සහජීවනයෙන් වැඩකර රට හදන්න උරදෙන්න | දිනමිණ

සහජීවනයෙන් වැඩකර රට හදන්න උරදෙන්න

චන්ද්‍රිකා පෙරේරා
ඡායාරූපය - විපුල අමරසිංහ
රාජ්‍ය ඇමැති ඒ.එච්.එම් ෆවුසි මහතාගේ ප්‍රධානත්වයෙන් ර‍ජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුව

අනෙකුත් ආගම් අදහන අය සමඟ සහජීවනයෙන් සමගියෙන් එකමුතුව කටයුතුකර රට ගොඩනැගීමේ කාර්යයට උරදෙන ලෙස සියලු ජනකොටස්වලින් ජාතික ඒකාබද්ධතා හා ප්‍රතිසන්ධාන රාජ්‍ය ඇමැති ඒ.එච්.එම් ෆවුසි මහතා ඉල්ලා සිටියේ ය.

මේ අනුව සමඟිය සාමය දයාව සහ සහෝදරත්වය වැඩිදියුණු කිරීමත් විවිධ ජන වර්ග අතර අවබෝධය සහ විශ්වාසය තහවුරු කිරීමත් පරමාර්ථය කරගනිමින් තිරසර සාමය පවත්ගැනීම උදෙසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත රට පුරා වැඩසටහන් ක්‍රියාවට නංවා ඇති බවද හෙතෙම පෙන්වා දුන්නේ ය.

ර‍ජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවැති මාධ්‍යහමුවේ දී ෆවුසි ඇමතිවරයා එම අදහස් පළ කෙළේ ය.

එහිදී හෙතෙම මෙසේ ද සඳහන් කෙළේ ය.

ජාතික සමඟිය නැත්නම් රටක් ලෙස ආර්ථික දියුණුව ලබමින් ඉදිරියට යන්න හැකියාවක් නැහැ. රට සංවර්ධනය කරන්න හැකිවෙන්නේ නැහැ. රටට ආයෝජන එන්නේ නැහැ. ආයෝජන සඳහා මුදල් යොදවන්න කැමතිවෙන්නේත් නැහැ‍.

තිරසාර සංවර්ධනය ආර්ථිකයේ වර්ධනය ගැන එවිට කතාකරන්න බැහැ.

මේ නිසා තිරසාර සාමය හා ජාතික සමඟිය ඇති කිරීම අත්‍යවශ්‍යයි. ඒ අනුව සමස්ත රටවැසියන් අතර ඒකාබද්ධතාවය සහ ප්‍රතිසන්ධානය ප්‍රවර්ධනටය ජාතික ඒකාබද්ධතා හා ප්‍රතිසන්ධාන අමාත්‍යංශය හරහා වැඩසටහන් රාශියක් මේ වන විට ආරම්භකර තිබෙනවා. ඊට සමගාමීව කැබිනට් අනුමැතිය ඇතිව මේ 8 සිට 14 දක්වා පැවැත්වෙන ජාතික ප්‍රතිසන්ධාන සතිය ආරම්භ වෙනවා. මෙය සෑම වසරකම ජනවාරි මේ කාල සීමාව ඒ නමින් ක්‍රියාත්මක කිරීමට ද තීරණය වී තිබෙනවා.

උතුරේ ජනයා දකුණටත් දකුණේ ජනයා උතුරටත් ගෙනැවිත් ඒ අයගේ ජන ජීවිතය අවශ්‍යතා හා ගැටලු ආදිය කියාදී සහජිවනය එකමුතුව ඇති කිරීම මේ අනුව සිදුවනවා.ජාති ආගම් සංස්කෘතිය අගය කළ යුතුයි .නමුත් අප ඒ සියලු දේට ගරුකරමින් ශ්‍රීලාංකිකයන් ලෙස කටයුතු කිරීම අතිශයින්ම වැදගත්.‍ රටේ අනාගතය සැකසිය හැක්කේ නැවත යුද්ධයක් ඒම වලකා ආර්ථික දියුණුව ඇතිකරගනිමින් ඉදිරියට යා හැක්කේ එකම හැඟිමෙන් ක්‍රියා කිරීමෙන් පමණක් බව පිළිගත යුතුයි. ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම මෙහි මූලික කාර්යය.

