හම්බන්තොට ඉඩම් | දිනමිණ

හම්බන්තොට ඉඩම්

පාඩු පිට හා ණය බරකින් යුතුව පවත්වාගෙන යන හම්බන්තොට වරායට කළ යුත්තේ කුමක් ද? එය වසා දැමිය යුතු ද? ඉබේ ම වැසී යන්නට ඉඩහළ යුතු ද? එසේ නැතහොත් විදේශීය ආයෝජකයන්ගේ අනුග්‍රහය ලබාගෙන එය ලාභ ලබන හා රැකියා ලබා දෙන ආයතනයක් බවට පත් කළ යුතු ද? කිසිදු විවාදයක් නැත. කළ යුත්තේ එය ලාභ ලබන ආයතනයක් බවට පරිවර්තනය කොට ඒ ඔස්සේ අපේ රටේ විශාල පිරිසකට රැකියා ලබා දීම ය. එහෙත් එම කාර්යය ඉටුකිරීමට ඉඩ දෙන්නේ නැත. දැන් හැම අතකින් ම හම්බන්තොටට කඩා වදින පිරිස් වැඩසටහන් කඩා කප්පල් කිරීමට වෑයම් කරති.

මහවැලි බහු කාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කරන විට ද සමහරු ඊට විරුද්ධ වූහ. නිදහස් වෙළෙඳ කලාප ඇති කරන විට ද ඊට විරුද්ධ වූහ. කණ්ඩලම හෝටලය ඉදි කරන විට ද ඊට විරුද්ධ වූහ. අධිවේග මාර්ග ඉදිකරන විට ද ඊට විරුද්ධ වූහ. අපේ මිනිසුන් ළඟ ඇත්තේ තර්කයක් හා හේතුවක් නැති අයුක්ති සහගත විරෝධයකි. මහවැලිය කඩිනම් ව්‍යාපාරය නොවන්නට වියළි කලාපයේ වගාවක් නැත. කණ්ඩලම හෝටලය නොවන්නට එහි පරිසරය ආරක්ෂා වන්නේවත් වැව ආරක්ෂා වන්නේවත් නැත. අධිවේගී මාර්ග නැතිනම් මාර්ග තදබදය තවදුරටත් ඉහළ යනු ඇත. අපේ මිනිසුන් බොහෝ දේවල් වටහා ගන්නේ කල් ගතවූවාට පසුවය.

හම්බන්තොට වරාය ලාභ ලබන සක්‍රීය ආයතනයක් බවට පත් කිරීමට එරෙහි වන අය තර්ක කිහිපයක් ඉදිරිපත් කරති. එක එම වරාය චීනයට විකුණන බව ය. දෙක හම්බන්තොට ඉඩම් විදේශ රටවලට විකුණන බව ය. තුන අපේ සම්පත් පිටරටට විකිණීම මේ ආණ්ඩුවේ ප්‍රමුඛතම කාර්යයක් බව ය. හතර එම පළාතේ මුල් පදිංචිකරුවන්ගේ ඉඩම් ආණ්ඩුව බලහත්කාරයෙන් කොල්ලකන බව ය. මේ එකක්වත් ඇත්ත කතා නොවේ. එම තර්කවල ඇත්තේ ජනතාව කුලප්පු කරවන උත්තේජකයන් ය. මේ උත්තේජක ගලා එන්නේ දේශපාලන ව්‍යාපාර ඔස්සේ ය. පරාජය කළ යුත්තේ එම දේශපාලන ව්‍යාපාරවල මතවාදය යි.

ඇමැති මලික් සමරවික්‍රම මහතා පැහැදිලි කරන ලෙස මේ රටේ කිසිදු ඉඩමක් බලහත්කාරයෙන් ලබා ගන්නේ නැත. හම්බන්තොට ඉදිකිරීමට නියමිත කර්මාන්ත පුරය සඳහා ආණ්ඩුවට අයත් ඉඩම් ලබා ගනී. එය ප්‍රමාණවත් නොවන්නේ නම්; ජනතාවගේ කැමැත්ත මත වන්දි ගෙවා ඉඩම් ලබා ගනු ඇත. එහිදීද හම්බන්තොට අවට ප්‍රදේශවලින් ඉඩම් ලබා ගැනීමට සැලැසුම් කර තිබේ. කිසිදු පෞද්ගලික ඉඩමක් බලහත්කාරයෙන් ලබා ගන්නේ නැත. අවශ්‍ය ඉඩම් නැතිව කර්මාන්ත ඇති කළ නොහැකි ය. විදේශීය සමාගම් වෙනත් රටවල කර්මාන්ත ඇති කිරීමේදී බදු ගෙවා එම රටවල ඉඩම් තාවකාලික ලෙස ලබා ගනී. එය ලෝකයේ පවතින ක්‍රමයකි.

