විදෙස් මලල ක්‍රීඩා පුහුණුකරු ගෙන්වීම පමා වෙයි | දිනමිණ

විදෙස් මලල ක්‍රීඩා පුහුණුකරු ගෙන්වීම පමා වෙයි

ප්‍රින්ස් ගුණසේකර

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණුකිරීමට තෝරාගත් විදෙස් පුහුණුකරුගේ මාසික ගෙවීම් පිළිබඳ අවසන් තීරණයක් ලැබී නොමැති හෙයින් මෙරටට ගෙන්වා ගැනීම ප්‍රමාද වෙයි. ජැමෙයිකා, පෝලන්ත හා රුමේනියා ජාතික පුහුණුකරුවන් තිදෙනකු ශ්‍රී ලංකාවට පැමිණීමට කැමැත්ත පළ කර ඇති අතර මේ අයගේ මාසික ගෙවීම් පිළිබඳ තවමත් තීරණයක් ලැබී නොමැත.

ජැමෙයිකානු පුහුණුකරු කෙටිදුර ධාවනය පිළිබඳ විශේෂඥ දැනුමැති පුද්ගලයකුවන අතර ඔහු මාසිකව රුපියල් ලක්ෂ 5ත් 6ත් අතර මුදලක් අපේක්ෂා කරනබව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයට දැනුම්දී තිබේ. කෙටිදුර හා පැනීම් ඉසව් පිළිබඳ විශේෂඥ දැනුමැති පෝලන්තයේ හා රුමේනියාවේ පුහුණුකරුවන් දෙදෙනා සිය වැටුප තීරණය කිරීම ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයට භාරදී ඇත. සාධාරණ වැටුපක් යෝජනා කරන්නේනම් ශ්‍රී ලංකාවට පැමිණෙන බව ඔවුන් දෙදෙනා ඊමේල් මගින් මලල ක්‍රීඩා සංගමයට දැනුම්දී ඇත.

ඒ අනුව මේ තිදෙනාටම පිළිතුරු යැවීමට මලල ක්‍රීඩා සංගමය කටයුතු කොට ඇතැයි වාර්තා වේ. මේ ගෙවීම්වලට අමතරව යෑමට හා ඒමට ගුවන් ගමන් බලපත්‍ර, ආහාර හා හිදුම් හිටුම් ශ්‍රි ලංකා මලල ක්‍රීඩා සංගමය ලබාදිය යුතු වේ. ඒ සඳහා වැයවන මුදල කොපමණද යන්න සොයා බැලීම විදෙස් පුහුණුකරුගේ මාසික දීමනා තීරණයවූ පසුව සිදුවනු ඇතැයි වාර්තා වේ.

මේ විදෙස් මලල ක්‍රීඩා පුහුණුකරු තෝරා ගැනීමේ සියලු කටයුතු එළැඹෙන සතියේ අවසන් කිරීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති සුගත් තිලකරත්න මහතා බලාපොරොත්තුවන බවත්, ඉන් අනතුරුව ක්‍රීඩා ඇමැතිවරයාගේ අනුමැතිය ගැනීම සිදුකළ යුතු බවත් මලල ක්‍රීඩා සංගම් ප්‍රකාශකයකු පැවැසීය. කෙසේ වුවද මේ මස 25වැනිදා විදෙස් මලල ක්‍රීඩා පුහුණුකරු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කිරීම මලල ක්‍රීඩා සංගමයේ අපේක්ෂාවවී තිබේ. ඔහු සමග එළැඹෙන කොන්ත්‍රාත්තුව වසරක කාලයක් බව එම ප්‍රකාශකයා පැවැසීය. එහෙත් 2018 පොදුරාජ්‍ය මණ්ඩලීය හා ආසියානු ක්‍රීඩා උළෙල තෙක් විදෙස් පුහුණුකරුගේ සේවය පසුව දීර්ඝ විය හැකි බවද සඳහන් කෙරුණි.

ශ්‍රී ලංකාවට පැමිණෙන පුහුණුකරුට මලල ක්‍රීඩා ඔලිම්පික් සංචිතය හා සුපිරි සංචිතය භාරවෙන අතර එයට අමතරව එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණුකරුවන් පුහුණු කිරීම ද පැවැරේ. ඔලිම්පික් සංචිතයේ හා සුපිරි සංචිතයේ සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණුකරුවන්ගේ දැනුම යාවත්කාලීන කිරීම මෙමගින් අපේක්ෂා කෙරේ. 

නව අදහස දක්වන්න