රුහුණේ කාර්මික දියුණුව ඉහළ නැංවීම අපේ බලාපොරොත්තුවයි | දිනමිණ

රුහුණේ කාර්මික දියුණුව ඉහළ නැංවීම අපේ බලාපොරොත්තුවයි

ජයසිරි මුණසිංහ
ඇමැති රවී කරුණානායක මහතා මාධ්‍යයට අදහස් දක්වමින්

හම්බන්තොට වරාය හා අවට ප්‍රදේශවල දැවැන්ත සංවර්ධනයක් ඇති කිරීමේ මහා පරිමාණ ව්‍යාපෘතිවලට අද (07) මුල පිරේ.

හම්බන්තොට වරාය භූමියේ අලුතින් ආරම්භ කිරීමට නියමිත සිමෙන්ති, ස්වාභාවික ගෑස්, නෞකා එකලස් කිරීමේ හා සාගර කටයුතු සම්බන්ධ කර්මාන්ත ශාලා ඇරඹීමේ කටයුතුවලට මේ අනුව මුල පිරෙනු ඇත. හම්බන්තොට ආර්ථික කලාපයේ පිබිදීම ඉවසා සිටිය නොහැකි ඒකාබද්ධ විපක්ෂයේ පිරිස් මේ සංවර්ධන ව්‍යාපෘති නතර කිරීමට අමූලික බොරු කීවද ඒවාට බියේ තම අරමුණු කර තිබෙන සංවර්ධන ව්‍යාපෘති නතර කරන්නේ නැතැයි ද රජය පවසයි.

මේ හම්බන්තොට, මොනරාගල, ඇඹිලිපිටිය හා මාතර ප්‍රධානව රුහුණුලක සංවර්ධනයේ ඇරඹුම පිළිබඳව උපායමාර්ගික සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ ඇමැති මලික් සමරවික්‍රම මහතා මුදල් අමාත්‍යාංශයේ දී කළ විශේෂ කරුණු දැක්වීමයි.

"හම්බන්තොට සංවර්ධනය උදෙසා ආණ්ඩුව ක්‍රියාත්මක කිරීමට යෝජිත වැඩපිළිවෙළ පිළිබඳව සම්පූර්ණ අසත්‍ය අමූලික බොරු ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කරනවා. අපිට ඒ අය කියන අමූලික බොරු නිසා ජනතාව නොමඟ යැවෙන එක නතර කරන්න ඕනෑ. ඒ නිසා මේ මාධ්‍ය හමුව කැඳවීමට කල්පනා කළා.

පසුගිය ආණ්ඩුව චීන රජයේ සමාගම්වලින් අධික පොලියට ණය අරගෙන හම්බන්තොට වරාය ඉදි කර තිබෙනවා. අමෙරිකානු ඩොලර් බිලියන 1.3ක් වැය කර තිබෙනවා. මේ සා විශාල මුදලක් ඵලදායි නොවන වියදමක් ලෙසයි කර තිබෙන්නේ. මේ තරම් විශාල ණය මුදල ගෙවීමට හැකි ආදායම් උත්පාදනයක් මේ වරායෙන් සිදු වන්නේ නෑ.

මේ නිසා දිගින් දිගටම මේ අධික ණය බර දැරීමට නොහැකි නිසා අපේ ආණ්ඩුව විකල්ප සොයන්නට වුණා. පසුව ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ අපි මේ ගැන චීන රජය සමඟ කතා කළා. චීන රජය අපට සමාගම් දෙකක් නම් කළා. ඔවුන් සමඟ කතා කරන්න කිව්වා. හම්බන්තොට වරාය හැදුවේ චයිනා හාබර් සමාගමයි. ඔවුන් අපට වරායේ වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 1.1ක ලංසුවක් දුන්නා. චයිනා මර්චන්ට් සමාගම අමෙරිකානු ඩොලර් බිලියන 1.4ක වටිනාකමක් ඉදිරිපත් කළා. ඒ ගැන කතා කරන්න අපේ පැත්තෙන් අමාත්‍යාංශ ලේකම්වරුන්, රජයේ නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කළා. ඔවුන් මේ සමාගම් දෙකේම යෝජනා සලකා බලා අපට කිව්වා, චයිනා මර්චන්ට් සමාගම සමඟ කටයුතු කරමු කියලා. ඒ අනුව අපි මුලින්ම ෆේම්වර්ක් ඇග්රිමේන්ට් එකක් සකස් කරන්න පියවර ගත්තා.