‍ක්‍රැස්තෝ ඒකාධිපති බලය පාවිච්චි කළේ ජාතිවාදි ආගම්වාදී බලය විනාශ කිරීමටයි. ඒ අනුවයි සියලු රටවැසියො එකට එක්වුනේ.

අපි සියලු වාද විනාශකළ යුතුයි. අපි මියගිය පසු අපේ අනාගත පරපුරට ඒකාබද්ධව ජීවත් වීමට හැකි වාතාවරණය දැන් සිටම සැකසීම සෑම ශ්‍රීලාංකිකයෙකුගේම යුතුකමක්.

ඉදිරි වසර හතරේ දී මෙය කරන්න නොහැකි වුණොත් ආයෙත් කිසි දිනක මෙය කළ ‍නොහැකි වේවි.

ආගමික නායකයන් පාසල් දරුවන් දෙමාපියන් දැනුවත් කරමින් සමස්ත ජන සමාජය වෙත මෙය රැගෙන යාමේ කාර්යය දැනටමත් ක්‍රියාත්මකයි. මේ අනුව ජනතාවට සමඟිය ඇතිකරගන්නේ කෙසේද අනෙකුත් ආගම් සංස්කෘතීන් ඇති අය සමඟ එකමුතුව ජීවත්ව‍න්නේ කෙසේ ද ? යන්න කියාදිය යුතුයි.

එමගින් ආර්ථිකය නැංවීමත් ජාතීන් අතර එකමුතුව ගොඩනැඟිමත් අවිශ්වාසය නැති කිරීමත් කළ හැකි වෙනවා.

නැවත යුද්ධයක් ඇති නොවීමට නම් සමඟිය ඇතිකර ශ්‍රිලාංකියන් අතර ඒකාබද්ධතාව සහ ප්‍රතිසන්ධානය ප්‍රවර්ධනය අනිවාර්යයෙන්ම කළ යුතුයි.

ජාතික ඒකාබද්ධතා හා ප්‍රතිසන්ධාන අමාත්‍යංශයේ ලේකම් වී. සිවඥානසෝති මහතා

මේ රට බෙදුම්වාදයට විරුද්ධයි. බෙදුම්වාදය ජාතිවාදය රටින් තුරන් කිරීමටයි අවශ්‍ය වන්නේ. ඒසඳහා අප ප්‍රතිසංවිධාන විය යුතුයි. ජාතික එකමුතුව ගොඩනැගිය යුතුයි. එයින් බෙදුම්වාදය පරාජයකර සියලු අභියෝග ජයගත හැකියි.

ජාතීන් අතර සමගිය නැතිනම් රටකට ආර්ථික වශයෙන් ඉදිරියට යාමට හෝ සංවර්ධනය කරා යාමට නොහැකියි.

ජනාධිපතිවරයා නම්කළ ජාතික ඒකාබද්ධතා සතියේ දි ජාතික ඒකාබද්ධතාවය සමඟිය එකමුත්ව පිළිබඳ පණිවිඩය ලබාදිය යුතුයි.

මෙය ජාතික මට්ටමේ ඉහළ ප්‍රතිපත්තිමය තීරණයක් ඒ සම්බන්ධයෙන්ජනතාව වඩාත් උනන්දුවෙන් ක්‍රියාත්මක විය යුතුයි. බෙදීම් නැතිව සියලු ජාතීන් එකම ජාතියක් ලෙස 'ජාතිය ගොඩනැඟීම' තුළින් ආර්ථික සංවර්ධනය ශක්තිමත් කරගත හැකියි.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා ෆවුසි ඇමතිවරයා මේ කාර්යයට උරදී සිටන්නෙ.

