ලේක්හවුස් ආයතනය ගුණාත්මකබවින් ඉහළ ප්‍රවෘත්ති ‍කලාවක් හඳුන්වා දී තිබෙනවා | දිනමිණ

ලේක්හවුස් ආයතනය ගුණාත්මකබවින් ඉහළ ප්‍රවෘත්ති ‍කලාවක් හඳුන්වා දී තිබෙනවා

සමන්මලී ප්‍රියශාන්ති
ඡායාරූප - ගයාන් පුෂ්පික
 ‘රන්දෙරණ’ නිල පුවත්පත එළිදැක් වූ අවස්ථාවට මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය ඇමැති නීතිඥ අනුරාධ ජයරත්න, භූ විද්‍යා හා පතල් කාර්යංශයේ සභාපති ආචාර්ය කිත්සිරි දිසානායක, එම කාර්යංශයේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු සජ්ජන ද සිල්වා සහ ලේක්හවුස් මෙහෙයුම් අධ්‍යක්ෂ ලක්ෂ්මන් හේවාපන්න යන මහත්වරු සහභාගි වී සිටි අයුරු.

ඇතැම් මාධ්‍ය රටේ තරුණ පරම්පරාව ඉතා භයානක තැනකට ගෙන යන්න කටයුතු කරන මෙවැනි කාල වකවානුවක ලේක්හවුස් ආයතනය රටේ ඉදිරි තීන්දු තීරණ පිළිබඳව ජනතාව දැනුවත් කරමින් ගුණාත්මකභාවයෙන් ඉහළ ප්‍රවෘත්ති කලාවක් සමාජයට හඳුන්වා දී තිබෙන බව මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය ඇමැති නීතිඥ අනුරාධ ජයරත්න මහතා ප්‍රකාශ කළේය.

පුවත්පතක් අලෙවි වන ප්‍රමාණයෙන් එහි ගුණාත්මකභාවය මැනිය නොහැකි බවත් අපේ රටට අනන්‍ය වු සංස්කෘතිය, සභ්‍යත්වය ඇතුළු මේ සියල්ල එක හා සමානව අ‍වබෝධ කරගෙන මාධ්‍ය මෙහෙවරෙහි නියැළිමෙන් ගුණාත්මක ප්‍රවෘත්ති සැපයීම සිදු කළ යුතු බවත් ඒ මහතා පැවසීය.

එවැනි මෙහෙවරක නියැළෙමින් සිටින ලේක්හවුස් ආයතනය සමඟ එක්ව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ තොරතුරු ජනතාව අතරට ගෙන යාමට පුවත්පතක් නිකුත් කිරිමට ලැබීම සතුටට කරුණක් බව ද නියෝජ්‍ය ඇමැතිවරයා කීවේය.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ නිල පුවත්පත රන් දෙරණ නිකුත් කිරීම නිමිත්තෙන් ලේක්හවුස් ආයතනයේ දී පැවැති උත්සවයට සහභාගී වෙමින් හෙතෙම මේ අදහස් පළ කළේය.

මෙහිදී රන්දෙරණ පුවත්පතේ මුල් පිටපත ලේක්හවුස් සභාපති කළමනාකරණ අධ්‍යක්ෂ කාවන් රත්නායක මහතා නියෝජ්‍ය ඇමැතිවරයා වෙත පිරිනැමුණු අතර නියෝජ්‍ය ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් එම පුවත්පත අන්තර්ජාලයට එක් කිරීමද සිදු කෙරිණි.

