හමීඩ් අල් හුසෙයිනි පාසල් පාපන්දු තරගාවලිය ඇරැඹේ

ෆවුස් මොහොමඩ්
රුසෙයික් ෆාරුක්
අයි ඩීල්ස් ලංකා පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මොහොමඩ් රිෆ්කාන් මහතා තරගාවලියේ අනුග්‍රාහක චෙක්පත හමීඩ් අල් හුසෙයිනි විදුහල්පති එම්.එස්.එම්.ෆයිසාල් මහතාට පිරිනැමූ අයුරු. හමීඩ් අල් හුසෙයිනි අසූව කණ්ඩායමේ සභාපති ලාහිර් සාලි, ලේකම් එම්.බී.එම්.සබීර්, තරගාවලි කමිටු සභාපති එම්.එස්.එම්. ඉක්බාල් සහ ක්‍රීඩා කමිටු සභාපති පී.එම්.එම්. මුෂීඩ් මහත්වරු ද මෙහි වෙති.

දේශීය පාසල් පාපන්දු තරග බිමේ දස්කම් දක්වන ප්‍රබලතම පාසල් කණ්ඩායම් තරග වදින හමීඩ් අල් හුසෙයිනි ජනාධිපති කුසලාන පිළිමලුන් පිටුදැකීමේ පාපන්දු තරගාවලිය අද (7) ආරම්භ කෙරේ. එම පාසලේ GROUP of 80's කණ්ඩායම විසින් 10 වැනි වරටත් සංවිධාන කරනු ලබන මෙවර තරගාවලියේ ශූරයන්ට ජනාධිපති කුසලානය පිරිනැමෙන පළමු අවස්ථාව මෙය වෙයි.

අඩි 3ක් උසැති රන් පැහැති ජනාධිපති කුසලානය මෙරට පාසල් තරග බිමේ තරගාවලියක ශූරයන්ට මෙතෙක් පිරිනැමෙන විශාලතම කුසලානය ලෙස වාර්තාපොතට එක්වන අතර තරගාවලියේ අවසන් දිනය වන ජනවාරි මස 22 වැනිදා කොළඹ තුරඟ තරග පිටියේ පැවැත්වෙන අවසන් මහා තරගයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීමට නියමිත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් එය පිරි නැමීමට නියමිත බව තරගාවලිය පිළිබඳ පසුගියදා පාපන්දු නිවහනේ පැවැති මාධ්‍ය හමුවක දී අසූව කණ්ඩායමේ උප සභාපති සුල්ෆිකාර් අහමඩ් මහතා සඳහන් කළේය.

පාසල් කණ්ඩායම් 21ක් තරග වදින හමීඩ් අල් හුසෙයිනි ජනාධිපති කුසලාන ආරාධිත පාසල් පාපන්දු තරගාවලියේ සමාරම්භක උත්සවය ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්වෙයි. එදිනම ආරම්භ කෙරෙන මේ පාපන්දු තරගාවලියේ මූලික වටයේ සහ අර්ධ අවසන් පූර්ව වටයේ තරග සිටි ලීග් පාපන්දු පිටියේ දී ජනවාරි 8 වැනිදා සිට 12 දක්වා පැවැත්වෙන අතර අවසන් පූර්ව වටයේ තරග සහ අවසන් මහා තරගය කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්වීමට නියමිතය.

මෙවර තරගාවලියට ප්‍රධාන අනුග්‍රාහකත්වය සපයනු ලබන්නේ අයි ඩීල්ස් ලංකා පුද්ගලික සමාගම විසිනි. එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මොහොමඩ් රිෆ්කාන් මහතා හමීඩ් අල් හුසෙයිනි විද්‍යාලයේ ආදි සිසුවකු වීම විශේෂත්වයකි.

තරගාවලියේ ශූරයන්ට ජනාධිපති කුසලානය පිරිනැමෙන අතර අනුශූරයන්ට සහ තුන්වැනි ස්ථානයට ද කුසලාන, පදක්කම් සහ සහතිකපත් ප්‍රදානය කෙරේ. මීට අමතරව සෑම තරගයකම හොඳම ක්‍රීඩකයාට සම්මාන පිරිනැමෙන අතර තරගාවලියේ හොඳම දැල් රකින්නාට සහ හොඳම ක්‍රීඩකයාට මෙන්ම වැඩිම ගෝල් සංඛ්‍යාවක් වාර්තා කරන ක්‍රීඩකයාට ද සම්මාන පිරි නැමීමට නියමිතය.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...