ලෝකයේ හොඳම නාවික මෙහෙයුම් සමාගම ලෙස ගිය වසරේ තේරුණේ චයිනා මර්චන්ට් සමාගමයි. ඒ නිසා ඔවුන් සමඟ හම්බන්තොට වරාය හා ආශ්‍රිත සංවර්ධන කටයුත්ත ආරම්භ කරන්නට ගිවිසුම් සකස් කිරීමට සූදානම් වුණා. ඒ ගැන ආර්ථික කමිටුවේ කැබිනට් එකේ කතා කළා. කැබිනට් එකේ අවස්ථා කිහිපයක දී කතා කළා. ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු සියලු දෙනා මේ ගැන දැනුවත් වුණා.

මේ ගිවිසුම් අත්සන් කරන්නේ චීන සමාගමක් සමඟ නොවෙයි. චීන හා ශ්‍රී ලංකා රජයන් දෙකට අයත් හවුල් ව්‍යාපාරයක් ලෙස ආරම්භ කරන ශ්‍රී ලංකාවේ ලියාපදිංචි සමාගමක් සමඟයි. ගිවිසුම් ගත වෙන්නට පෙර එය සකස් කළ යුතුයි. කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගෙන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නීතිපතිවරයා ආදී සියලු දෙනාගෙන් අදහස් විමසා බලා තමයි මෙය අත්සන් කරන්නේ. අපි ගිවිසුම් තුනක් ඉදිරියේ දී අත්සන් කරනවා. ජනවාරි මාසෙ නිම වෙන්නට පෙර ඒ දේ සිදු කරන්නට හැකි වෙයි.

මීට අමතරව අපි හම්බන්තොට ප්‍රධානව මුළු රුහුණු පළාතේම කාර්මික දියුණුවක්, ජනතාවගේ ආදායම් ඉහළ නැංවීමක් සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. අපි හම්බන්තොටින්ම අක්කර 15,000ක කර්මාන්තපුරයක් හදන්නේ නෑ. අපි ඉඩම් ගන්නේ මොනරාගල, ඇඹිලිපිටිය, මාතර හා අවට ප්‍රදේශවලින්. එවිට වැඩිම වුණොත් එක පළාතකින් අක්කර 4000ක් ගන්න වෙයි. ඒවාත් පෞද්ගලික ඉඩම් වෙන්න විදිහක් නෑ. අපි අලුතින් ආරම්භ කරන ව්‍යාපෘතිවලට පෞද්ගලික ඉඩම්වලින් යම් පවරා ගැනීමක් සිදු කළොත් ඒ සඳහා නිසි වන්දි මුදල් ලබාදීමක් කතාබහ කර එකඟතා ඇති කර ගෙනයි කරන්නේ. ඕනෑම නම් එවැනි තත්ත්වයක් සිදු වුණොත් උපරිම සියයට 05ක් වෙයි.

හම්බන්තොට වරාය හැදුවාට වැය කළ ඩොලර් බිලියන 1.3ක තරම් විශාල මුදල ආපසු ගෙවීමේ සැලසුමක් පසුගිය රජයට තිබුණේ නෑ. ඒ නිසා තමයි අපි විකල්ප ක්‍රියා මාර්ගයකට ගියේ. අපි චීන සමාගමයි, අපේ රටේ ශ්‍රී ලංකා වරාය අධිකාරියයි හවුලේ නව ව්‍යාපාරික සමාගමක් ඇති කරනවා. එහි හිමිකාරීත්වය ගැන කතා කරනවා. නව සංවර්ධන ව්‍යාපෘති ආරම්භ වූ විට හම්බන්තොට වරායට නැව් එනවා. නව කර්මාන්තශාලා ඉදි වෙලා ඒවායේ නිෂ්පාදන පිටරටවලට යැවෙනවා. අපේ අපනයන ආදායම් ඉහළ යනවා. රටේ තරුණ තරුණියන්ට අලුතින් රැකියා අවස්ථා උදා වෙනවා. මේවා වැළැක්වීමට කවුරු හරි කටයුතු කරනවා නම් ඒක වැරැදියි."