මේ අවස්ථාවේදී වැඩි දුරටත් අදහස් පළ කළ නියෝජ්‍ය ඇමැති අනුරාධ ජයරත්න මහතා,

අද අපට ඉතා සතුටු දවසක්. අපේ අමාත්‍යාංශය යටතේ ආයතන 16 ක් තිබෙනවා. මේ ආයතන බොහොමක් නීති රීති රෙගුලාසි පනවන ආයතන ලෙස තමයි කටයුතු කරන්නේ. මේ නිසා අපි බැණුම් අහන ප්‍රමාණය වැඩියි. පොලිස් නිලධාරීන් තමයි වැඩිපුරම බැණුම් අහන්නේ.අද අපිත් වැඩිපුරම බැණුම් අහන අය බවට පත් වෙලා. අපි ජනතාව එක්ක ගැටෙන ප්‍රමාණය වැඩි නිසයි එහෙම වන්නේ. අපේ ආයතනය ජනතාවට සේවයක් ඉටු වන ලෙස පවත්වා ගෙන යා යුතුයි. පරිසරය කියන විෂය ගැන අපි සියලු දෙනා කතා කරනවා. බලපත්‍රයක් නැතිව වැලි හෑරුවා නම් ලැව් ගිනි ඇති වුණා නම් ඒ පළවෙනි අවස්ථාව දැන් නෙවෙයි. මේවා ඒ කාලෙත් සිදු වුණා. නමුත් අද ඒ වගේ සිද්ධියක් වෙද්දි සියලු මාධ්‍ය මේ ගැන ආවරණය කරනවා. ජනතාව ඒ ගැන කතා කරනවා. අද ඒ තත්ත්වයට මේ විෂය ගෙන ගියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා. ඒ සම්බන්ධයෙන් එතුමාට ස්තුති වන්ත විය යුතුයි. පරිසරය කියන විෂය ආරක්ෂා කිරීමට රාජ්‍ය නායකයා ඉදලා පාසල් දරුවා දක්වා සියලු දෙනා එකට එකතු විය යුතු වෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා.රටේ පළමු වතාවට තමයි රාජ්‍ය නායකයෙක් පරිසර අමාත්‍යාංශය හෙබවන්නේ. එතුමා පරිසරයට අදාළ නිසි තැන දෙන්නට කටයුතු කර තිබෙනවා.

අපේ යල් පැන ගිය රෙගුලාසි එක්ක වැඩ කරන්න ගියොත් අපිට වැඩ කරන්න පුලුවන් සීමාවන් අවම වෙනවා. ඝට්ටන වැඩි වෙනවා. අපේ හතරෙන් එකක් වැලි ප්‍රවාහනය වන්නේ බලපත්‍ර ඇතිව වුණත් හතරෙන් තුනක්ම ප්‍රවාහනය වන්නේ බලපත්‍ර නැතිව. මෙය විශාල ගැටලුවක් වෙලා තිබෙන්නේ. මේවා සම්පුර්ණ මර්ධනය කරන්න පුළුවන් තත්ත්වයක් අද නැහැ. මේවා සම්පුර්ණයෙන් අවම කරන්න නව තාක්ෂණය යොදා ගන්න අපි සුදානම් වෙනවා. ඒ නිසා අපේ කාර්යාංශය ලෙස වැලි ප්‍රවාහන කරන ආයතන සදහා නව තාක්ෂණය ලබා දී තිබෙනවා. ඒ අනුව මාර්ගයේ මේ රථය ගමන් කරන වාර ගණන අපට බලා ගන්න පුළුවන් වෙනවා. මේවාට විශේෂ බලපත්‍ර ලබා දීමේ ක්‍රමයක් ද අපි හදා ගෙන යනවා. එවිට ව්‍යාජ බලපත්‍ර නිකුත් කිරීම නතර කළ හැකි වෙනවා. අපි අලුතෙන් නව තාක්ෂණයක් හදුන්වා දුන්නා පරිසර සමුද්‍රීය ආයතනයට. නැව් අපේ මුහුදු සීමාවට එද්දී අපද්‍රව්‍ය බොහොමයක් නිකුත් කරනවා. මේවා අපිට හොයන්න කරන්න පුලුවන්කමක් නැහැ. මින් පසු මුහුදු සීමාට එන්න පෙර ඒ නැවේ තිබෙන අපද්‍රව්‍ය පිළිබඳව අධිකාරියට වාර්තා කරන්න ඕනේ. එයින් අපට පරිසරය ආරක්ෂා කිරීමට හැකියාව ලැබෙනවා.

