ජල සම්පාදන ව්‍යාපෘති සඳහා මේ වසරට බිලියන 300ක්

ශිරෝමි අබයසිංහ

රැකියා කරන අයට හොඳ අාදායමක් මෙන්ම නිවාස අවශ්‍යයි. ළිඳෙන් වතුර ගන්නට හැකියාවක් නැහැ. බටහිර ආසියාවේ මෙන්ම අප්‍රිකාවේ තම ආදායම වැඩි වීමත් සමඟ ළිදෙන් වතුර ගන්නා තත්ත්වයෙන් ඉදිරියට ගොස් ජල පහසුකම් බලාපොරොත්තු වෙනවා. අද අප කැප වී සිටින්නේ ඒ වැඩ කටයුත්ත කරන්නයි.

ආර්ථික දියුණුව සමඟ සමාජ දියුණුව, යටිතල පහසුකම් දියුණුව මෙන්ම ජල සම්පාදන දියුණුව ඇති කිරීමට රජය කැපවී ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කීය.

ජල සම්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා මේ වසරට පමණක් රුපියල් බිලියන 300ක් වෙන් කර ඇතැයිද වකුගඩු රෝගයෙන් පීඩා විදින ප්‍රදේශවලට එම මුදලෙන් භාගයක්ම වෙන් කර ඇතැයිද අගමැති වික්‍රමසිංහ මහතා කීය. අගමැතිවරයා මේ බව සඳහන් කළේ කළු ගඟ ජල සම්පාදන ව්‍යාපෘතියේ පළමු පියවරේ දෙවන අදියර හොරණ කඳන දී පෙරේදා (05) විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.

ජයිකා ආධාර යටතේ ඉදි කෙරුණු මේ ව්‍යාපෘතිය යටතේ මහකොළඹ සහ කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවක පවුල් 60,000කට පානීය ජලය ලබාදීම සිදු‍ කෙරේ.

ජල පවිත්‍රාගාරයේ වැඩ අගමැතිවරයා විසින් ආරම්භ කරන ලදී.

නගර සැලසුම් සහ ජලපවහන අමාත්‍යාංශයේ ලේකම් එන්.ඩී.හෙට්ටිආරච්චි මහතා පිළි ගැනිමේ කතාව කළේය.

එහිදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

අද කළුගඟ ජල යෝජනා ක්‍රමයේ පළමු අදියරේ දෙවන කොටස අප විවෘත කළා. මේ නිසා කැස්බෑව, මොරටුව වැනි ප්‍රදේශවලට පානීය ජලය ලැබෙනවා. ඒත් මෙහි එක් අඩුපාඩුවක් ඇති බව පාලිත තෙවරප්පෙරුම මහතා පැවසුවා. මඳුරාවල ප්‍රදේශයට ජලය නොලැබෙන බව ඔහු කිව්වා. ඊළඟ ජල ව්‍යාපෘතියෙන් එම ප්‍රදේශයටත් ජලය ලැබෙන බව ජල සම්පාදන ඇමැතිතුමා මට කිව්වා. මේ මාසයේ දී එම ව්‍යාපෘතිය ඇරැඹෙනවා .

මා දින කිහිපයකට පෙර වෙස්ටර්න් ඔටෝමොබයිල් සමාගමේ මුල්ගල් තැබීමේ උත්සවයට සහභාගි වුණා. මේ සියලූම ආයතන රැකියා බිහි කිරීමේ කර්මාන්තයි. කර්මාන්ත ඇරැඹෙන විට ඊට විරුද්ධව විවිධ ව්‍යාපාර ක්‍රියාත්මක වෙනවා. හම්බන්තොට කර්මාන්තකරණයටත් විරුද්ධව මත පළකරනවා.

වෙස්ටර්න් ඔටෝමොබයිල් ආයතනයට වොක්ස්වගන් සමාගමේ ආයෝජනයක් නැතැයි එක් රූපවාහිනී ආයතනයක් පවසා තිබෙනවා. ඒක ඔටෝමොබයිල් ආයතනයෙන් අහන්න දෙයක් නැහැ. මගෙන් ඇසුවා නම් මම කියනවා. වොක්ස්වගන් සමාගමේ ආයෝජනයක් මෙරටට අවශ්‍ය බව 2015 වසරේ දී අප පැවසුවා. නමුත් 2016 වසරේ මුල් භාගයේ දී වොක්ස්වගන් සමාගමට විශාල වශයෙන් ජාත්‍යන්තර අර්බුදයකට මුහුණදීමට සිදුවුණා. ඒ නිසා වොක්ස්වගන් ආයෝජනය නොගැනීමට අප තීරණය කළා. වොක්ස්වගන් ආයෝජනය ගැනීමට නම් එම සමාගමට ඇති ජාත්‍යන්තර විභාග අවසන් වන තුරු ඉන්න සිදු වෙනවා. නමුත් අප ඉක්මනින් කර්මාන්ත ශාලා ඉදිකර ගත යුතුයි.