මේ නම් කළ සතියේ දී රජයේ අයතනවල ප්‍රතිඥාව කියවීම ,පාසල්වල ප්‍රතිඥාව කියවිම හා දියත්කළ කාර්ය සම්බන්ධවත් එහි ඇති වැදගත්කම ගැනත් දරුවන් දැනුවත් කිරීම. විශ්වවිද්‍යල ඇතුල සියලු රජයේ ආයතනවල මෙය ක්‍රියාත්මක ‍කෙරෙනවා.

ජාතික සමගිය සහ සංහිඳියාව සදහා වන කාර්යාලයේ අධ්‍යක්ෂ ජෙනරාල් එම් එස් ජයසිංහ මහතා

චන්ද්‍රිකා බන්ඩාරනාක ජනාධිපතිනිය සිටි යුගයේ සිට මේ වැඩසටහන් ක්‍රියාත්මක කිරිමට මා එක්ව සිටියා ඒ කාලයේ යාපනේ පුස්තකාලය ගොඩනැගුනේ ද ඒ අනුවයි. රාජපක්ෂ මහතාගේ කාලයේ යුද සමයේ සහන සැලසීමටත් පසුව ප්‍රතිසංවිධාන කටයුතුවලටත් එක්වුණා.

මේ සියල්ලටම වඩා අමාරු දැන් කෙරෙන ප්‍රතිසන්ධාන කටයුත්ත. 19 වැනි ව්‍යවස්ථා සංශොධනය යටතේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙය ක්‍රියාත්මක කළේ.

2016 මේකටයුතුවලට වැඩි මුදලක් ලැබුනේ නැහැ. නමුත යාපනයට වැසි ජලය රැස් කෙරෙන ජල ටැංකි 700ක් සවි කළා. ජල හිඟයෙන් පෙළන යාපනයේ ජනතාවට ජලය ලබාදීමේ එම ව්‍යාපෘතිය ඉතාහොඳ බව කියා ඉන්දියාව ඒ සඳහා මිලියන 300ක් දීමට කැමති වුනා. ඒ අනුව තවත් වැසි ජල ටැංකි 3000ක් යාපනයේ ස්ථාපිත කිරීමට කටයුතු කෙරෙනවා.

අධ්‍යාපන කටයුතු සඳහා රුපියල් මිලියන 1600ක් ලැබී තිබෙනවා. පාසල් අතර හුවමාරු කටයුතු සිරිත් විරිත් ආදිය බෙදා හදාගන්නවා.

කලාව සංස්කෘතිය සම්බන්ධ ව්‍යාපෘති චිත්‍රපට නාට්‍ය නිෂ්පාදන, ගීත ද්විත භාෂාවෙන් , ආබාධිත සම්මාන, ජීවනෝපාය සංවර්ධන වැඩසටහන් (ප්‍රධාන වශනේ උතුර හා නැඟෙනහිර මූලික කරගනිමින්) සිදු කෙරෙන අතර අවතැන් වූවන් වෙනුවෙන් ස්වයං රැකියා ණය සහන ,මනස සැකසීම, හැඳුනුම්පත් උප්පැන්න , අතුරුදන් වූවන් සඳහා සහතික ලබාදීම ඇතුළු වැ‍ඩසටහන් රැසක් ජාතික සංහිඳියාව වෙනුවෙන් ක්‍රියාත්මකයි.

මෙහිදී මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ෆවුසි ඇමතිවරයා පැවැසුවේ ජනවාරි 3 දා රාජ්‍ය නොවන සංවිධානයක් මගින් ලබා දුන් වාර්තාවේ අඩංගු දෑ පිළිබඳ අධ්‍යයනය කර ආණ්ඩුවේ ප්‍රතිපත්තිවලට අනුකූලව කටයුතු කරන බවය.

නව අදහස දක්වන්න