අතට ගැනීමට අවස්ථාව තිබෙනවා.

මේ තරුණ තරුණියන්ට අනාගතයක් ලබාදීම ගැන රිජිඩ් ටයර් සංස්ථාවට ස්තුති කරමින් මේ නව ව්‍යාපාරයට සුභ ප්‍රාර්ථනා කරනවා."

නව අදහස දක්වන්න