GSP+ සහනය ලබන සතියේ ස්ථිරයි | දිනමිණ

GSP+ සහනය ලබන සතියේ ස්ථිරයි

මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයේ සහ අපනයන ක්ෂේත්‍රයේ සුවිශේෂී හැරවුමක් ‍සනිටුහන් කරමින් GSP+ සහනය ලබන සතියේ දී ස්ථිරවම ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති බවට මේ වන විට තොරතුරු ලැබී ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කෙළේ මහනුවර, හල්ඔළුව, දොඩංවල පාලම ජනතා අයිතියට පවරාදීමේ උත්සවයට ඊයේ (06) පෙරවරුවේ එක්වෙමිනි.

තවදුරටත් ජනාධිපතිවරයා මෙසේ ද කීය.

රටක් ලෙස ඉදිරියට යාමට තිබූ බොහෝ බාධාවන් ඉවත් කර ගනිමින් සියලු රාජ්‍යයන් සමඟ මිත්‍රශීලීත්වයක් ගොඩනඟා ගැනීමට පසුගිය දෙවසර තුළ වත්මන් ආණ්ඩුවට හැකිවූ බව පැවසූ ජනාධිපතිතුමා එහි ප්‍රතිලාභ දැන් මාතෘ භූමියට ලැබෙමින් තිබෙන බව ද කියා සිටියේය.

සංවර්ධනය පිළිබඳ උදම් අනනවා සේම ‍එම සංවර්ධනය සමඟ රටට ලැබුණු මහා ණය බර පිළිබඳවද අවධානය යොමු කළ යුතු බව පැවසූ ජනාධිපතිතුමා තවත් අතිවිශාල වශයෙන් ණය ලබාගනිමින් මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කැර ජනප්‍රියත්වයට පත්වීමට වත්මන් ආණ්ඩුවට හැකි නමුත් මහා ණය සම්භාරයක් රටට උරුම කර දී රටේ අනාගතය අඳුරු කිරීමට තමා කිසිසේත් සූදානම් නොමැති බවත්, මහා ණය බර සමඟ ලෝකයේ විවිධ රටවල්වලට මුහුණදීමට සිදු වූ ඛේදවාචකයන් අප සැලකිල්ලට ගත යුතු බවත් කියා සිටියේය.

හම්බන්තොට වරාය සහ කර්මාන්තපුරය පිළිබඳ ඇතැමුන් ගෙන යන වැරදි ප්‍රචාර පිළිබඳව මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප්‍රකාශ කෙළේ මේ රටේ බිම් අඟලකවත් අයිතිය ලෝකයේ කිසිදු රටකට ලබාදීමට තමන් සූදානම් නොමැති බවයි.

කර්මාන්ත ‍ෙමන්ම නව ආයෝජන රටට අවශ්‍ය නමුත් ඒ සඳහා ඉඩම් ලබාදෙන්නේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ නීතිරීතිවලට එකඟව බව පැවසූ ජනාධිපතිතුමා ඇතැමුන් සඳහන් කරන පරිදි ජනතාව ඔවුන් පදිංචි ගම්මානවලින් ඉවත් කිරීමට හෝ ඓතිහාසික වටිනාකම්වලින් යුත් වෙහෙර විහාරස්ථාන කඩා බිඳ දැමීමේ කිසිදු අකටයුත්තකට ආණ්ඩුව ඉඩ තබා නොමැති බව ද කියා සිටියේය.

රටවල්, ව්‍යාපාරිකයින්, ආයෝජකයින් හෝ ජාත්‍යන්තර සංවිධාන සමඟ ඇතිකරගන්නා වූ සියලු ගිවිසුම් ඇතිකැර ගන්නේ ඉතා විවෘත භාවයකින් බව පැවසූ ජනාධිපතිතුමා රටේ සංවර්ධනයට වත්මන් ආණ්ඩුව ඉතා අවංකව කැපවී සිටින බව ද සඳහන් කෙළේය.

ආණ්ඩු පෙරළන බවට ඇතැමුන් ප්‍රකාශ නිකුත් කළ ද වත්මන් ආණ්ඩුව වැට්ටීමට කිසිවෙකුට නොහැකි බවත් 2020 න් පසුව එන මැතිවරණයකදී නව ආණ්ඩුවක් පත්කර ‍ගතහොත් මිස ඊට පෙර ආණ්ඩුව පෙරළීමට කිසිවකුට, කිසිදු ඉඩක් නොමැති බව ද ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කෙළේය.

මහනුවර නගරයේ පවතින මාර්ග තදබදයට විසඳුම් ලෙස ඉදිකෙරුණු මෙම පාලම මීටර් 105 ක දිගින් යුත් අතර මං තීරු දෙකකින් සමන්විතය. බ්‍රිතාන්‍ය යකඩ පාලම් ව්‍යාපෘති ආධාර යටතේ ක්‍රියාත්මක ප්‍රාදේශීය පාලම් වැඩසටහන යටතේ රුපියල් මිලියන 374 කට ආසන්න මුදලක් වැය කරමින් මෙම පාලම ඉදිකර තිබෙන අතර මාතලේ, කුරුණෑගල වැනි ප්‍රදේශ සහ මහනුවර අවට ප්‍රදේශවලින් පැමිණෙන වාහනවලට මහනුවර නගරය මඟහැර තම ගමනාගමන කටයුතු පහසුවෙන් ඉටුකර ගැනීමට මෙම පාලම ඉදිකිරීමත් සමඟ හැකියාව ලැබෙනු ඇත.

අස්ගිරි මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන නායක හිමිපාණන් වහන්සේ ද, ඇමැතිවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල, අබ්දුල් හලීම්, මධ්‍යම පළාත් ප්‍රධාන ඇමැති සරත් ඒකනායක යන මහත්වරුන් ඇතුළු ප්‍රදේශීය දේශපාලන නියෝජිතයින් රැසක් ද, බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා ඇතුළු විදේශ නියෝජිත පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

නව අදහස දක්වන්න