නියගයට ජනපති නියමයෙන් රැස්වීමක් | දිනමිණ

නියගයට ජනපති නියමයෙන් රැස්වීමක්

ජනාධිපතිතුමාගේ උපදෙස් මත විශේෂ දිස්ත්‍රක් සම්බන්ධීකරණ රැස්වීමක් කැඳවීමට අනුරාධපුර දිසාපතිවරයා විසින් පියවරගෙන තිබේ. 2017 වර්ෂය දිළිඳුකමින් රට නිදහස් කර ගැනීමේ වර්ෂය ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර ඒ සඳහා දිස්ත්‍රික් මට්ටමින් නිසි වැඩපිළිවෙළක් සකස් කිරීමට හා දැනට අනුරාධපුර දිස්ත්‍රික්කයට උග්‍ර ලෙස බලපා ඇති ඉඩෝරය හමුවේ ගතයුතු ප්‍රමුඛ ක්‍රියාමාර්ග පිළිබඳව මෙම රැස්වීමේදී තීන්දු තීරණ ගන්නා බව දිසාපති ආර්.බී. වන්නිනායක මහතා දිනමිණට පැවසීය.
 
මෙම කමිටු රැස්වීම ලබන 13 වනදා අනුරාධපුර උතුරු මැද පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. සම සභාපතිවරුන් වන කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා, උතුරු මැද ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න බණ්ඩාර මහතා සහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් දස්ත්‍රික්කයේ සියලු දෙපාර්තමේන්තු සහ ආයතන ප්‍රධානීන්ගේද සහභාගිත්වය ඇතිව මෙම රැස්වීම පැවැත්වෙන බවද දිසාපතිවරයා සඳහන් කළේය. 
 
නියගයට බලපා ඇති වියළි කාලගුණික තත්වය දිගින් දිගටම පැවතුන හොත් ගැටලු රැසකට මුහුණ පෑමට සිදුවෙනවා. ජනතාවට ඉදිරියේදී මුහුණපෑමට සිදුවන දුෂ්කරතා, අසීරුතා හා පීඩාවන් අවම කිරීම, ආපදා තත්වයන් පාලනය කිරීම හා ජනතාවට ලබාදිය හැකි උපරිම සහන ක්‍රමවේදයන් පිළිබඳව යෝජනා ඇතුළත් වාර්තාවක් ලබන 20 වනදාට පෙර ජනාධිපති ලේකම් කාර්යාලය හරහා ජනාධිපතිතුමාට ඉදිරිපත් කළ යුතුව තිබෙනවා. දිස්ත්‍රික්කයේ සෑම දෙපාර්තමේන්තුවක්ම, ආයතනයක්ම තම තමන්ගේ සම්පත් යොදාගනිමින් මෙම වැඩසටහන් වලට අනිවාර්යෙන්ම දායකවිය යුතු බවට උපදෙස් දී තිබෙනවා. වන්නිනායක මහතා අවධාරණය කළේය.
 
තම තමන්ගේ ආයතන මගින් ඉටුකළ හැකි සේවාවවන් සහ සම්පත් සම්බන්ධව හා යෝජනාවන් ඇතුළත් ලිඛිත වාර්තා ලබන 13 වන දා පැවැත්වෙන සම්බන්ධීකරණ කමිටු රැස්වීමට ඉදිරිපත් කරන මෙන් ද දිසාපතිවරයා විසින් නිලධාරීන්ට දැනුම්දී ඇත. 
 
-නිමල් විජේසිංහ

නව අදහස දක්වන්න

Or log in with...