වොක්ස්වගන් සමාගමේ ආයෝජන නැතිව ක්‍රියා කළත් වොක්ස් වගන් මෝටර් රථ නිෂ්පාදනය කරන්න හැකියාව තිබෙනවා.වොක්ස්වගන් රථවලට සීමා නොකර වෙනත් වාහනත් නිෂ්පාදනය කළ හැකිදැයි අදාළ සමාගම අපෙන් ඇසුවා. එවිට වෙනත් වාහන නිෂ්පාදනය කරන්න හැකි බව අප පැවසුවා.ඒ අනුව වර්ග කිහිපයක වාහන මේ කම්හලේ නිෂ්පාදනය කරනවා.

ඔය දේ අහන්න.ඒ කම්හලට ගිහින් වැඩක් නැහැ. අපෙන් ඇසුවා නම් අපි කියනවා. මගෙත් එකක් තියන තරහට ඔබේ මනස විකෘති කර ගන්න එපා. බුදුන් වහන්සේත් එය දේශනා කර තිබෙනවා. ඔබේ මනස විකෘති වූ විට හානිය වන්නේ ඔබටයි. රටේ තරුණ තරුණියන්ගේ රැකියා ව්‍යාපාරය කඩාකප්පල් කරන්න උත්සාහ කරන අය ගැන මා අනුකම්පා කරනවා.කුමක් හෝ ප්‍රශ්නයක් තිබුණා නම් ඇමැතිවරයා හෝ අදාළ සමාගම එය පැහැදිලි කරනවා.

කර්මාන්තකරණය නිසා ප්‍රදේශ නාගරීකරණය වෙනවා. නාගරීකරණයට මෙන්ම කර්මාන්තකරණයට ජලය අවශ්‍යයි. ජලය සහ විදුලි බලය සැපයීමට බැරි නම් කර්මාන්තකරණය සම්පූර්ණයෙන්ම අසාර්ථක වෙනවා. ජලය ලබාදීමට අප මුල් තැනක් ලබා දී තිබෙනවා.

රැකියා කරන අයට හොඳ අාදායමක් මෙන්ම නිවාස අවශ්‍යයි. ළිඳෙන් වතුර ගන්නට හැකියාවක් නැහැ. බටහිර ආසියාවේ මෙන්ම අප්‍රිකාවේ තම ආදායම වැඩි වීමත් සමඟ ළිදෙන් වතුර ගන්නා තත්ත්වයෙන් ඉදිරියට ගොස් ජල පහසුකම් බලාපොරොත්තු වෙනවා. අද අප කැප වී සිටින්නේ ඒ වැඩ කටයුත්ත කරන්නයි. රැකියා සොයන්න, නිවාස ඉදි කරන්න, පානීය ජල යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරන්න, ආයතන දියුණු කරන්න ආදී විශාල කාර්යයන් කිරීමට අප එක් වී සිටිනවා.ඒ සියලු අරමුණු ඇතිව අප සියලු බලවේග එක්වී මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ලෙස පත් කරගෙන තිබෙනවා.

එලෙස පිහිටුවා ගත් ජාතික ආණ්ඩුව මගින් මේ වැඩකටයුත්ත සිදු කරනවා. ජල සම්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිළිබඳව රවුෆ් හකීම් ඇමැතිතුමාට විශාල වගකීමක් තිබෙනවා.ඒ සඳහා මේ වසරට පමණක් රුපියල් බිලියන 300ක් වෙන් කර තිබෙනවා.

වකුගඩු රෝගයෙන් පීඩා විදින ප්‍රදේශවලට එම මුදලෙන් භාගයක්ම වෙන් කරනවා.එනම් රුපියල් මිලියන 150ක් ඉතිරි මුදල මේ ප්‍රදේශය වෙනුවෙන් වැය කරනවා.අනාගතයේදී තවත් මුදල් වෙන් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ජපන් රජය පානීය ජලය සඳහා දෙන ආධාර අගය කරනවා. මෙරට සාමය තිබෙන නිසා එකමුතුකම තිබෙන නිසා වැඩි වැඩියෙන් අපට ජාත්‍යන්තර ආධාර මුදල් ලැබෙනවා.