පරිසර දුෂණය අවම කරන්න අපි කළ හැකි සියලු කාර්යයන් කරනවා. ඉදිරියේදී සැටලයිට් තාක්ෂණයද යොදා ගන්න බලාපොරොත්තු වෙනවා. මේ වෙනුවෙන් අපි ක්‍රියාත්මක කරන සියලු වැඩසටහන් ගැන මේ රටේ ජනතාව දැනුවත් කිරීමට මෙන්ම ඔවුන් ක්‍රියා කළ යුතු ආකාරය ගැන ජනතාව දැනුවත් කිරීමට රන්දෙරණ අතිරේකය ඉතාමත් වැදගත් වෙනවා.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති ආචාර්ය කිත්සිරි දිසානායක මහතා- රටක ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දෙන ආයතන අතරින් අප ආයතනයට විශේෂ ස්ථානයක් ලැබෙනවා. අපේ ආයතනය නිසි කළමනාකාරීත්වයක් යටතේ පවත්වා ගෙන යනවා. ලබන වසරේ අපේ ඉලක්කය වන්නේ රුපියල් මිලියන 2500 ක් වන නමත් අපිට මිලියන 5000ක් දක්වා යාමට හැකියාවක් තිබෙනවා. අපේ කාර්යාංශය වසර සියයක් පැරණි ආයතනයක් වෙනවා. රටක ආර්ථිකයට විශාල දායකවීමක් අපෙන් වෙනවා. කෙනෙක්ට එය කෙලින්ම නොපෙනුනාට අපි රටේ සංවර්ධනයට සියයට 3ක ප්‍රමාණයකින් දායක වෙනවා. මේ ආයතනය කර ගෙන යාමේදී අපි පසුගිය වසරේ පෙර වසර වඩා මිලියන 400 ක ලාභයක් ලැබුවා. අපේ ආයතනයට හොද නිලධාරී සංකලනයක් තිබෙනවා. මේ නිසා ඉදිරියට යන්න පහසුයි. අපේ ආයතනයේ සියලු සංවර්ධන පුවත් ජනතාව අතරට ගෙන යන්නට කටයුතු යෙදුණේ කිහිප දෙනකුගේ උත්සහාය නිසයි. ඒ වෙන්වෙන් කටයුතු කළ අපේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය සිරිවර්ධන මහතා, කළමනාකරණ කර්තෘ සමන්ත ගුණසේකර මහතා, සම්බන්ධීකරණ කර්තෘ ප්‍රමිතා රන්දලී පබසරා, සංස්කාරක පබුදු සපුතන්ත්‍රි ඇතුළු පිරිසට ස්තුතිය පළ කරනවා.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු සජ්ජන ද සිල්වා මහතා,

අප ආයතන වර්ග සියයට අධික පරණ ආයතනයක්. මාසයක අපි 40000 ක අධික ප්‍රමාණයක් බලපත්‍ර නිකුත් කරනවා. අපේ අමාත්‍යාංශයේ නියමුවා ජනාධිපතිවරයෙක් වුණේ අපේ ආයතන ඉතිහාසයේ පළමු වතාවටයි. අපගේ අවශ්‍යතාවය දින තුනක් වැනි කාලයකදී ඉටු කර දෙන්නට ලේක්හවුස් ආයතනය කටයුතු කළා. ඒ අනුව තමයි අද අපට මේ පුවත්පත නිකුත් කරන්නට අවස්ථාව හිමි වුණේ. අපේ කාර්ය බාරය ජනතාවට තේරුම් කර දීමේ අභියෝගය අපට තිබෙනවා. අපිට විශාල පැමිණිලි ප්‍රමාණයක්ද දිනකට එනවා. අපි බලපතයක් දුන්නත් නොදුන්නත් වැරදි තත්ත්වයකට දැන් පත් වෙලා ඉන්නවා. මේ කාරණා දෙකම අපිට අභියෝගයක් වෙලා තිබෙනවා. අපෙන් බලපත්‍රයක් ඉල්ලලා එය අපි ලබා නොදු‍න්නොත් ඒ ලබා නොදීම සම්බන්ධයෙන් අපට එරෙහිව නීති මඟින් කටයුතු කරන්නත් බලපත්‍රයක් ලබා දුන් පුද්ගලයකු අතින් පාරිසරික ගැටලු සිදු වුණොත් බලපත්‍ර දීම සම්බන්ධයෙන් අපට විරුද්ධව කටයුතු කරන්නත් අයිතියක් තිබෙනවා.