මුදල් ඇමැති රවි කරුණානායක මහතා

"අපි හම්බන්තොට වරාය හා අවට කර්මාන්තපුරයක්, දැවැන්ත සංවර්ධනයක් ඇති කරන්නේ රටේ ජනතාවට සෙත හදන්නයි. පසුගිය ආණ්ඩුව ලබා ගත් අධික ණය ආපසු ගෙවන්න වෙලා තිබෙන්නේ අපට. අපි අකමැත්තෙන් තමයි වැට් එක සියයට 04කින් වැඩි කළේ. එයත් තාවකාලිකවයි සිදු කළේ. අපි කිසිම වෙලාවක ජනතාව මත බදු බර පටවා ජනතාවට පීඩා කරන්නට සූදානම් නෑ.

මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා ජනාධිපති වෙලා හිටපු කාලේ තමයි රට ආර්ථික වශයෙන් අගාධයට තල්ලු කළේ. එදා ගත් ණය ගෙවන්න අපිට අදයි සිදු වෙලා. එදා ඔවුන් රුහුණු මාගම්පුර වරාය හදන්න බලෙන් පවුල් 1100ක් ඉවත් කළා. පවුල් 610ක් මත්තල හදන්න ඉවත් කළා. වන්දිත් නෑ. සාකච්ජාත් නෑ. සුරියවැව ක්‍රීඩාංගණය හදන්න පවුල් 15ක් 20ක් ඉවත් කළා. අපි එහෙම කරන්නේ නෑ. අපි පොදු මහ ජනතාවගේ දේපොළ උදුරා ගන්නේ හෝ විකුණන්නේ නෑ.

දැනට වරාය හැදූ එකේ ණය ගෙවන්න විශාල මුදලක් වැය කරනවා. 2011 මිලියන 90, 2012 දී මිලියන 718ක්, 2013 දී මිලියන 1925ක් ආදී ලෙස වැය වෙලා. 2014 දී මිලියන 9141ක්, 2015 දී මිලියන 9884ක් ගෙව්වා. 2016 දී මිලියන 9629 මේ මුදල 2018 දී මිලියන 10,656ක්. මේ තරම් විශාල ණය කන්දක් ගෙවන්න අහිංසක ජනතාවට හැමදාම පුළුවන්ද. ජනතාව මේ බරින් ‍ඉවත් කරන්න ඕනෑ. මේ ණය බරින් රට නිදහස් කළොත් දැනට වඩා රුපියල් 75කට අඩුවෙන් හාල් කිලෝවක් දෙන්න පුළුවන්. පුද්ගලයන් පනස් දහසකට පඩි නඩි ගෙවන්න පුළුවන්. රටේ අධ්‍යාපනයට වියදම් කරන මුදල් සියයට 15කින් වැඩි කරන්න පුළුවන්.

අපි ගත වු අවුරුදු දෙකේ සිදු කළේ කඩා වැටුණු ආර්ථිකය ගොඩනැඟීමයි. රජයේ ආදායම් ලැබීම් සියයට 30කින් ඉහළට ගෙන ආවා. අපිට රාජ්‍ය ආදායම් වැඩි කර ගන්න සුද්දෝ උපදෙස් දෙන්න ඕනෑ නෑ. ඒ දේ අපටම කරගන්න පුළුවන්. හැබැයි කවුරු හරි හොඳ දෙයක් කියනවා නම්, අපි ඒ දේ කරනවා. උතුරු කොරියාවෙන් හරි හොඳ දෙයක් කිව්වොත් ඒක පිළිගන්න අපි සූදානම්.