රාවුෆ් හකීම් ඇමැතිතුමා රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශය එකතු කරගෙන හවුල් ක්‍රමයකට ජලය ලබාදෙන වැඩසටහනක් ප්‍රථම වරට ක්‍රියාත්මක කරනවා. එම තත්ත්වයට අප ගමන් කළ යුතුයි. අපේ සෞඛ්‍යය තත්ත්වය දියුණු වීමට නම් හොඳ ජල සම්පාදන ක්‍රම, පානීය ජලය ලබාගත යුතුයි. අපේ ආර්ථිකය දියුණු කරන්න නම් නාගරිකරණයට, කර්මාන්තකරණයට ජලය ලබාදිය යුතුව තිබෙනවා. ඒ වැඩකටයුත්ත කිරීම සඳහා ඇමැතිතුමන්ට සුබ පතනවා.

මේ වැඩසටහනෙන් කළුගඟේ ජලය මහජන සුබසිද්ධිය සඳහා වැඩිපුර යොදාගත හැකි වෙනවා. ආර්ථික දියුණුව ජල සම්පාදන වැඩකටයුතුවලට ඉවහල් කර ගැනීමට හැකියාව ලැබෙනවා.

බස්නාහිර මහ නගරය ඉදිකිරීමේදී කැලණි ගඟේ මාඔයේ ජලය ලබාගත යුතුයි.

ඒ සමඟම අප පරිසරය ආරක්ෂා කළ යුතුයි. විශාල නියඟයක් ඇතිවෙමින් තිබෙනවා. ඒ නිසා ජලය ආරක්ෂා කර ගත යුතුයි. ඒ වැඩසටහන්වලටත් අපේ අවධානය යොමු කළ යුතුයි.

ආර්ථික දියුණුව සමඟ සමාජ දියුණුව, යටිතල පහසුකම් දියුණුව මෙන්ම ජල සම්පාදන දියුණුව ඇති කිරීමට අප සියලුම දෙනා කැපවී සිටිනවා. අපට උදව් උපකාර කරන ජපන් රජයට ස්තුතිය පුද කරනවා. ජල යෝජනා ක්‍රමවලට පමණක් නොව සංවර්ධන ව්‍යාපෘති ගණනාවකට ජපන් රජය අපට උපකාර කරනවා. මහනුවර නගරය අලූතින් සංවර්ධනය කිරීමට ජපන් රජයේ සහයෝගය ලැබෙනවා යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

නගර සැලසුම් සහ ජල සම්පාදන ඇමැති රවුෆ් හකීම් මහතා-

මේ ව්‍යාපෘතිය මගින් අපට කොළඹ දකුණ ප්‍රදේශයටත්, කළුතරත් දස ලක්ෂයකට පමණ පිරිසිදු පානීය ජලය ලබා දිය හැකියි. කළු ගඟේ දෙවැනි අදියර ඇරඹීමටත් ජපන් රජය අපට ආධාර කරනවා.

අප විශාල ව්‍යාපෘති රැසක් ඇරැඹීමට මුලපුරා තිබෙනවා. විසල් මාතර ව්‍යාපෘතිය, ගම්පහ අත්තනගල්ල ව්‍යාපෘතිය, මතුගම අගලවත්ත ව්‍යාපෘතිය, පොල්ගහවෙල ව්‍යාපෘතිය අරඹා ජලය ලබාදීමේ කටයුතු කරනවා. ජල සම්පාදන මණ්ඩලයේ ඉතිහාසයේ විදේශ ආධාර සහිතව මෙතරම් ව්‍යාපෘති ඇරැඹුවේ නැහැ.

මේ වසර තුළ බිලියන 300කට වැඩි මුදලක් ආයෝජනය කරන වසරක් බව කිව හැකියි. පොලොන්නරුව, අනුරාධපුර ප්‍රදේශවල 90% කට පමණ ජල සැපයුම දීම අපේ අරමුණයි. පානීය ජල ක්ෂේත්‍රයේ විප්ලවයක් ඇති කරන ආණ්ඩුවක් බවට යහපාලන රජය පත්වනු නියතයි.

අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා

කළු ගඟ වර්තමානයේ දූෂණය වෙමින් තිබෙනවා. ඇතැම් කම්හල් අපද්‍රව්‍යය ගඟට මුදා හරිනවා. විශාල කාලයක් තිස්සේ මේ පරිසර දූෂණය සිදු වෙනවා.

ජල ප්‍රශ්නය අපේ ජනතාවට විශාල වශයෙන් බලපානවා. ගඟේ ජලය පරිස්සම් කිරීමේ වගකීම අප සැමට තිබෙනවා. ඉදිරියේදී විශාල නියඟයක් එන බව කියනවා. අප ඊටත් මුහුණ දිය යුතුව තිබෙනවා.

මුදල් ඇමැති රවී කරුණානායක, සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ ඇමැති මලික් සමරවික්‍රම, නගර සැලසුම් සහ ජල සම්පාදන රාජ්‍ය ඇමැතිනි සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ , ජපන් තානාපති කාර්යාලයේ නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

ජායාරූප අගමැති මාධ්‍ය ඒකකය
සහ මාලන් කරුණාරත්න 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...