ලේක්හවුස් ආයතනයේ සාමාන්‍යාධිකාරී අභය අමරදාස මහතා,

දිනපතා පත්තර හෝ ප්‍රවෘත්ති විකාශයන් දෙස බැලු විට මේ ප්‍රවෘත්ති හා විශේෂාංග කුමන ආකාරයටද ජන ගත වන්නේ කියලා අපට සිතා ගන්න පුළුවන්. තිරසාර සැලැස්ම, සංවර්ධන කොතරම් දුරට ජනගත වෙනවද කියන එක ගැන අපට දැන ගන්න පුළුවන්.අද සමාජයට නොගැලපෙන ප්‍රවෘත්ති, අසුභබාදී ප්‍රවෘත්ති එකිනෙක ඝට්ටනය වෙමින් තරඟකාරී ප්‍රවෘත්ති සපයන්න සියලු මාධ්‍ය උත්සහ ගන්නවා. ලේක්හවුස් ආයතනය මඟින් පළ කරන පුවත්පත්වල ලාංකීය සමාජය, දේශපාලනය, සංස්කෘතිය වැනි දේවල් සම්බන්ධයෙන් කටයුතු කරනවාද කියන එක ගැන පාඨකයින් දන්නවා. මේ ආයතනය ආර්ථික වශයෙන් බැලුවොත් අපේ පිටු ප්‍රමාණයක් තිබෙනවා ප්‍රවෘත්ති, විශේෂාංශ හා සමාජීය පුවත්වලට. ආයතනයේ පැවැත්වමට දැන්වීම් සඳහා පිටු තිබෙනවා. මේ නිසා සියලු සංවර්ධන පුවත් ජනගත කිරීමට අවශ්‍ය ඉඩ ගැන ගැටලුකාරී තත්ත්වයන් තිබෙනවා. අපට යම් කිසි සීමා සහිත පිටු සංඛ්‍යාවක් තමයි තිබෙන්නේ. ඒ සාමාන්‍ය පුවත්පතක එසේ වුවත් වර්තමානයේ පාලනාධිකාරිය තීරණය කළා සංවර්ධන යෝජනා ක්‍රම ජනගත කිරීමේ ක්‍රියාවලියක් තිබිය යුතුයි කියලා. ඒ සඳහා වෙනවම දෙපාර්තමේන්තුවක් පත් කරලා අතිරේක වශයෙන් ඒ ප්‍රවෘත්ති පාඨකයා වෙත ගෙන යන්නට ක්‍රියාවලියක් ආරම්භ කළා. මෙහිදී භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය සී.එච්.ඊ.ආර්.සිරිවර්ධන මහතාද අදහස් පළ කළ අතර ලේක්හවුස් ආයතනයේ මෙහෙයුම් අධ්‍යක්ෂ ලක්ෂ්මන් හේවාපන්න, මුල්‍ය අධ්‍යක්ෂ එමරික් ප්‍රනාන්දු, කළමනාකරණ කර්තෘ සමන්ත කරුණාසේකර, සම්බන්ධීකරණ කර්තෘ ප්‍රමිතා රන්දලී පබසරා මහත්ම මහත්වරු ඇතුළු ලේක්හවුස් ආයතනයේ පිරිසක් හා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ පිරිසක් සහභාගී වුහ.

නව අදහස දක්වන්න