අපේ රටේ රාජ්‍ය ආදායම මේ ගිය අවුරුද්දේ මිලියන 1661ක්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට කිව්වේ මිලියන 1068ක් උපයා ගන්නා ලෙස. අපි ඔවුන් කිවූ ප්‍රමාණයටත් වඩා ලබාගෙන තිබෙනවා. පසුගිය ආණ්ඩු කාලේ රජයේ ආදායම් ගියේ කොහාටද. හොඳම උදාහරණය සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායමයි. එදා මාසයකට සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම මිලියන 2200යි. අද මිලියන 11,000යි. එහෙනම් මේ මාසයකට රුපියල් මිලියන 8000ක් විතර කොහේද ගියේ. ඒවා රාජපක්ෂවරුන්ගේ සහ ඔවුන්ගේ හිතවතුන්ගේ සාක්කුවලට ගියා.

ශ්‍රී ලංකා මහ බැංකුවේත් රුපියල් 5000ක නෝට්ටු තොග පිටින් පිටවීම ගැන මම කතා කළා. අධිපතිවරයා කියනවා එහෙම දෙයක් වෙලා නෑ කියලා. මම වෙලාව ආ විට ඒවා CCTV දර්ශන සහිතව ඔප්පු කරන්නම්. ජනාධිපතිවරයා, අගමැතිවරයා කියු වෙලාවක මම ඒවා අවශ්‍ය අයට ලබා දෙනවා. හිටපු මහ බැංකු අධිපති කබ්රාල්ගේ ගෝලයෝ ටිකක් අදත් මහ බැංකුවේ එදා වාගේම ඉන්නවා. මේ අය ලණු දෙනවා. දැඩි නිලධාරිවාදයක් ක්‍රියාත්මක කරනවා. මේ අයගේ ක්‍රියා කලාපය අප ඉතා ඉක්මනින් සියලු දෙනාටම දැන ගන්නට කියන්න සූදානම්.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා 'පෙරදැක්ම' ඉදිරිපත් කර රටේ ආර්ථිකය ලෙඩ වෙලා කියලා තියෙනවා. ඒත් ඒ මහතා දන්නේ නෑ පසුගිය ආණ්ඩුව තමයි ආර්ථිකය ලෙඩ කළේ කියලා. එදා ආර්ථිකය තිබුණේ දැඩි සත්කාර ඒකකයේ. අද බෙහෙත් දීලා ලෙඩා සුව කර තිබෙනවා. අපේ වෑයම ඉතා කෙටි කාලයකින් බාහිර රෝගී අංශයෙන් බෙහෙත් අරගෙන නිවසට යන්න හැකි තත්ත්වයට ලෙඩා සුව කිරීමයි.

ඒ සඳහා තමයි අපි බොහෝම සැලසුම් සහගතවයි මේ කටයුතු කරන්නේ. රටේ පිබිදීම බලාගෙන ඉන්න බැරිව එයට ඊර්ෂ්‍යාවෙන් ඒකාබද්ධ විපක්ෂය අද කටයුතු කරනවා. ඔවුන් මේ රටේ වත්මන් පරපුර ලබන ජයග්‍රහණ නැති කිරීමටයි කටයුතු කරන්නේ. එය අපි හෙළා දකිනවා. අපි මාධ්‍යයට කියන්නේ වෙන මොනවා සමඟ සෙල්ලම් ක‍ළත් රටේ ආර්ථිකය එක්ක සෙල්ලම් කරන්න එපා කියලයි. හම්බන්තොට වරාය ආශ්‍රිතව අමෙරිකානු ඩොලර් බිලියන දෙකක (කෝටි 200) ආයෝජන අලුතින් සිදු වනු ඇත. ඊට අමතරව රුහුණුලක පුරා නව ‍ආයෝජන ඩොලර් 4, 5ක් ඉදිරියේ එක්වනු ඇති. මේ සමඟ පිබිදෙන හම්බන්තොට දෙස අපි සුබවාදීව බැලිය යුතුයි."

නව අදහස දක්වන්න