හම්බන්තොට වරාය චීනයට අලෙවි කරන බවටද, කොළඹ වරායෙන් කොටසක් තවත් සමාගම් කිහිපයකට පවරා දෙනු ලබන බවට ද චෝදනා එල්ල වී තිබේ. එය කරුණු නොදැන එල්ල කරන විවේචනයක් බව කිව යුතුය. විදේශීය සමාගම් දේශීය නිෂ්පාදන කර්මාන්ත සඳහා යොදා ගන්නා විධිමත් වැඩසටහනක් තිබේ. ඊට අනුව එම සමාගම් මෙරට නීතියට අනුව ලියාපදිංචි වී ශ්‍රී ලංකාවේ ආයතනවල ද සම්බන්ධතාව ඇති නිෂ්පාදන කර්මාන්ත ආරම්භ කළ යුතුය. ලෝකයේ ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් අත්පත් කරගත් සෑම රටක් ම පාහේ මේ ක්‍රමය අනුගමනය කර ඇත. ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේ මහ ඇමැති චන්ද්‍ර බාබු නායිදු මහතා මේ ක්‍රමය අනුගමනය කර තිබේ.

ශ්‍රී ලංකාව අමෙරිකාවට යටත්වන බවද, ඔවුන්ගේ පදයට නටන බව ද සමහරු කියති. ශ්‍රී ලංකා‍ව චීනයට ඉඩම් අලෙවි කරන බවද මේ රටේ චීන කොලනි ආරම්භ වන බව ද තව සමහරු කියති. ශ්‍රී ලංකාව ඉන්දියාවට අපේ සම්පත් විකුණන බවද ඉන්දියාව තව ටික කාලයකින් ශ්‍රී ලංකාව ආක්‍රමණය කරන බව ද තවත් සමහරු කියති. මේවා සැලැකිය හැක්කේ වතුර වීදුරුවේ කිඹුලන් දැකීම වැනි කතාවක් හැටියට ය. මැලේසියාව, සිංගප්පූරුව, තායිවානය හා චීනය මේ ලෙස කල්පනා කළේ නම් අද මේ තරම් දියුණුවක් ලබන්නේ නැත. මේ රට දියුණු කිරීමට නම් පළමුව අපේ සමාජයේ චින්තනය දියුණු කළ යුතුය. විවේචන නැවැත්විය යුතුය. මඩ ප්‍රචාර හා අසත්‍ය චෝදනා ද නතර කළ යුතුය. නැතහොත් අපට ඉතිරි වන්නේ හිස් භූමියක් පමණි.

ශ්‍රී ලංකාවේ සැබෑ ආර්ථික දත්ත විශ්ලේෂණය කරන විට පෙනී යන කරුණු කිහිපයක් තිබේ. පළමුවන්න ආර්ථික වෘද්ධිය අඩුවෙමින් පවතින බවය. දෙවන්න විරැකියාව ශීඝ්‍රයෙන් ඉහළ යන බවය. තෙවන්න අපේ අපනයන ආදායම් කෙමෙන් පහළට ගමන් කරන බවය. තේ - පොල් - රබර් ආදායම හොඳම නිදසුනකි. අපේ තේ වෙළෙඳපොළ ඉන්දියාව හා කෙන්යාව අල්ලා ගෙන තිබේ. රබර් වෙළෙදාම ආපස්සට ගමන් කරන්නේ ඒ ආශ්‍රිත නිෂ්පාදන අඩු නිසාය. රබර්වලින් නියම ආදායමක් ලැබීමට නම් ඒ ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත අප විසින් ඉදිකළ යුතුව තිබේ. හොරණ ඉදිකරන්නට යන්නේ එබඳු ආයතනයකි. මීට දින දෙකකට පෙර ඊට මුල්ගල් තැබිණි.

රුසියන් විප්ලවය ජයගත් ලෙනින් ලෝකය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ සමාජවාදි රුසියාව නැතහොත් සෝවියට්දේශය දියුණු කිරීමට සහයෝගය දෙන ලෙස ය. චීනය එක්සේසත් කළ මාඕසේතුං කියා සිටියේ ද අපට දියුණුවීම සඳහා සහයෝගය ලබා දෙන්න යන්නය. නුතන ලෝකයේ කිසිදු රාජ්‍යයකට හුදෙකලාව දියුණු වීමේ හැකියාවක් නැත. ලෝකය එකට බැඳී ඇත. ඉන්දියාවේ හිටපු ජනාධිපතිවරයකු වූ අබ්දුල් කලාම් කියා ඇත්තේද අප තනිවී නැත. අපේ සිහින සැබෑකර ගැනීමට ලෝකය උදව් කරනු ඇත යන්නය. ලෝකයේ සහයෝගයක් නැතිව ලබා ගත හැකි දියුණුවක් ද නැත.

ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ ආර්ථික මර්මස්ථානය, මූල්‍ය කේන්ද්‍රය, වෙළෙඳ මධ්‍යස්ථානය වැනි විශේෂණවලින් හඳුන්වන්නේ වුව රටේ ජනතාවගේ චින්තනය ඒතරමට දියුණු වී නැත. ජනතාවගේ තබා දේශපාලකයන්ගේ චින්තනයද දියුණු වී නැත. ඒ නිසාම අලුත් ආර්ථික උපාය මාර්ගවලට බොහෝ දෙනා විරුද්ධ වෙති. මෙය විශාල පසුබෑමක් බව කිව යුතුය. එක්කෝ ජනතාව මේ තත්ත්වය වටහා ගත යුතුය. නැතහොත් දේශපාලකයන් නිවැරැදි දේ බලහත්කාරයෙන් හෝ කළ යුතුය.

නව අදහස දක්වන්න